ඔසාදි මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දවස්වල “විජය කුමාරතුංග ගී තරුව” තරගයට මම පුරුදු පුහුණු වෙනවා. ඒ වගේම ගායන පුහුණු වීම්, අධ්‍යාපන කටයුතු කරන ගමන් තවත් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා.
ඔයාගේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කියමු.
මට වයස අවුරුදු 11 යි. මම දැනට පදිංචි වෙලා ඉන්නේ බොරැල්ලේ. ඉගෙන ගන්නේ බොරැල්ල බ්‍රිටිෂ් ජාත්‍යන්තර පාසලේ, අම්මයි තාත්තයි, මමයි, ආච්චියි, සීයයි, අජේ මාමායි, යසා මාමයි, අශානි නැන්දයි ,ධනේශී නැන්දයි තමා අපේ පවුලේ ඉන්නේ.
මගේ උපන් ගම නුවරඑළිය. අපි කොළඹ පදිංචියට ආවේ තාත්තගේ රැකියාවත්, මගේ අධ්‍යාපන, කලා කටයුතු කරගන්න පහසුව බලලා. ඒ වගේම මගේ අම්මා ටෙලි නාට්‍ය වේශ නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරන නිසා එයා මාව එක්ක යන්න පුළුවන් නිර්මාණ විතරයි බාර ගන්නේ. අම්මගේ වැඩ කටයුතුවලටත් පහසුවක් වෙන නිසා තමයි අපි කොළඹට ආවේ.
ඔසාදි කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ?
කලාවට සම්බන්ධ වෙන්නේ අම්මා නිසා. අම්මා සම්බන්ධ වෙන නිර්මාණ කටයුතුවලට මාවත් එක්ක යනවා. රශ්මි සුමනසේකර නැන්දගේ ටෙලි නාට්‍යයකට තමයි මම මුලින්ම රංගනයෙන් සම්බන්ධ වෙන්නේ. මං පළවෙනියට රංගනයෙන් සම්බන්ධ වුණේ “සුර දෙටුවෝ”. චිත්‍රපටය පසුගිය දවස්වල තලවාකැලේදී රූගත කිරීම් කළා. ඒ නිර්මාණය ලක්මාල් වීරසිරි, ශාන් අරෝෂ් මාමලා තමයි අධ්‍යක්ෂණය කළේ. මං පුංචි කාලේ ඉඳන්ම රංගනයට, ගායනයට, නර්තනයට, නිවේදනයට දක්ෂයි. පාරේ ගියත් නටනවා, සින්දු කියනවා. මට හිතෙන මාතෘකාවක් ගැන කතා පවත්වනවා. ඒ වගේම තමයි පොඩි කාලේ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් අම්මගේ මේකප් බඩු අරන් මං මේකප් කරගෙන සින්දු කියනවා, නටනවා, කතා පවත්වනවා.
මං මොන්ටිසෝරි ගිය කාලෙදි අම්මාගෙන් ටීචර්ලා අහනවලු මාව පන්ති දාලද මේ දේවල් උගන්නලා තියෙන්නේ කියලා. දුව හැමදේටම දක්ෂයි . එයාව ස්ටේජ් එකේ තිබ්බම කරන්න ඕන හැමදේම ලස්සනට කරනවා කියලා. අම්මට හරිම සතුටුයිලු. ඊට පස්සේ අම්මයි, තාත්තයි මාව මේ අංශ ගැන වැඩිදුර ඉගෙන ගන්න යොමු කළා. එතකොට මට වයස අවුරුදු හතරයි.
මෑත කාලයේදී පවත්වපු හිරු Kids Star ගායන තරගාවලියේ ඔයා කැපී පෙනෙන දක්ෂතා ඉදිරිපත් කළා නේද?
ඔව්, හිරු Kids Star කියන්නේ මම ජීවිතේ පළවෙනි වතාවට ජනතාව අතරට ගිය විශාලම වැඩසටහන. මේ වැඩසටහනට මම ගොඩක් ආදරෙයි. ගොඩක් දේවල් මම ඒ වේදිකාවෙන් ඉගෙන ගත්තා. හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා, චින්තක, අකලංක මාමලට මම ස්තූතිවන්ත වෙනවා. සජිත ඇන්තනී සර්ගෙන් මට ලොකු ලකුණු ප්‍රමාණයක් ලැබුණා, ඒ වගේම මා එක්ක ස්ටේජ් එකට නැඟලා නැටුවා, මට හොඳ ඇගයීමකුත් එතුමාගෙන් ලැබුණා. ඒ වගේම අභිෂේකා විමලවීර මිසුත්, නදීමාල් සර්ගෙනුත් මට ලොකු ඇගයීමක් ලැබුණා.
