කාලෙකට පස්සේ ඔන්න ඇය ආයෙමත් ඇවිදින්. ඒ සිරස නාලිකාව හරහා විකාශනය වෙන කොටු ටෙලි නාට්‍ය හරහායි. නමින් සුලෝ හැරපත්දෙණිය නම් වන ඇයත් සමගයි අද මේ කතාබහ.
කාලෙකට පස්සේ කොටු ටෙලිනාට්‍යයෙන් දකින්න ලැබෙනවා?
ඔව්. කොටු කියන්නේ මම කාලෙකට පස්සේ කරන ටෙලිනාට්‍යයක්. අසංක අයියා හරහා තමයි මම මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. කොටු ටෙලි නාට්‍යයේ මිහිරිගේ චරිතය තමයි මම රඟපාන්නේ.
කොහොමද ලැබෙන ප්‍රතිචාර?
දැනට ලැබෙන ප්‍රතිචාර නම් හොඳයි. ඉදිරියේදී කතාව ගලාගෙන යන ආකාරයත් එක්ක මොනවගේ ප්‍රතිචාර ලැබේවිද කියන්න දන්නේ නැහැ.
කොච්චර කාලෙකට පස්සේ ද වැඩක් භාරගත්තේ?
මම 2023 අගභාගයෙන් වැඩ නවත්වනවා. ඊට පස්සේ 2024 අවුරුද්දම මට මොකුත් වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ අවුරුද්දේ මුල කාර්තුවේදී මම චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඊට පස්සේ මම සුපුන් රත්නායකගේ ජුරාලියා ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඊටත් පසුව තමයි මම කොටු ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ඔය අතරේ මම මුලින්ම වැඩ පටන් ගත්තේ ටී. වී. වන් නාලිකාවේ නිවේදිකාවක් හැටියටයි. ඊට පසුව වෙළෙඳ දැන්වීම්වලටත් පෙනී සිටියා.
ක්‍ෂේත්‍රයේ අයගෙන් ලැබෙන සහයෝගය?
ක්‍ෂේත්‍රයේ අයගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. කොටු ටෙලි නාට්‍යයේ දී මට මුණගැසෙන්නේ ක්‍ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් පිරිසක්. ඔවුන් ඇත්තටම හොඳ සහයෝගයක් ලබාදෙනවා. මමත් ගොඩක් කාලෙකට පස්සේ වැඩ කරන හින්දා ටික ටික ඉස්සරහට යන්න තමයි ට්‍රයි කරන්නේ.
අධ්‍යක්‍ෂවරයාගෙන් මේ ආරාධනාව ලැබුණහම මොකද හිතුණේ?
ඇත්තටම මම මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් අසංක සායක්කාර අයියාගේ වැඩමුළුවකට සම්බන්ධ වෙනවා. ඒ වැඩමුළුව හරහා තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. මගෙන් කාලයක් රංගනය ඈත්වෙලා තිබුණා. මට මාව වුණත් තව පොලිෂ් කරගන්න ඕනෑකම තිබුණා. ඒ වගේම ක්‍ෂේත්‍රයට නැවත එන්න පාරක් හදාගන්න ඕනෑකමත් තිබුණා. ඒ අරමුණ එක්කයි මම මේ වැඩමුළුවට සම්බන්ධ වුණේ.
දැන් දිගටම රඟපාන්නද සූදානම?
කොහොමත් මම ආසා දේ තමයි රංගනය. මීට වඩා ක්‍ෂේත්‍රයේ ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙනවා නම් හොඳයි. අනික මේ අවුරුද්දේ මුල ඉඳලා රූපවාහිනී වෙළෙඳ දැන්වීම් සඳහාත් සහභාගි වුණා. මම ආසයි ටෙලිනාට්‍ය හා චිත්‍රපට එක්ක සම්බන්ධ වෙන්න. මේක මම ආස වෘත්තිය.
සුලෝ වෘත්තීය රංගන ශිල්පිනියක්. එහෙමද?
වෘත්තීය නිරූපණය සහ රංගනය කියන දෙකම කරනවා.
දැන් නිරූපණයෙන් ඈත් වෙලාද?
