කාල වේලාවමදි නිසාවැඩිය දකින්න නෑ -රවීන්ද්‍ර යසස්

gossiplanka image 2


වේදිකාව, රූපවාහිනිය, සිනමාව මෙන්ම ගුවන් විදුලිය යන මාධ්‍ය සියල්ලක්ම හරහා සිය හැකියාවන් පෙන්වමින් ජනතා ආකර්ෂණය දිනූ කලාකරුවකු ලෙස රවීන්ද්‍ර යසස් කුමානායක හඳුන්වා දිය හැකිය. දශක ගණනාවක් පුරා වේදිකාව, සිනමාව හා ටෙලිනාට්‍ය යන ත්‍රිත්වය තුළ නොමැකෙන සලකුණක් තබා ඇති ඔහු මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘මම සහ ඔබ’ ටෙලි නිර්මාණය තුළින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණේ. මේ ඔහුගේ අලුත්ම තොරතුරු පිළිබඳව ‘හදගැස්ම’ අපි කළ කතාබහයි.


මේ දිනවල වැඩකටයුතු කොහොමද?


මේ දිනවල තරමක් කාර්යබහුලයි. ටෙලිනාට්‍ය, සිනමාව තුළ නිතර නිතර දකින්නට නොසිටියාට වේදිකා නාට්‍ය සමඟ රට පුරා යනවා. මේ දිනවල මම රංගන දායකත්වය ලබාදෙන ‘රාජකපුරු’, ‘රොම්බතෑන්ක්ස්’ වැනි වේදිකා නාට්‍ය සඳහා හොඳ ඉල්ලුමක් පවතිනවා.


නිතර දෙවේලේ ටෙලි නිර්මාණ තුළින් දක්නට නොලැබෙන්න විශේෂ හේතුවක් තිබෙනවාද?


කාලවේලාව මදිකම නිසා තමයි මම වැඩිපුර නිර්මාණ තුළින් හමුනොවෙන්නේ. ඒ වගේම මේ වෙද්දි නිවෙසේ ඉන්නෙ මම සහ බිරිය පමණයි. එයාව තනියම ගෙදර තියලා මට කොළඹින් පිට රූගත කිරීම්වලට ගිහින් දවස් දෙක තුන ගත කරන්න බැහැ. ඒ නිසා කොළඹ අවට තිබෙන නාට්‍ය රූගත කිරීම්වලට පමණයි සහභාගි වෙන්නේ. මේ දිනවල දෙරණ නාළිකාවෙන් විකාශය වන ‘දෙවෙනි ඉනිම’ සහ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍ය සඳහා රඟපෑමෙන් එකතු වෙලා ඉන්නවා.


“මම සහ ඔබ”හි ඔබේ චරිතය ගැන කතා කළොත්?


‘මම සහ ඔබ’ ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ සැලෝන් එකක් කරන අයකුගේ චරිතයක්. මේ චරිතයේ පිටපත කියවන විට මට හිතුණා පිටපතෙහි ලියලා තිබුණට වඩා මේ චරිතය ඇතුළත වෙන අදහසක් තිබෙනවා කියලා. එහිදී මම අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා සමඟ සාකච්ඡා කරලා මට අවශ්‍ය ආකාරයට චරිතය සකසා ගත්තා. එම වෙනස් කිරීම නාට්‍යයට වෙනස් ආකාරයේ අර්ථයක් එක් කළා කියලා මට හිතෙනවා.


කොහොමද එම චරිතයට ලැබෙන ප්‍රතිචාර?


මේ වෙද්දි මගේ චරිතයට වගේම සමස්ත ටෙලි නාට්‍යයටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඉදිරියේදී මීටත් වඩා සාර්ථක ප්‍රතිචාර ලැබෙයි කියලා විශ්වාස කරනවා.


නිර්මාණයකදී අත්දැකීම් සහ පරිකල්පනය අතර තිබිය යුතු සමබරතාව තීරණය වෙන්නේ කොහොමද?


