ගැන්ග්ස්ටර් කැරැක්ටර් එකක් හම්බ වුණා -අංජන ප්‍රේමරත්න

gossiplanka image 1


‘තණමල්විල කොල්ලෙක්’ හි පතෝලයා හින්දා ඔහු ගැන වැඩිපුර කතාබහක් ඇතිවුණා. ඒ වගේම පසුගියදා තිරගත වුණු ‘වාලම්පුරි’ චිත්‍රපටය හින්දා ඔහු ගැන තව තවත් වැඩිපුර කතාබහ වෙන්න පටන්ගත්තා. මේ අලුත් අවුරුද්දේ, හා හා පුරා කියලා ඔහු ගැන කතාබහ කරන්න හිතුවේ චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ ‘ෆාදර්’ චිත්‍රපටය හින්දයි. ඔහු නමින්, අංජන ප්‍රේමරත්න. මේ අංජනේ හඬයි.

අංජන රංගනයෙන් දායක වන ‘ෆාදර්’ එළැඹෙන 09 වැනිදා ඉඳලා තිරගත කිරීම ආරම්භ කරනවා නේද?


ඔව්. එළැඹෙන 09 වැනිදා ඉඳලා තමයි ‘ෆාදර්’ තිරගත කිරීම ආරම්භ වෙන්නේ. මම හිතන්නේ, මම රඟපෑ වෙනස්ම චරිතයක් මේක. ඒ වගේම දැවැන්ත නළු නිළියන් රැසක්ම රංගනයෙන් දායක වුණු චිත්‍රපටයක්. ආපහු මාව වෙනස්ම චරිතයකින් රිදී තිරයෙන් අලුත් අවුරුද්දේ දැකගන්න ලැබේවි.



‘ෆාදර්’ චිත්‍රපටයට ආරාධනාව ලැබුණේ කොහොමද?


මම හිතන්නේ, අධ්‍යක්ෂ චමින්ද ජයසූරියගේ නළුවරණයට තමයි මාව හසුවෙලා තියෙන්නේ. ඇත්තටම මම සතුටුවෙනවා මේ වගේ චිත්‍රපටයකට මාව තෝරාගැනීම සම්බන්ධව.


රූගත කිරීම් අත්දැකීම් එහෙම කොහොමද?


ඒක වෙනස්ම අත්දැකීමක්. මොකද වේදිකාවේ ඉඳලා කටයුතු කරපු වෙනස්ම පිරිසක් තමයි මේ වැඩේට සම්බන්ධවුණේ. ‘ෆාදර්’ කියන්නේ ටීම් වර්ක් එකක්. රූගත කිරීම්වලදී මට නම් එහෙම ලොකු බිහිසුණු අත්දැකීම්වලට මුහුණදෙන්න හම්බවුණේ නැහැ. හැබැයි අපේ සහෝදර ශිල්පි ශිල්පිනියන්ට එවැනි පුංචි පුංචි අත්දැකීම්වලට මුහුණදෙන්නත් සිද්ධවුණා. ‘ෆාදර්’ කියන්නේ ලස්සන වැඩක්.



‘වාලම්පුරි’ සිනමා නිර්මාණයෙන් පසුව ඔබට ලැබුණු වෙනස්ම වැඩක්. එහෙමද?


ඔව්. එහෙම කිව්වොත් වඩාත්ම නිවැරදියි. ‘වාලම්පුරි’ හි මම කළේ මීට වඩා හාත්පසින්ම වෙනස්ම චරිතයක්. ‘ෆාදර්’ කියන්නේ ගැන්ස්ටර් ටයිප්එකේ ෆිල්ම් එකක්නේ. ගැන්ස්ටර් කැරැක්ටර් එකක් තමයි මටත් කරන්න හම්බවුණේ.


මේ දවස්වල රඟපෑම් වැඩකටයුතු එහෙම කොහොමද?