මම මුලින්ම නිරූපණ ක්‍ෂේත්‍රයේ මනාලියන් නිරූපිකාවක් විදිහට තමයි ඉදිරියට ආවේ. ඉතිං ඒ සඳහා දායක වෙන ප්‍රමාණය ටිකක් අඩුයි. පොඩ්ඩක් තෝරලා බේරලා කරන්න අදහස් කළා.
රඟපෑමෙන් විරාමයක් ගන්න හිතුවේ ඇයි?
මට පුංචි බබෙක් ඉන්නවා. ඒ බබා හින්ද තමයි මට විරාමයක් ගන්න සිද්ධ වුණේ. එයාගේ වැඩ කටයුතු වගේම එයා චුට්ටක් ලොකු වෙනකම් මට ක්‍ෂේත්‍රයෙන් ටිකක් ඈත්වෙලා ඉන්න සිද්ධ වුණා. මම කැමැත්තෙන් නෙමෙයි ක්‍ෂේත්‍රයෙන් ඈත් වුණේ. මම හිතනවා හැමදේම වෙන්නේ හොඳට කියලා. ඒ කාලයේ ගත්තු විරාමය යම්කිසි කාලයකදී මගේ ජීවිතයට හොඳ විදිහකට ලැබේවි කියලා.
ගෙදර හිටපු කාලයේ ආපහු රඟපාන්න වෙන එකක් නැහැ කියලා හිතුවද?
නැහැ. මට කොහොමටත් ගෙදරින් නම් ඒ විදිහේ බලපෑමක් තිබුණේ නැහැ. අනික මම තීරණය කරලා තිබුණෙත් නැහැ බබාගෙන් පස්සේ මම ආපහු ක්‍ෂේත්‍රයට එන්නේ නැහැ කියලත්. හැබැයි මම දන්නවා අපි එක දිගටම ආපු ගමන යම්කිසි තැනක අඩාළ වුණහම ආයේ ඒ විදිහට අලුත්වෙලා ක්‍ෂේත්‍රයට එන එක ටිකක් අමාරුයි. ඒක ඇත්තක්. ඒකට පාර හදාගන්න තමයි මමත් යම්කිසි දේවල් කළේ.
රූපවාහිනි වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙන එක මම දිගටම කරගෙන ගියා.
ප්‍රෙග්නන්ට් කාලෙ මාස හතරක් පහක් යනකම් ඒවාට දායක වුණා. මම පළමු චිත්‍රපටය කළාට පස්සේ තමයි මම ප්‍රෙග්නන්ට් කියලා දැන ගත්තේ. එතැන ඩ්‍රොප් වුණා. ඒක යම්තාක් දුරකට බලපෑවා. මම හිතනවා දැන් පටන් ගත්තු ගමන ඉස්සරහට ලස්සන විදිහට යන්න පුළුවන් වේවි කියලා.
චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා කියලා කිව්ව නේද?
ඔව්. මම විරාමයක් ගන්න කලින් “මාගම් සෝලි” චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඊට පසුව ජගත් ආනන්දගේ යකඩ මනමාලි කියලා චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. මගේ වැඩි කැමැත්ත තියෙන්නේ කොහොමත් සිනමාවට. හැමෝටම දේවල් ලැබෙන කාලයක් තියෙනවානේ. කාලය ආවහම මට දෙයක් ලැබේවි කියලා හිතනවා.
පසුගිය කාලවලදී වේදිකාවටත් සම්බන්ධ වුණා නේද?
වේදිකාවට සම්බන්ධ වුණා. දැන් වුණත් වේදිකාවට සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙනවා. හැබැයි මට තව ටික කාලයක් ඉන්න වෙනවා ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න. වේදිකාව කියන්නේ අසීමිත විදිහට කාලය කැප කරන්න ඕනෑ තැනක්. ඒ ගැන ඉදිරියේ දී බලමු.
රඟපෑම් වැඩවලට ගෙදරින් ලැබෙන සහයෝගය?
එදා වගේම අදටත් හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ සැමියත් ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඉතිං එයා ඒ දේවල් තේරුම් අරගෙන මගේ කැමැත්තට ඉඩදීලා තියෙනවා. මම ඉන්නේ සැමියාගේ අම්මයි තාත්තයි එක්ක. එතකොට බබාව බලාගන්නේ සැමියාගේ අම්මයි තාත්තයි. ඒ ගොල්ලන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ පවුලෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.
දිනේෂ් විතාන