නළුවෙක් නොවුණා නම් බීච් බෝයි කෙනෙක් – දසුන් පතිරණ

gossiplanka image 2
අපි ඔහුට ආදරේට කියන්නේ දස්සා කියලා. දස්සා කාලෙන් කාලෙට වෙනස්ම හැඩවලින් කරළියට එනවා. දැවැන්ත නළුවෝ හත්දෙනෙක් එක්ක මහ මුහුදත් එක්ක ඔට්ටු වෙලා කරපු වැඩක් ගැන තමයි අද අපි දස්සා එක්ක කතාබහ කරන්න හදන්නේ. චිත්‍රපටයේ නම ‘මාරියා’. දස්සාගේ වෙනස්ම රංගනයක් බලාගන්න නම් ඔයාලත් ගමේ නගරයේ තියෙන සිනමාහලට ගොඩවෙලා මාරියා බලන්න. එහෙනම් ඊට කලින් දස්සා එහෙමත් නැතිනම් දසුන් පතිරණ එක්ක මාරියා ගැන කරපු මේ කතාබහ කියවලා බලන්න.

මාරියා රිලීස් වුණානේ. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


ඇත්තටම හොඳයි. මාරියා එනකම් මම ගොඩාක් කාලයක් බලාගෙන හිටියා සහ බලාපොරොත්තු තියාගෙන හිටියා. මොකද මම දන්නවා ඒකේ තියෙන වටිනාකම. මේ චිත්‍රපටය සම්බන්ධයෙන් අපි හිතුවෙවත් නැති විදිහට ඇක්ටින් ගැන කතාබහ කරනවා.


මහ මුහුද මැද්දේ ගෙවපු ජීවිතය එහෙම කොහොමද?


මම හිතන්නේ නැහැ, මේ ලංකාවේ වගේම ලෝකෙම මුහුද මැදට ගිහිල්ලා ෆිල්ම් එකක් කරලා ඇති කියලා. අපේ තිබ්බ ජවය තමයි ඒකට හේතුවුණු එකම කාරණාව. පෞද්ගලිකව මම මුහුදට කැමැතියි. මුහුදට පුදුම ආසාවක් තියෙන්නේ. අරුණ අයියා මේ වැඩේට කතා කළාට පස්සේ මම පුදුම ආසාවකින් හිටියේ මේ පිරිසත් එක්ක වැඩ කරන්න. අනික අපි ගත්තු අවදානම ලෝකේ කවුරුවත් අරගෙන නැහැ කියලා හිතනවා. අපිට මොනවාහරි වුණා නම්, ඇත්තටම අපිව කුණාටුවලට හසුවුණා. මුහුදේ ගිලෙන්න ගියා. මුහුද ඉතාම සන්සුන්ව තියෙන අවස්ථාත් දකින්න ලැබුණා. මුහුදු යන රස්සාව කොච්චර අමාරු ද කියලත් දැනෙන්න ගත්තා.


දස්සාට හොඳට පීනන්න පුළුවන් නේද?


මම මුහුදත් එක්ක තියෙන ආසාව උපරිම සංසිඳවා ගත්තා. මුහුද මැදට ගිහිල්ලා මුහුදට පැන්නා. මහේන්ද්‍ර අයියා මට බනිනවත් එක්ක.


මුහුද මැද්දේ රාත්‍රියක් ගත කිරීම මොනවගේද?


මම රාත්‍රියක මුහුදට පැනලා තිබ්බේ නැහැ. මෙහි දර්ශනයක් තියෙනවා මගෙත් එක්ක ඉන්න ඩෝල් වැටෙන එකක්. ඒ දර්ශනයේදී මම ඩෝල් එක්ක මුහුදට පැන්නා.


ඇත්තටම ඩෝල් එක්ක මුහුදට පැන්නද?


පැන්නා, පැන්නා. පැන්නාට හිතුවට වැඩිය වැටෙනවා පොඩි තිගැස්මක් ආවා. ඊට පස්සේ වතුර ඇතුළටම ගියා. කට්ට කළුවරේ මොකුත්ම පෙනෙන්නේ නැතුව ගියා. මට පීනන්න පුළුවන් හින්දා අන්තිමේ උඩට ආවා. ඒක මට හම්බවෙච්ච මාර අත්දැකීමක්.


ඇයි මෙච්චර මුහුදට ආදරේ?


මම මේ කතාව හැමතැනම කියන කතාවක්. නළුවෙක් වුණේ නැති නම් මම බීච් බෝයි කෙනෙක්. ඒ කාලෙ ඉඳලා මුහුදත් එක්ක ජීවත්වෙලා ඒ ළඟ රෙස්ටොරන්ට් එකක් කරාවි.


දස්සාට පට්ට නළුවෝ සෙට් එකක් එක්ක තමයි වැඩ කරන්න හම්බවුණේ?


මුලින්ම අරුණ අයියා කතා කරලා කාස්ට් එක කිව්වට පස්සේ ‘දෙවියනේ’ කියලා හිතුණා. අනික ඒ වගේ අවස්ථාවක් මඟහරින්නේ කොහොමද? අපි ආසයිනේ හොඳම නළුවෝ එක්ක හැසිරෙන්න. අනෙක්එක මගේ අයියා. මගේ ගුරා, මගේ සහෝදරයා එක්ක ආපහු වැඩ කරන්න හම්බ වෙනවා. අනික ප්‍රියන්ත සිරිකුමාර අයියා, තව මම, හේමාල් එක්කයි, අශාන් එක්කයි මීට කලින් වැඩ කරලා තිබ්බේ නැහැ. පළමු වතාවට තමයි ඒ දෙන්නත් එක්ක වැඩ කළේ. දර්ශත් එක්ක වැඩ කරලා තියෙනවා. මට හම්බවෙච්ච හොඳම අවස්ථාවක් තමයි ඒ වගේ වෘත්තීය නළුවො සෙට් එකක් එක්ක වැඩ කරන්න ලැබීම.


