තරුණ පරපුර අතර ජනප්‍රිය ගායිකාවක්වන කංචනා අනුරාධි ඇයගේ අලුත්ම ගීතය "දැන දැන මා" මේ වෙද්දි එළිදක්වලා තියනවා. හිමිවෙන්නෙ නැහැ කියලා දැනගෙනත් ආදරය කිරීම ගැන මේ ගීතයෙන් කියන්නෙ. රසිකයන්ට කවදත් ආදරය ගැන ගීත ලබාදෙන කාංචනා මේ විදිහෙ විරහා ගීතයක් ලබාදුන්නෙ ඇයි කියලා ඇයගෙන් අහන්න අපි හිතුවා.
කවදාවත්ම හිමිවෙන්නෙ නැහැ කියලා දැන දැනම ආදරය කිරීම මොන විදිහෙ හැඟීමක්ද ?
කලාකාරිනියක් විදිහට හැම හැඟීමක්ම මම සුන්දර විදිහට දකින්න පුරුදුවෙලා ඉන්නවා. ඉතින් කවදාවත්ම හිමිවෙන්නෙ නැහැ කියලා දැන දැනම ආදරය කිරීම සුන්දර අත්දැකීමක් විදිහටයි මට දැනෙන්නෙ.
දැන දැන මා ගීතය නිර්මාණය කළේ කොහොමද ?
මීට අවුරුදු පහකට කලින් දිනේෂ් ගමගේ තනු නිර්මාණයෙන්, මනුරංග විජේසේකරගේ පද රචනයෙන්, අමිත් ගුරුගේ සංගීතයෙන් සහ දිනේෂ්ගෙයි මගෙයි ගායනයෙන් හැඩවුණ "දැනෙනා තුරු මා" ගීතයෙන් පස්සෙ නැවතත් අපි හතරදෙනාගේම එකතුවෙනුයි "දැන දැන මා" ගීතය නිර්මාණය කෙරුවෙ. "දැනෙනා තුරු මා" සහ "දැන දැන මා" වචන පේළි දෙකේම සමාන බවක් තේරුනාට මේ ගීත දෙකම එකකට එකක් සම්බන්ධ නැති හාත්පාසින්ම වෙනස් තේරුමක් තියන ගීත දෙකක්. ඉතින් මේ වෙද්දි දැන දැන මා ගීතය රසිකයො ගොඩක් ආදරයෙන් වැලඳගෙන ඉහළ ප්‍රතිචාර ගෙන්නකින් එයාලගේ ආදරය ලබාදීලා තියනවා.
හිමි නොවන ආදරයක් ගැන අත්දැකීමකින්ද මේ විදිහට ගීතයක් නැගුවෙ ?
ජීවිතයේ පෞද්ගලික අත්දැකීම් නිර්මාණකරණයේදි භාවිත වෙන්න පුළුවන්. ඉතින් දැන දැන මා ගීතය ගායනයේදි මගේ සැබෑ හැඟිමුයි ඒ වෙනුවෙන් යොදාගත්තෙ.
දැන දැන මා වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතන්නෙ ?
මේ වෙද්දි දැන දැන මා මියුසික් වීඩියෝව රසිකයො ගොඩක් තදින් වැලඳගෙන ඉවරයි. ආදරය ගැන සහ විරහාව ගැන හැම කෙනෙක්ටම අත්දැකීම් තියෙන්න පුළුවන්. ඉතින් ඒ අත්දැකීම් අලුත්වන සංවේදි ගීතයක් විදිහට රසිකයො දැන දැන මා හඳුන්වලා තියනවා. සමහර රසිකයො කියලා තිබුණා උසස් ප්‍රමිතියකින් මියුසික් සහ වීඩියෝව නිර්මාණය කරලා තියන නිසා ඔවුන්ට මේ මියුසික් වීඩියෝව දැනුනෙ චිත්‍රපටයක් විදිහට කියලා. දැන දැන මා නිර්මාණය කරන්න දායකවුණ අපි සියලු දෙනාගේම මහන්සිය මේ විදිහට රසිකයො අගය කිරීම ගැන ඇත්තටම සතුටුයි.
රටක් ආදරය කරන ගායිකවක් විදිහට සාර්ථක වෙන්න ලැබුණෙ කොහොමද ?
