අභිමානවත් කන්ද උඩරටින් ළමා රංගන ශිල්පියෙකු ලෙස කලා ලොවට පෑයූ තවත් දක්ෂ තරුවකට අද රසඳුනෙහි ඉඩකඩ වෙන් කෙරේ. ඔහු නමින් සමිත
සත්සර. රුවින්, ගුණෙන් පිරිපුන් ඔහු කෙටි කලකින්ම රංගනය හරහා ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය දිනා ගෙන ඇත.
ඔයාට මං සමිත කියන්නද ? සත්සර කියන්නද ?
සමිත කියන නමට තමයි මං වැඩිය කැමති. මට ගෙදර අය, යාළුවෝ ආදරේට කියන්නේ සුදු බෝලේ, සුද්දා කියලා.
ඉතින් මේ දවස්වල සමිත මොනවද කරන්නේ ?
ඉස්කෝලේ නිවාඩු තිබුණ නිසා අම්මගේ ගමේ ගිහින් යාළුවෝ එක්ක සෙල්ලම් කළා. මගෙ අම්මගේ ගම අනුරාධපුරේ. එහේ හරිම ලස්සනයි. ගොඩක් වැව් තියෙනවා. බයිසිකල් පැද්දා,බෝල ගැහුවා, අල්ලන් සෙල්ලම් කලා. වන්දනාමාන කටයුතුත් කළා. මම වැඩිපුරම කැමති අනුරාධපුරේ ඉන්න තමයි. එහෙ හරිම නිදහස්. ඒ වගේම කලා කටයුතුවලටත් මේ දවස්වල සම්බන්ධ වෙනවා.
ඔයාගේ පෞද්ගලික තොරතුරු ටිකක් කියන්නකෝ.
මට වයස අවුරුදු දහතුනයි. මං ඉගෙන ගන්නේ මහ/පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ අට ශ්‍රේණියේ. පවුලේ ඉන්නේ අම්මා,අප්පච්චී,අක්කගේ බබා අකී. අක්කා නම් දැන් විදේශගත වෙලා ඉන්නේ. අප්පච්චී යුධ හමුදාවේ සේවය කරන්නේ. අම්මා තමයි මාව රූගත කිරීම්වලට එක්ක යන්නේ. අප්පච්චිත් නිවාඩු වෙලාවට මගේ වැඩවලට උදව් කරනවා.
සමිත මුලින්ම සම්බන්ධ වුණු නිර්මාණය මතකද ?
ඔව්, මුලින්ම මම වෙළඳ දැන්වීමකට තමයි සම්බන්ධ වුණේ. ඒක බිස්කට් දැන්වීමක්. කෝපි කඩේ ටෙලි නාට්‍ය කරන නැන්දලා මාමලා ඇවිත් අපේ ඉස්කෝලේ වේදිකා නාට්‍යයක් කළා. මටත් අවස්ථාවක් ලැබුණා ඒකට සම්බන්ධ වෙන්න. පාසලෙන්ම මට තමයි ඒ අවස්ථාව ලැබුණේ.
ඔයාට කලාවට සම්බන්ධ වෙන්න මග පෑදුන විදිය ගැනත් දැන ගන්න අපි කැමතියි.
වයස අවුරුදු නවයෙදී තමයි මුලින්ම මම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ. මුලින්ම “පුංචි තරුත් සමඟ ආයුබෝවන් දෙරණ” වැඩසටහනට සහභාගි වුණා. මදුමාලි මිස් තමයි මට ඒ අවස්ථාව ලබා දුන්නේ. මාව මුලින්ම වෙළඳ දැන්වීමකට යොමු කලේ දිල්රුක්ෂි මිස්. මේ වෙද්දි මම අවුරුදු තුනක් පුරාවට විවිධ කලා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට ඇවිත් තියෙනවා.
අධ්‍යාපන කටයුතුවලට, කලා කටයුතු නිසා බාධා වෙන්නේ නැද්ද ?
නැහැ, විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ පාසලේ ගරු විදුහල්පතිතුමා රුවන් බී. එදිරිසිංහ සර්, ගුරු මඩුල්ල, පංති භාර මැඩම් සහ මගේ යාළුවෝ ගොඩක් උදව් කරනවා. කලා කටයුතුවලට මගේ පාසලෙන් ලැබෙන සහයෝගය නම් ඉතා ඉහළයි.