නිළියක් නැතිව ඩෝල් කෙනෙක් එක්ක රඟපෑමේ අත්දැකීම මොනවගේද?


මට සිද්ධ වුණේ ඩෝල්ට පණ දෙන්න. පිටපතට අනුව මම තමයි එයාට ජීවයක් දෙන්නේ. ඒ වෙන අත්දැකීමක්. මට හම්බ වෙන්නේ වෙනස්ම චරිත. මම කැමැතියි අමුතු අමුතු චරිත රඟ පාන්න. මේක වෙනස්ම කාරණාවක්.


ඩෝල් ගොඩක් බරයිද?


බුදුඅම්මෝ කිලෝ පනහක් බරයි. අඩි පහක් උසයි. පුදුම වධයක් තමයි දුන්නේ. එයත් එක්ක අල්ලගෙන මමමනේ ඉන්නේ.


චිත්‍රපටය නරඹද්දී ඔබට මොකද හිතුණේ?


චිත්‍රපටය බලන බලන වාරයක් පාසාම දර්ශන් ධර්මරාජ්ව මිස් වෙනවා.


මංගල දර්ශනයට ඔහු නැති අඩුව මොනවගේද දැනුණේ?


අපි හිතන්නේ නැහැ දර්ශන් මැරුණා කියලා. අපි නිතරම හිතනවා ඔහු අපිත් එක්ක ඉන්නවා කියලා. මාර මිස්විල්ලක් තියෙනවා. දර්ශන් කියන්නේ හොඳ මනුස්සයෙක්.


හේමාල්ව ගිලෙන්නත් ගියා නේද?


ඒක තමයි අපි ගත්තු අමාරුම අවදානම. මට පීනන්න පුළුවන් වුණාට මනුස්සයෙක් ගොඩගන්න බැහැ. මට මාව කොන්ට්‍රෝල් කරගෙන එන්න පුළුවන්. හැබැයි ඩයිවර්ස්ලා හිටියා. හේමාල් රෂ් ම වෙලාවේ මුහුදට බැහැලා ඒ දර්ශනය ගත්ත වෙලාවේ බෝට්ටුවකට ඇදගෙන ඇවිත් ගිලෙන්න ගියා. ඒකයි මම කිව්වේ අපි අවදානමක් ගත්තා කියලා. කිසිම ඉන්ෂුවරන්ස් එකක් නැතිව ලංකාවේ හොඳම නළුවෝ ටික ඒ අවධානම ගත්තා.


මුහුදු ගමන ගැන ආපසු හැරී බැලුවොත්?


නියමයි. මම ආපහු යනවා කියලා හිතාගෙන ඉන්නවා. ධීවරයන්ගේ ජීවිත ආශ්‍රයෙන් මට පොඩි ඩොකියුමෙන්ටි්‍රයක් කරන්න ආසාවක් ඇවිත් තියෙනවා. මම හිතනවා ලෝකේ තියෙන අමාරුම රස්සාව ධීවර රස්සාව කියලා.


ඔබ රංගනයෙන් දායකවුණු ටෙලිනාට්‍යයකුත් තිරගත වෙනවා?


ඉන්දික ධර්මතිලකගේ ‘සති’ ටෙලිනාට්‍යය විකාශනය වෙනවා. තව මම ලලිත් රෝහණ මහත්මයාගේ ‘දොරකඩ දෙවොල’ කියලා ටෙලිනාට්‍යයක් කරනවා. ඒකත් මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න ටෙලිනාට්‍යයක්.


මේ කාලයේ සිනමාවට ප්‍රේක්ෂකයන්ගේ ලොකු ආකර්ෂණයක් තියෙනවා නේද?


ඕක තමයි අපි බලාපොරොත්තු වුණු සිනමාව. අපි ෆිල්ම්වලට එනකොට ප්‍රේක්ෂකයෝ හිටියේ නැහැ. අනික මේක අවුරුදු ගාණක ප්‍රයත්නයක්. අපේම සර්කල් එකේ එවුන් වැඩ කරන වෙලාව. ඇත්තටම යං බ්ලඩ් වැඩ කරන වෙලාව. ඉතින් මම හිතනවා ඒ යං බ්ලඩ් එකත් එක්ක ප්‍රේක්ෂකයෝ තව ඉස්සරහට ඉදිරියට ඒවි කියලා. තව අලුතෙන් සිනමාකරුවෝ හැදේවි. අපේ එක අපි හොයාගෙන තියෙනවා කියලත් හිතෙනවා.


මාරියා හින්දා ගුරයි – ගෝලයයි එකවර හොඳම නළුවාට සම්මාන ලැබෙනවා. මොකද හිතෙන්නේ?


මහේන්ද්‍ර අයියා කියන්නේ මට හරි ආඩම්බරයෙන් කියන්න පුළුවන් ගුරෙක්. සමහර ගුරාල ඉන්නවා ඒ ගොල්ලෝ කාලයක් යනකොට ඔවුන් යනවා. ඔවුන් පසුබසිනවා. ඒ වුණාට මගේ ඉන්න මේ ගුරා තවම ස්කෝ කරනවා. මම හිතනවා ලංකාවේ මේ වෙනකොට ඉන්න ලෙජන්ඩ් නළුවෙක් තමයි මහේන්ද්‍ර පෙරේරා. ජැක්සන් අයියත් අපිට නැති වුණාට, ග්ලෝබල් නළුවා මහේන්ද්‍ර පෙරේරා.


දිනේෂ් විතාන

gossiplanka image 1
Previous Post Next Post