ජීවිතේ ගැනවත් නොහිතා මුහුදට පැන්නා -දසුන් පතිරණ

gossiplanka image 1
 

දසුන් පතිරණ අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ලංකාවේ සිනමාවේ දඟකාර චරිතවලට උරුමකම් කියන අති දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දිනවල දසුන් අපිට මුණගැහෙනවා මාලන් විදියට. ඒ අරුණ ජයවර්ධනගේ මාරියා තුළින්.




මාරියා එනකම් බොහෝ කල් ප්‍රේක්ෂකයන් බලන් හිටියා, දැන් තමයි ඒ කාලය උදා වෙලා තියෙන්නේ... මොකද හිතෙන්නේ?




මාරියා එනකම් ප්‍රේක්ෂකයන් බලන් ඉන්න ඇති. ඒ වගේම මමත් අවුරුදු ගාණක් බලන් හිටියා මාරියා තිරගත වෙනකම්. මොකද මේකට වුණු මහන්සිය කැපවීම එක්ක. ලංකාවේ මේ වගේ ප්‍රඩක්ෂන් එකක් වෙලා නැහැ. මේ වගේ ගැඹුරු මුහුදට ගිහින් කවුරුත් ෆිල්ම් එකක් කරලා නැහැ. ලෝකය ගත්තත් ප්‍රයෝගිකව එහෙම කරන්නේ නැහැ. නමුත් අපේ තියෙන ගායට අපිට කරන්න ඕනෙකමට කරපු නිර්මාණයක්. අපේ ජිවිත හානියක් ගැනවත් හිතන්නේ නැතුව කරපු නිර්මාණයක්. ඒ වගේ ලොකු අවධානමක් අරන් කරපු වැඩක්. ඒ නිසා සිනමා ප්‍රේක්ෂකයන්ටත් අලුත් අත්දැකීමක් වෙයි ‘මාරියා’.




දසුන්ට මාරියා විශේෂ වෙන්නේ කො‍ෙහාමද?




මාලන් එක්ක තියෙන අනෙකුත් චරිත ටික නිසා තමයි මට මේ මාලන් චරිතය විශේෂ වෙන්නේ. ඒ ඔක්කොම ලංකාවේ ඉන්න ඉහළ පෙලේ දැවැන්තයන්. මම ආසාවෙන්ම වැඩ කරන සෙට් එක සහ මම කැමැතිම ලංකාවේ හොඳ ප්‍රේක්ෂකාගාරයක් ඉන්න සෙට් එක. මාලන් කියන්නේ බෝට්ටුවට එන ආගන්තුකයෙක්. ඒ ආගන්තුකයා නිසා ඇතිවන ප්‍රශ්න ටිකක් එක්ක තමයි කතාව ඉදිරියට යන්නේ. වැඩි දෙයක් කියලා කට්ටිය ස්පොයිල් කරන්න මම කැමැති නැහැ. මම ආසයි මාරියා ගිහින් බලනවා නම්. මට අනුව මාලන් කියන්නේ ලංකාවේ තාරුණ්‍යය කියලා කියන්න පුළුවන්. මොකද ලංකාවේ තාරුණ්‍යයේ එකම හීනය රට යන එක. ඒ රට යන හීනෙක ඉන්න සාමාන්‍ය කොල්ලෙක් තමයි මාලනුත්. ලංකාවේ තාරුණ්‍යයේ බොහෝ දෙනා බලන්නේ රටකට ගිහින් ගේමක් ගහන්න.




ගොඩ බිමක් නොපෙනෙන ගැඹුරු මුහුදේ ජිවිතේ හොඳයි ද?