අලුත් ටෙලිනාට්‍යයකට ආරාධනාවක් ලැබුණා. එහි වැඩකටයුතු භාරගත්තා. ඔය අතරේ චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබුණා. ඒවත් කරන්න තමයි සූදානම් වෙන්නේ.


මෑතකාලයේ ඔබට ලැබුණු නිර්මාණ ගැන මොකද හිතෙන්නේ ?


මම කරපු වැඩ ටිකත් එක්ක රසිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරත් වෙනස්. එහි ප්‍රතිඵලයක් විදිහට මට වෙනස් වෙනස් විදිහේ නිර්මාණවලට දැන් දැන් ආරාධනා ලැබෙනවා. ලබන වසරේ ජනවාරිවල ඉඳලා මටත් හොඳ වසරක් වේවි. දැනට ලැබුණු ආරාධනා ටිකත් එක්ක මම සුබවාදී විදිහට බලාගෙන ඉන්නවා.


‘වාලම්පුරි’ එකෙන් පස්සේ ටිකක් වෙනස් විදිහේ නිර්මාණවලට ආරාධනා ලැබුණා නේද?


ඔව්. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. මට ටෙලිනාට්‍යයක පළමුවැනි වතාවට ප්‍රධාන චරිතයකටත් ආරාධනා ලැබුණා. ඒ ටෙලිනාට්‍යයත් වෙනස් විදිහේ නිර්මාණයක්. මොකද මෙතෙක් රඟපෑ නිර්මාණවල ගොඩක් වෙලාවට මම රඟපාලා තියෙන්නෙ උප ප්‍රධාන චරිත. ඉතිං මට ඒ ටෙලිනාට්‍යය විශේෂයි.


‘ෆාදර්’ චිත්‍රපටය බලද්දී මොකද හිතුණේ?


මමත් ‘ෆාදර්’ චිත්‍රපටය මුලින්ම නැරඹුවේ මාධ්‍ය දර්ශනයේදී තමයි. වෙනස්ම වැඩක්. මේ අවුරුද්ද මුලදීම ඒක තිරගතවීම ගැන ඇත්තටම සතුටුයි. මට ඒ සඳහා අවස්ථාවක් ලැබීම ගැන ඊටත් වඩා සතුටක් තියෙන්නේ.


ඔබ වැඩිපුර රඟපාන්නේ ජගත් මනුවර්ණ සමග නේද?


මමයි ජගයි අපේ කණ්ඩායමට විරුද්ධ පැත්තේ කණ්ඩායම සමග තමයි රඟපාන්නේ. ජගත් මනුවර්ණ කියන්නේ මගේ සමකාලීන සහෝදරයෙක්. අපි දෙන්නා වේදිකාවෙත් එකට වැඩකරලා තියෙනවා. මට ජගත් හුරු කෙනෙක්. ඒ හින්දාම අපි දෙන්නාට මේ වැඩේ හොඳට කරගන්න පුළුවන් වුණා.


ඔබට ඔබව තිරයෙන් දකිද්දී මොකද හිතුණේ?


කොහොමටත් සිනමාව තමයි අපේ හීනය. ටීවීවල දකිනවාට වඩා ලොකු තිරයක දකිනකොට තමයි ඒකෙ තියෙන ආසාව වැඩිවෙන්නේ. ඒක වෙනස්ම අත්දැකීමක්. ඉතිං අපේ බලාපොරොත්තු ඉෂ්ටවෙමින් පවතිනවා. මම හිතනවා සිනමාවේ බලාපොරොත්තුත් ඉෂ්ටවෙමින් පවතිනවා. අපි බලාපොරොත්තුවෙනවා සිනමාව හොඳ තත්ත්වයක පවත්වාගෙන යෑමට පුළුවන්වේවි කියලා. එතකොට අපිටත් ඉදිරියේ හොඳ තත්ත්වයක් උදාවේවි.