මේ වෙනකොට සම්බන්ධ වෙලා තියෙන නාට්‍ය නිර්මාණ මොනවද ?
“බේකරි ගෙදර,ඉස්කෝලේ කතාව, පෝදා දහම් සුවඳ” කියන ටෙලි නාට්‍යවලට දැනට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව ගොඩක් වෙෙළඳ දැන්වීම්වලට මම දායක වුණා.
ප්‍රේක්ෂකයා ඔයාව හඳුනා ගත්තේ මොන නාට්‍යයේ, චරිතයෙන්ද?
“පෝදා දහම් සුවඳ කතා” මාලාවේ “සමිත” ගේ චරිතයෙන් ප්‍රේක්ෂකයා මාව හඳුනා ගත්තා. මගේ සැබෑ නමම තමයි ඒ නාට්‍යයේ චරිතයේ නමත්. “ඉස්කෝලේ කතාව” ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වෙන්නේ පාසලට අලුතෙන් එන දරුවෙක් විදියට. ඒ චරිතයේ නමත් “සමිත”. ඒ අවස්ථාත් මට විශේෂයි.
රූගත කිරීම්වලදී සිද්ධ වුණු අමතක නොවෙන අවස්තා තියෙනවද ?
එක්තරා වෙළඳ දැන්වීමක මට අත් දෙකම නැති දරුවෙක් විදියට රඟපාන්න තිබුණා. ඒක මට අමතක වෙන්නේ නැහැ. ටෙලි නාට්‍ය රූගත කිරීම්වලදි නම් තවම එහෙම අමතක නොවෙන සිද්ධි වෙලා නෑ. මම ටෙලි නාට්‍ය රූගත කිරීම්වලදි මුල් කාලේ හරිම බයයි, ලජ්ජයි. මොකද සීන් එක හරියටම මට කරන්න පුළුවන් වෙයිද කියලා හිතුණා. දැන් නම් එහෙම නෑ පුරුදුයි.
ඉස්සරහට ඔයාව දකින්න පුළුවන් නිර්මාණ මොනවද ?
දෙරණ නාළිකාවේ “ඉස්කෝලේ කතාව”, “සතුට අරන්” පෝදා ටෙලි කතාව තුළින් මාව දකින්න පුළුවන්.
ඔයාට තව අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවද ?
ඔව්, සුමිත් ගල්හේන සර්ගේ චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. සාලින්ද රත්නායක සර්ගේ නිර්මාණවලටත් ආරාධනා ඇවිත් තියෙනවා.
සමිත ආසම කරන විෂයයක් තියෙනවද ? ඔයාට තියෙන වෙනත් දක්ෂතා ගැනත් කියමු.
මම ගණිතය විෂයයට තමයි ගොඩක්ම ආස. නිවේදන කටයුතුවලට වගේම නර්තනයටත් මට හොඳ දක්ෂතාවක් තියෙනවා. ක්‍රීඩාවක් විදියට මම බොක්සින් ක්‍රීඩාව කරනවා.
ඔයාගේ අනාගත බලාපොරොත්තුව ?
වෛද්‍යවරයෙක් වෙන එක තමයි මගෙ බලාපොරොත්තුව. ඒ අතරේ කලාවත් අතහරින්නේ නැතුව පුළුවන් උපරිමයෙන් කලා කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.
ස්තූති කරන්න ඉන්න පිරිස ගැනත් මතක් කරමු.
අම්මා, අප්පච්චී, මගේ පාසලේ හැමෝම, හර්ෂ උඩකන්ද, සාලිය රත්නායක, පුෂ්ප රුවන්,සුමිත් ගල්හේන සර්ලා, චානක අයියා, රංජීවනී බැද්දේවිතාරණ මිස්,මදුමාලි ජයසිංහ, දිල්රුක්ෂි වීරපරාක්‍රම මිස්ලා සහ අපිව නිරතුරුව දිරිගන්වන චරිත් මනෝජ් මාමා මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.