නැහැ. මම හිතනවා ධීවරයන් තමයි ලෝකේ තියෙන අමාරුම රැකියාව කරන්නේ. මොකද ඒ ෆීල් එක අපිටත් දැනුණා. මුහුදු යන මිනිස්සු ආයේ එයිද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. අහිංසක ඉතාම ලස්සන මුහුද සහ කැතම මුහුද අපි දැක්කා. මොකද එකම මුහුද එක මොහොතකදී යකා වෙනවා. ඒ යකා මුහුදේ තියෙන ලස්සන නැති කරනවා. ඒක මාරම වැඩක්. ප්‍රේක්ෂකාගාරයට එන අලුත්ම ෆිල්ම් අතරට ‘මාරියා’ කියන්නේ අලුත් ස්ටාර් එකක් පෑව්වා වගේ. මම විශ්වාස කරනවා පෞද්ගලිකව සිනමා ප්‍රේක්ෂකයන් මේ වටා එකතු වෙයි. බලයි මේ ගැන කතා වෙයි කියලා. මේකේ නිළියක් නැහැ. ඉන්නවා කෙනෙක්. ඒ කන්සෙප්ට් එකම අලුත්.




මේ මුහුදේ රූප රාමු මැව්වේ චන්න දේශප්‍රියනේ ඔහු ගැනත් කිව්වොත්




චන්න අයියා කියන්නේ මගේ පළමු ෆිල්ම් එකේ ඉඳන්ම මට හම්බුනු කෙනෙක්. ඒ 2009 දී. චන්න අයියා ඉන්නවා කිව්වම අපි දන්නවා ඒ ගැන හිතන්න දෙයක් නැහැ කියලා. ලංකාවේ ඉන්න ලෙජන්ඩ් කෙනෙක්. එයාගේ රූප රාමුවක ඉන්න අපිත් ආසයි. චන්න අයියා සහ ඇඩම් දෙන්නම මාර විදියට මහන්සි වුණා. හැම මොහොතකම පැද්දී පැද්දී අපි හිටියේ. එහෙම ඉන්න අතරේ අපිව ශුට් කළා කියන්නේ චන්න අයියා මුළු එනජි එකම දැම්මා. චන්න අයියාගේ ෆ්‍රේම් එකක ඉන්න මම කවදත් ලෝභයි. එයා එක්ක මාරම අතීතයක් අපිට තියෙනවා. ඒ එක්කම මේක අධ්‍යක්ෂණය කළේ අරුණ ජයවර්ධන. ලංකාවේ ඉන්න තවත් දැවැන්තයෙක්. මියුසික් කළේ මේ වෙද්දී ක්ෂේත්‍රයේ ඉන්න වැඩ්ඩෙක් වෙන චින්තක ජයකොඩි. සවුන්ඩ් කරනවා සශික අයියා. එඩිට් කරේ ඩිලන්ත පෙරේරා. සහාය අධ්‍යක්ෂ දමින්ද මඩවල මේ ටීම් එක හොඳම ටීම් එකක්. ඒ වගේ තමයි ඉන්න නළුවෝ ටික. මේ කාස්ට් එක මේ විදියට එකම ෆිල්ම් එකකකින් දකින්න ලැබෙනවා කියන්නෙම මාර වැඩක්.




මේ නළුවෝ හත් දෙනා ආයෙම අපිට එක නිර්මාණයකින් දකින්න ලැබෙන එකකුත් නැහැ. ඔව්. කරන්නත් බැහැ. මේ වගේ මොහොතකට අපිත් ආසාවෙන් හිටියේ. ඒ අවස්ථාව අපිට උදා වුණා. විශේෂයෙන්ම දර්ශන් ධර්මරාජ් ගැන කියන්න ඕනේ. අපිට හිටිය සුපර් ඇක්ටර් කෙනෙක්. එයාගේ මිස්විල්ල හොඳටම දැනෙන තැනක්.


 චිත්‍රපටයේම එක තැනක හරි අපූරු දෙබසක් තියෙනවා දර්ශන් කියන, ඒ තමයි "ලොක්කා මං, ආයෙ මේ බෝට්ටුවේ රස්සාවට එන්නේ නෑ..." කියලා. ඒ වගේම ඔහුව අපිට ආයෙම රංගන ක්ෂේත්‍රයේ හමුවෙන්නෙත් නැහැ.