මම මේ වෙනකොට සංගීතය හදාරන්නේ බුද්ධික දයාරත්න සර්ගෙන්. සර්ගෙන් මට ලොකු ශක්තියක් ලැබෙනවා. ඒ වගේම Voice Lab එකේ අයියලා, අක්කලත් මට ගොඩක් උදවු කරනවා. ගුවන්විදුලි සංස්ථාවේ “රුවනාර” වැඩසටහනේ ජන ගායනාවලට මම සම්බන්ධ වෙනවා. ඒක නිෂ්පාදනය කරන්නේ ප්රියන්තිනි යහම්පත් නැන්දා.
ඔසාදි විනෝදාංශ විදිහට කරන්නේ මොනවද?
මම විනෝදාංශ විදිහට චිත්‍ර අඳිනවා, ජන ගායනා කරනවා, අත්කම් නිර්මාණ කරනවා. මගේ ආසම විෂයයන් තමයි ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි.
මට භාෂා අටකින් සින්දු කියන්න පුළුවන්. තවත් භාෂාවලින් සින්දු කියන්න මම පුරුදු වෙනවා. යූටියුබ් එකෙන් බලාගෙන මම නටන්නත් ඉගෙන ගන්නවා. මම බටහිර ආරයට තමයි ගොඩක් දේවල් ඉගෙන ගන්නේ. බීට් බොක්සින් කරන්නත් මම මේ දවස්වල පුරුදු වෙනවා. මට හිතුනා වෙනස් දෙයක් ඉගෙන ගන්න එක හොඳයි කියලා.
ඉදිරියේදි ඔයාගෙම ගීතයක් එළි දක්වන්න බලාපොරොත්තුවක් නැද්ද?
ඉදිරියේදී මගේම ගීතයක් එළි දක්වන්න ආසාවෙන් ඉන්නවා. ඒ වැඩේට සල්ලි ටිකක් මදි. ඒ නිසා තමයි ගීතය කරන්න ප්‍රමාද වෙන්නේ. බුද්ධික දයාරත්න සර් තමයි ගීතය නිර්මාණය කළේ. මට මේ වෙලාවේ මේ ගීතය සාර්ථකව එළි දක්වන්න අනුග්‍රහය ලබා දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක මගේ අනාගත කලා කටයුතුවලට කරන ලොකු උදව්වක්.
රංගනය පැත්තෙන් ඔයාව ඉදිරියේදී අපිට දකින්න පුළුවන්ද?
ඔව්, ඉදිරියේදී ආචාර්ය සුරේෂ් කුමාරසිංහ මාමා අධ්‍යක්ෂණය කරන නාට්‍යයේ තේමා ගීතය ගායනයට හා රඟපාන්න අවස්ථාව ලබා දුන්නේ රොෂාන් කදුරුවාන මාමා. රහ ක්‍රියේෂන් වෙනුවෙන් තනුව හා සංගීතය රවී රත්නායක මාමා නිර්මාණය කළා.
ලසික වික්‍රමවර්ධන මාමාගේ චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වෙන්න මට ආරාධනාවක් ලැබිලා තියෙනවා. ජනවාරි ඉඳන් ඒකේ රූගත කිරීම් පටන් ගන්නවා.
ඔසාදි අනාගතේ කවුරු වෙන්නද කැමැති?
මගේ අනාගත බලාපොරොත්තුව තමයි හොඳට ඉගෙන ගෙන දක්ෂ ගායිකාවක් වෙන්න. ඒ වගේම මගෙ අනෙක් හැකියාවනුත් වැඩි දියුණු කරගෙන එන්ටටේනර් කෙනෙක් වෙන්න ඕන. ඒ හරහා රටේ දුප්පත්, දක්ෂ දරුවන්ට ඉදිරියට එන්න අවස්ථාව හදලා දෙන්න මම ආසයි.
ස්තූති කරන්න ඉන්නෙ කවුද?
අම්මයි, තාත්තයි, තාත්තගේ පාසල වන වේල්ස් කුමර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ යාළුවෝ, බ්‍රිටිෂ් ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිතුමා, ඉරේෂා මැඩම් ඇතුළු ගුරු මණ්ඩලය, බුද්ධික දයාරත්න සර්, රොෂාන් කදුරුවාන, මනෝජ් රුක්මල්, දිනේෂ් මාරගේ මාමාලාටත්, ප්‍රියානි යහම්පත් නැන්දාවත්, උදවු කරන හැමෝමත් මතක් කරන්න ඕන.