තිරයෙන් දකින හීනය යම්තාක් දුරට සැබෑවෙලා තියෙනවානේ.


ඒ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?


මම හිතන්නේ මගේ මූලික අරමුණ රඟපෑම තමයි. ඒ වෙනුවෙන් අවුරුදු විසිහයක් විසිහතක් විතර කැපවෙලා තියෙනවා. ඒ කැපකිරීම්වල ප්‍රතිඵල දැන් භූක්තිවිඳිමින් සිටිනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි.


නළුවෙක් විදිහට ආපු ගමන ගැන ආපසු හැරී බැලුවොත්?


මේ වෙනකොට තමයි එහි ප්‍රතිඵල තියෙන්නේ. ගමන සුබවෙයි කියලා හිතෙනවා. තව ඉස්සරහටත් සුබවාදීවේවි කියලා හිතාගෙන ඉන්නවා.


‘තණමල්විල කොල්ලෙක්’ හි පතෝලයාගේ රඟපෑමේ අතීතයට ගියොත් ?


‘තණමල්විල කොල්ලෙක්’ පතෝලයා තමයි මට මීට පෙර හම්බවෙච්ච වෙනස්ම චරිතය. ‘තණමල්විල කොල්ලෙක්’ පතෝලයාට හොඳම සහාය නළුවාට හිමි සම්මානය පවා මට හම්බවෙලා තියෙනවා. ඒකත් එක්ක පන්නරය ලබලා මම අලුත් වැඩවලට දායකත්වය ලබාදෙනවා. තව ටිකක් හොඳට වැඩකරන්න තමයි හිතාගෙන ඉන්නේ. පතෝලයා ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. අදටත් ඒ චරිතය ගැන කතාබහ වෙනවා වගේම ඒ චරිතය ජනප්‍රියයි.


මෑත කාලයේ අංජනලාගේ පරම්පරාව සිනමාව ආක්‍රමණය කරලා තියෙනවා නේද?


මම හිතන්නේ අපේ පරම්පරාව සිනමාව ආක්‍රමණය කළා කියනවාට වඩා අපේ හිටපු සෙට්එක ඒ වෙනුවෙන් ගොඩක් කැපවුණා. අපේ බලාපොරොත්තුව තිබුණෙත් ඒ වෙනුවෙන් යම්කිසි වෙනසක් ඇතිකරන්න. මම හිතන්නේ අපේ මල්ටික පීදීගෙන එනවා. ඒ ගැන සතුටුයි.


දක්ෂ නළුවා කියන සම්මානය ගන්න අංජනගෙත් හීනයක් තියෙනවාද?


දක්ෂ නළුවෙක්ට වඩා හොඳ නළුවෙක් වෙන්න තමයි ට්‍රයි කරන්නේ. සම්මානවලට වඩා වැඩේ හොඳට කරන්නයි ට්‍රයි කරන්නේ. වැඩේ හොඳට කළොත් සම්මාන දෙන කට්ටිය අපිව තෝරයි.


ගමේ ඉඳලා කොළඹ ආපු අතීතයට ගියොත්?


ගමේ ඉඳලා කොළඹ ආවේ නළුවෙක් වෙන්න තමයි. දැන් ඒ හීනය සෑබෑවෙමින් තියෙනවා.


ඒ හීනය පැත්තකට දාලා ගමට ගියානම් මේ වෙනකොට මොනවා කරාවිද?


මම එක්කෝ ගෙදරට වෙලා කඩේ කරගෙන ඉඳීවි. ඒ කාලෙත් එක එක වැඩකළා. යන්න හේතු තිබුණත් කට්ට කාගෙන හිටියෙත් මේ හීනය සැබෑ කරගන්නනේ. කොහොමත් මේක අතහරින්නේ නැහැ. මේක තමයි ජීවිතේ වෙලා තියෙන්නේ.


දිනේෂ් විතාන

Previous Post Next Post