රංගන ශිල්පියකුට සාර්ථක රංගනයක යෙදීමට ‍නම් අත්දැකීම් සහ එම චරිතය පිළිබඳ දරන අදහස, ඒ පිළිබඳ අවබෝධය ඉතාමත් වැදගත්. එහෙත් වර්තමාන පරපුර තුළ දකින්නට නැති දෙයක් තමයි අත්දැකීම් සහ පරිකල්පනය නිසි අයුරින් පවත්වා නොගැනීම. අපේ පරපුර වගේ නෙවෙයි නවක පරපුර අත්දැකීම් සහ පරිකල්පනයට එතරම් කැමැත්තක් නැහැ. වේදිකා නාට්‍ය රංගනයට නව පරපුරේ කෙනෙක් ආවොත් අවශ්‍ය උපදෙස් ලබාදීලා ඔහුව සාර්ථකත්වයට පත් කරනවා. ටෙලිනාට්‍ය තුළ නම් එහෙම සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ වගේම නව පරපුරේ අය වේදිකාව සමඟ ගනුදෙනු කරන්නෙත් අඩුවෙන්. කිසිම හැඟීමකින් තොරව තමන්ට ලැබෙන දෙබස කියවලා තමන්ගේ රංගනය අවසන් කියලා හිතන වර්තමාන පරපුරක් තමයි අපට සිටින්නේ. එහෙම එපා, පුළුවන් හැමවෙලාවකම ප්‍රවීණ ඇසුර ලබා ගන්න. තමන්ට චරිතයක් ලැබුණාම එම චරිතය කරන්න කලින් ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න. එහෙම කිරීමෙන් අත්දැකීම් සහ පරිකල්පනය සමබර ලෙස තබා ගැනීම එතරම් අපහසු වෙන්නේ නැහැ.


ප්‍රතිචාර-ඇගයීම්-සම්මාන වැනි දේ රංගන ශිල්පියකුට කෙතරම් වැදගත්ද?


රංගන ශිල්පියකුට-ශිල්පිනියකට ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදරය ඉතාමත් වැදගත්. වේදිකා නාට්‍යයක් අවසන් වූ පසු රසිකයන් ඇවිත් අපිත් සමඟ කතාබහ කරනවා. ඔවුන් එම නාට්‍යයේ සහ චරිතවල ගුණදොස් ‍ඒ මොහොතේදීම කියනවා. එම ප්‍රතිචාර සියල්ලක්ම සජීවීව තමයි ලැබෙන්නේ. එහෙම ලැබෙන ප්‍රතිචාර අපේ සාර්ථකත්වයට මනා පිටිවහලක් එක් කරනවා.


කොහොම වුවත් ප්‍රේක්ෂක ප්‍රතිචාර අත්‍යවශ්‍යයි. ඒ ප්‍රතිචාර මුහුණට මුහුණ බලාගෙන සජීවීව කියනවා නම් ඊටත් වඩා හොඳයි.


සම්මාන පිළිබඳව නම් මගේ ඒතරම් ලොකු පිළිගැනීමක් නැහැ.


ලංකාව තුළ සම්මාන ලබාදීමේ කිසිම ප්‍රමිතියක් නැහැ. මේ කතාව මම විතරක් කියන ‍කතාවක් නෙවෙයි. හැමදෙනාම මේ මතයේ තමයි ඉන්නේ. රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කරමින් සම්මානයක් ගන්න පුළුවන් නම් එය වටිනවා. එහෙත් වර්තමානය වන විට එම සම්මාන උළෙලෙත් වටිනාකම ගිලිහිලා ගිහින් කියලයි මට නම් හිතෙන්නේ. සම්මාන උළෙල නම් කිසිම වැඩක් නැහැ. ජනතා සම්මානය තමයි හොඳම සම්මානය.


සමාජ මාධ්‍ය ඔස්සේ සිනමාව-වේදිකාව ටෙලිනාට්‍ය පිළිබඳ කතාබහක් පවත්වා ගත හැකිද?


පුළුවන්. හැබැයි මේ වෙද්දි සමාජ මාධ්‍ය හරහා එම කාරණාව සිද්ධ වෙනවද කියන ප්‍රශ්නය ඇති වෙනවා. මොකද වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ සැරිසරන බොහෝ දෙනා ගුණාත්මක සහ හරවත් යමක් කතා කරනවා වෙනුවට ක්‍රියා කරන්නෙ මුදල් ඉපැයීම සඳහා මුල් තැනක් ලබා දීමයි. ඉතින් සමාජ මාධ්‍ය කියන්නේ ව්‍යාපාරයක්. එමඟින් සිදු වෙන්නෙ කලාවේ දියුණුව පිළිබඳ කතා කිරීම පසෙක තබා කාට හෝ මඩක් ගහලා, ඕපදූපයක් සොයලා, දුර්වලකමක් පෙන්නලා දීලා සල්ලි හම්බ කිරීමයි. එහෙම නැතිව කලාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන එකම සමාජ මාධ්‍යයක්වත් මේ වෙනකම් බිහිවෙලා නැහැ.