ඔව් ඒ දේවල් බලන කොට සෑහෙන හරි අමාරුයි. දර්ශන්ව රිදී තිරයේ බලන්න ලැබෙන අන්තිම අවස්ථාව මාරියා. දර්ශන්ගේ ඒ රංගනය පිස්සුවක්. මේ සියල්ල වෙන්නේ අපි හත් දෙනා ඇතුලේ. ඉන් එහා අවශේෂ චරිතයක් එහෙම දකින්නවත් නැහැ. එතකොට දර්ශන් කියන්නේ මාර චරිතයක්.




 මට මේ මාරියා තුළින් අවස්ථාව ලැබුණා ලංකාවේ ඉන්න උසම නළුවෝ තුන්දෙනා එක්කත් වැඩ කරන්න. හේමාල්, ආශාන් සහ දර්ශන්. උන්ගෙන් මට තියෙනවා කම්මුල් පාරවල් 16ක් විතර කන්න. ගුටි කනවා කියන එක වැඩියෙන්ම කරලා තියෙන්නේ මම හිතන්නේ ශාරුක් ඛාන්ගෙන් පස්සේ මම ද කොහෙද? ඒ තරම් ගුටි කෑවා. ඒ යක්කු තුන්දෙනා මාව උස්සලා පොලේ ගැහුවේ නැති එක විතරයි. අපි දැන් වැඩේ කරලා ඉවරයි. අපිට ඕනේ දැන් ප්‍රේක්ෂකයන්. අලුත් ජෙනරේෂන් එක මේක අනිවාර්‌යෙන්ම වැලඳ ගනී කියලා හිතනවා.




නළුවෝ හත් දෙනා ගායකයෝ බවටත් පත් වෙනවා නේද?




ඒකත් සිනමා නිර්මාණයක විශේෂ අවස්ථාවක්. හැමෝම එකතුවෙන් සින්දුවක් කියනවා. ඒක වෙන විදියකට එනවා. හැබැයි ෆිල්ම් එකේ ප්‍රවර්ධන ගීතය කියන්නේ බිමල් අයියා. බිමල්ට පොඩි ජෙලස් එකක් තිබ්බා අපේ ටීම් එකට එකතු වෙන්න බැරි වීම එක්ක. ඇයි මම මේකේ නැත්තේ වගේ ප්‍රශ්නයක්. කොහොමහරි බිමල් අයියාත් දැන් අපේ ටීම් එකේ ඉන්නවා.




2025 අවුරුද්ද සිනමාවට සුබවාදී වුණා, ඒ ගැන මොකද හිතෙන්නේ?




ඒ පිබිදීම නිසා අපිත් පිබිදෙනවා. මේ වගේ වාතාවරණයක් අපිට හම්බුණේ නැහැ. 90 ඉඳන් ෆිල්ම් බලන්න පටන් ගත්තේ. ඒ වෙද්දීත් සිනමාව ඩවුන් වෙලා තිබ්බේ. මගේ පළමු චිත්‍රපටය ‘මෝටර් බයිසිකල්’ එද්දිත් ඔය තත්ත්වේ තිබ්බා. හැබැයි පැන්ඩමික් එකෙන් පස්සේ අපිට හොඳම ටයිම් එක උදා වුණා. young blood වැඩ කරන්න ගත්තා. අලුත්ම වර්ෂන් එන්න ගත්තා සහ නිව් ජෙනරේෂන් එක ෆිල්ම් බලන්න එකතු වුණා. සාම්ප්‍රදායික සිස්ටම් එකෙන් බැහැර වුණා. දැන් ඉන්න ප්‍රේක්ෂකයන් නුවණක්කාරයි. ෆිල්ම් එක අවුල් නම් ඒ අය අතහරිනවා. අලුත්ම අය දන්නවා තියෙන කොලිටි එක දන්නවා. බොරු කරන්න බැහැ. කොච්චර ලොකු ප්‍රඩක්ෂන් එකක් වුණත් එයාලට දැනෙන්නේ නැත්නම් එයාලා බලන්නේ නැහැ. මේ කාලය තුළ ආව ෆිල්ම් එකිනෙකට වෙනස්. අහසයි පොළවයි වගේ ෆිල්ම් ආවේ. ඉස්සර තිබුණේ එක ෆිල්ම් එකක් හොඳට දිව්වොත් ඒ වගේම ෆිල්ම් රැල්ලක් එන එකනේ. ඒක කැඩුනා. අපේ ඉන්න අයත් දැන් බලනවා අලුත් දෙයක් දෙන්න. මේ අවුරුද්දේ දැන් ‘මාරියා’ තමයි අපිට තියෙන අන්තිම ෆිල්ම් එක. ඊළඟ අවුරුද්දේ ‘ෆාදර්’ එකෙන් පටන් ගෙන ගොඩක් නිර්මාණ එන්න තියෙනවා. ඉතින් මරු.