උපතින් ලැබුණ ගායන හැකියාව දිගින් දිගටම ප්‍රගුණ කරන අතරෙ විදිමත්ව ගායන හැකියාව වර්ධනය කරගන්න සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත්වෙලා සංගීතය පිළිබදව හදාරලා මම උපාධිය ලබා ගත්තා. සංගීතය පිළිබඳ ලබා ගත්ත දැනුම සහ අත්දැකීම් එකතුකරගෙන නිර්මාණකරණයේදි අවංකව කැපවෙලා ඉහළ output එකක් ලබාදෙන්න මම හැම වෙලේම උත්සාහ කරනවා. ප්‍රමිතියෙන් ඉහළ නිර්මාණයක් කරන්න මම දරන උත්සාහය සහ කැපවීම නිසා රසිකයන්ගේ ආදරය දිනාගන්න පුළුවන් වුණ සාර්ථක ගායන ශිල්පිනියක් වෙන්න ලැබුණා කියලා මම විශ්වාස කරනවා.
මේ තාක් දුර ආපු ගමනෙදි බාධක කම්කටොලු ප්රතිකේෂ්පවීම් හමුවෙලා ඇති....
බාධක කම්කටොලු ප්රතිකේෂ්පවීම් ජීවිතයේදි ඕනෑ තරම් මට අතිවිඳින්න ලැබුණා. නමුත් ක්ෂේත්රයේ ඉස්සරහට යන්න ඒ දේවල් බාධවක් විදිහට වඩා ආශිර්වාදයක් විදිහටයි මට දැනුනෙ. බාධක කම්කොටෙලු බිඳගෙන ඉස්සරහට යන්න මගේ අම්මගෙන් තාත්තගෙන් ලොකු රැකවරණයක් සහ ශක්තියක් මට හිමි වුණා. ඒ අතරෙ මගේ හැකියාවට ආදරය කරන රසික රසිකාවියො දැවැන්ත පිරිසක් මම වටා එකතු වුණා. ඔවුන් සියලුදෙනාගෙන් ලැබෙන ආදරය සහ ගෞරවය හමුවේ බාධක කම්කොටෙලු හරිම පුංචි දෙයක් විදිහටයි මට දැනෙන්නෙ.
කාංචනා අහන්න කැමැති වෙනත් ගායක ගායිකාවන්ගේ සිංදු මොනවද ?
මම පුංචිකාලෙ ඉඳලා පණ්ඩිත් අමරදේවයන්ගේ සිංදු අහන්න කැමතියි. ඒ වගේම විශාරද නන්දා මාලිනී මහත්මියගේ සහ සුජාතා අත්තනායක මහත්මියගේ ගීත අහනවා.
සිංදු කියන්න වගේම කාංචනාට ලස්සනට නටන්න පුළුවන් නේද ?
සංගීතය හදාරන්න කලින් පුංචිකාලෙ ඉඳලා මම නර්තනය හැදෑරුවා. පාසල් යන කාලෙදි දහය ශ්‍රේණියේදි මොනයම් හෝ හේතුවකට නර්තනය පැත්තකට කරලා සංගීතය හදාරන්න පටන් අරගෙන දිගටම සංගීත අංශයෙන් ඉදිරියට ගියා. නමුත් නර්තනය පිළිබඳ හැකියාව මගේ ඇඟේ තිබුණා. ඉතින් ප්‍රසංග වේදිකාවේදි ගීත ගායනා කරනකොට නර්තන හැකියාව අවදි කරලා ගායනය මම තවත් රසවත් කරනවා.
ප්‍රසංග වේදිකාව සඳහා අඳින ඇඳුම් ගැන තීරණය කරන්නෙ කොහොමද ?
ප්‍රසංග වේදිකාවෙදි ගීත ගායනා කරන්න සහ නර්තයේ යෙදෙන්න පහසු ඇඳුමයි මම නිතරම අඳින්නෙ. ඊට අමතරව ප්‍රේක්ෂකයන්ගේ ඇසට ප්‍රියමනාප පෙනුමක් ගෙනදෙන වර්ණයන් ගැන සැලකිලිමත්වෙනවා. ඒ ඇරුනහම විශේෂ සංකල්ප මත ප්‍රසංග වේදිකාව වෙනුවෙන් මම ඇඳුම් භාවිත කරන්නෙ නැහැ.