ඔබේ පුතා ආයෙත් රංගනයේ යෙදෙන්නේ නැද්ද?


මම එයාට රඟපාන්න එන්න එපා කියලත් නැහැ. රඟපාන්න කියලත් නැහැ. එයාලගෙ ජීවිත තනියම සකස් කර ගන්න ඕන. පුංචි කාලේ ඉඳලම කසුන් ඉගෙන ගන්න කැමැතියි. දැන් එයා සහ එයාගේ බිරිය වැඩිදුර අධ්‍යාපනය සඳහා ඕස්‍ට්‍රේලියා‍වට ගිහින් ඉන්නේ. අපේ රටවල රංගනයේ නෙවෙයි මොන වෘත්තියක නියැළුණත් ජීවත් වෙන්න අමාරුයි. එයා පුංචි කාලේ ඉඳලම මම වින්ද දුක දැකලා තිබෙනවා. ඒ නිසා එයා ඉගෙන ගන්න එකට නම් මමත් කැමැතියි. ඒ රටවලට ගියාම ඕන කෙනෙක්ට හිතෙන්නේ ලංකාව වගේ රටවල මිනිස්සු දුක් විඳිනවා කියලයි. ලංකාවේ විඳින දුකින් භාගයක් ඒ රටවල්වල වින්දම සැපට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතනවා. එහිදී තිබෙන එකම දුක ලංකාවේ වගේ සම්බන්ධතා නැතිකම විතරයි. කාලා බීලා හොඳට ජීවත් වෙන්න පුළුවන්. සම්බන්ධතාවලට වඩා වැදගත් වෙන්නෙ ජීවත්වීම කියලයි මම නම් හිතන්නේ.


අනාගතයේදී මොනවගේ නිර්මාණ තුළින්ද දැක ගන්න පුළුවන් වෙන්නේ?


අනාගතයේ මගේ ලොකුම බලාපොරොත්තුව මම විසින්ම වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනු ලැබීමයි. මේ වන විට ඒ සඳහා පිටපතක් සොයමින් ඉන්නවා. තවම මගේ සිතට සරිලන ආකාරයේ පිටපතක් ලැබුණෙ නැහැ. නළු-නිළියන් විශාල ප්‍රමාණයක් යොදා නොගෙන රංගන ශිල්පීන් හතර පස් දෙනෙක් යොදා ගනිමින් කරන්න පුළුවන් ප්‍රේක්ෂකයන්ට විහිළුවෙන් හොඳ අර්ථයක් දිය හැකි නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීම තමයි මගේ අරමුණ. මොකද වේදිකා නාට්‍යයක් බලන්න කෙනෙක් එන්නෙ රුපියල් 1,500ක් 2,000ක් 3,000ක් වැනි මුදලක් වියදම් කර ගෙනයි. එවැනි මුදලක් ගෙවල ටිකට් එකක් අරගෙන එක් කෙනෙක් විතරක් එන්නෙත් නැහැ. දෙතුන් දෙනෙක් එනවා. එහෙම එන අයකුට පුළුවන්කම තිබෙන්න ඕන. එම නාට්‍ය නරඹලා තමන්ගේ හිතේ තිබෙන ප්‍රශ්න සියල්ලක්ම අමතක කරන්න. එහෙම හිතාගෙන එන ප්‍රේක්ෂකයන්ට වැඩකට නැති අර්ථයක් නැති මේ නාට්‍යයේ තේරුම මොකක්ද කියලා ගෙදර ගිහිල්ලත් කල්පනා කර කර ඉන්න වේදිකා නාට්‍යයක් පෙන්නලා වැඩක් නැහැ. එහෙම වුණාම ඒ මිනිස්සුන්ට නාට්‍යයත් එපා වෙනවා. අපිත් මහා පාපයක් කර ගන්නවා. ඒ නිසා මට ඕන විහිළුවෙන් මේ සමාජයේ මේ වගේ දේවල් වෙනවා කියලා පෙන්වලා දෙන්න.


අරුණි ජයසේකර

gossiplanka image 1
Previous Post Next Post