කාලයක් තිබුණානේ මේක ගොඩ ගන්න බැහැ, රටකට ගිහින් දරුවන්ගේ අනාගතය ගැන හරි හිතන්න ඕනේ කියලා, දැන් ඒ අදහස් වෙනස් වෙලා නේද?




ඔව්. පැන්ඩමික් කාලේ ඇත්තටම හිතුණා අපි රටකට හෝ යන්න ඕනේ කියලා. නමුත් දැන් වෙද්දී හිතිලා තියෙන්නේ ඇයි අපි යන්නේ කියන එක. දැන් තීරණය කරලා තියෙනවා ලංකාවේ දිගටම වැඩ කරනවා කියන එක.




දස්සාව දකින්න ලැබෙන වෙනත් නිර්මාණ මොනවද?




ලලිත් රත්නායකගේ ‘ඩෙල්ෆ්’ කියන චිත්‍රපටය කළා. ඒක තමයි මගේ එන්න තියෙන්නේ. තව ෆිල්ම් දෙකකට කතා කරගෙන යනවා. කොච්චර ෆිල්ම් ආවත් අපිට අපේ මුඩ් එකේ ෆිල්ම් නැත්නම් වැඩ කරලා වැඩක් නැහැ. මම හිතනවා මගේ ෆිල්ම් එක දිගටම එන්න ඕනේ නැහැ කියලා. මොකද මට වැදගත් වෙන්නේ සංඛ්‍යාව නෙවෙයි. 2016 ඉඳන් පටන් ගත්තු මේ ගමනේ අවුරුද්දේ එකක් හෝ දෙකක් වෙන්න පුළුවන්. මගේ ගමන කොහොමත් හිමින්. මම වැඩ කරනවා අඩුයි. හැබැයි හොඳ නිර්මාණ ලැබුණොත් මම භාර ගන්නවා.




මග හැරලා යන්න බැහැ පුංචි තිරයත්




ගෙදරට වෙලාම ඉන්නවට වඩා මම ආසයි ටෙලි නාට්‍යයවලත් රඟපාන්න. ගොඩක් ප්‍රේක්ෂකයන් ඉන්නේ පුංචි තිරයේ. මම විවිධ අධ්‍යක්ෂවරු එක්ක වැඩ කරන්න ආසයි. ලලිත් රෝහිත එක්ක ලස්සන වැඩක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ ‘දොරකඩ දෙවොල’ කියලා. ඉතාම ලස්සන පිටපතක්.




සිනමා රසිකත්වයට මාරියා සම්බන්ධයෙන් මොකක්ද ඔබ දෙන පණිවුඩය




‘මාරියා’ කියන්නේ ලංකාවේ අය අනිවාර්‌යෙන්ම බලන්න ඕනේ එකක්. ලංකාව වටේම මුහුද. අපි ඉන්නේ මුහුද මැද තියෙන පොඩි දූපතක. මුහුද එක්ක ගනුදෙනුව අපි එක්ක තියෙන්න ඕනේ. ඒ වගේම ලංකාවේ ඉන්න දක්ෂ නළුවන් හත් දෙනෙක් එකට බලන්න ලැබෙනවා කියන එකම මාරයි. මම හිතනවා ආයේ එහෙම ස්ක්‍රීන් එකක් ලැබෙන එකක් නැහැ. මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ඇවිත් ‘මාරියා’ බලන්න කියලා. එයාලට දැනෙන දේ එක්ක මාරියා සාර්ථක වෙයි.

Previous Post Next Post