ලොකු රාලහාමි චරිතයට මම ගොඩක් කැමැතියි-චරිත් සේනානායක

gossiplanka image 2
මේ දිනවල හිරු නාළිකාව මඟින් විකාශය වන ‘චංචල රේඛා’ ටෙලි නාට්‍ය ලොකු රාලහාමිගේ චරිතයට පණ පොවන චරිත් සේනානායක ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන රංගන ශිල්පියෙක් බවට පත් වී තිබේ. වේදිකා නාට්‍ය රංගනය තුළින් පුංචි තිරයට සහ සිනමාවට අත්පොත් තැබූ ඔහු මේ වන විට ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට රංගන දායකත්වය ලබාදෙන දක්ෂ චරිතාංග රංගන ශිල්පියකු බවට පත්ව ඇත. මෙවර ”හදගැස්ම” අපේ කතාබහ ඔහු සමඟයි.


මොනවද මේ දවස්වල අලුත් වැඩ…


මේ දවස්වල ආචාර්ය හෙන්රි ජයසේනගේ ‘හුණුවටයේ කතාව’ වේදිකා ගත වෙනවා. එහි මම ‘අසඩක්’ ලෙස රඟපානවා. නාලින්ද විතානගේ මහතාගේ රෝමය ගිනි ගනී දෙක ඊමේල් කුමාරයාහි ජෝන් ලෙස රඟපානවා. ඉන්පසු ප්‍රියන්ත රංජන්ගේ සල්ලි අරන් හොරු ඇවිදින් නාට්‍යයේ වික්ටර්ගේ චරිතය කරනවා. ඊට අමතරව හෙක්ටර් කුමාරසිරි මහතාගේ ධවල භීෂණ මෙන්ම ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍යයෙත් රංගන කටයුතු සමඟ එකතු වෙලා ඉන්නවා.


ඒ වගේම දෙරණ ගුවන් විදුලියේ කෙම්මුර අඩවියේ සහ ජාතික රූපවාහිනියේ හඬකැවීම් සඳහා සහභාගි වෙනවා. ටෙලි නාට්‍ය රංගනය ගතහොත් හිරු නාළිකාවේ විකාශය වන ”චංචල රේඛා” ටෙලි නාට්‍යයේ ලොකු රාලහාමි ලෙසත් සිරස රූපවාහිනියේ විකාශය වන ”ආලේ” ටෙලි නාට්‍යයේ මනතුංග කියන පොලිස් පරීක්ෂකවරයා සහ අයි.ටී.එන්. නාළිකාවේ විකාශය වන සිහිනෙක තනිවෙලා ටෙලි නාට්‍යයේ රත්නෙ ලෙසත් රඟපානවා. මේ වැඩ ටික තමයි මේ දිනවල සිදුවෙන්නේ.


මේ දිනවල පුංචි තිරයේ ඔබ දකින්නේ එකිනෙකට වෙනස් චරිත තුළින්. ඒ ගැන කතා කරමු…


අයි.ටී.එන්. නාළිකාවෙන් විකාශය වන ”සිහිනෙක තනිවෙලා” ටෙලි නාට්‍යයේ රත්නෙ කියන්නේ රජයේ සේවකයෙක්. රජයේ සේවයේ යෙදිලා වැටුපක් ලබන ගමන් විවිධ කූට ව්‍යාපාර කරලා අයථා ලෙස මුදල් ඉපැයීම් කරන පුද්ගලයෙක්. රජයේ මුදල් හොරකම් කරන, රජයෙන් ගෙනෙන නීති රීතිවලට පරිබාහිරව කටයුතු කරන කපටි සහ මුළු පවුලම එකතු වෙලා හොරකම් කරමු කියලා කියන චරිතයක්.


”ආලේ” ටෙලි නාට්‍යයේ මනතුංග කියන පොලිස් ස්ථානාධිපතිවරයා නම් බොහොම සාධාරණ ලෙස ප්‍රශ්න විසඳන අවංක, එඩිතර නිලධාරියකුගේ චරිතයක්. ”චංචල රේඛා” චිත්‍රපටය මං බැලුවේ 1981 වසරේදී. මගේ ප්‍රියතම නළුවා වූ රෙක්ස් කොඩිප්පිලි මහත්තයා තමයි එම චිත්‍රපටයේ ලොකු රාලහාමිගේ චරිතය කළේ. එතුමා එදා කළ චරිතය අද කරන්නේ මම. එය මගේ රංගන ජීවිතයේ ලැබුණු ලොකු වාසනාවක්. ඒ චරිතය ගැන කිවහොත් තමන්ගේ පුතා මොන වැරැද්ද කළත් බේරා ගන්න උත්සාහ කරන වලව් පෙළැන්තිය පවත්වාගෙන යමින් යටත් වැසියන්ව පාලනය කරමින් ඔවුන්ව දුසිරිතයට යොමු කරන සමාජයට හොඳ මුහුණ පෙන්වා ගෙන ඉන්න තමන්ගේ නම්බුව ආරක්ෂා කර ගන්න වෙහෙසෙන අමුතුම චරිතයක්.


මේ චරිත තුනෙන් වඩාත්ම කැමැති චරිතය…


මට ලැබුණු මේ චරිත තුන එකිනෙකට වෙනස් චරිත තුනක්. බාහිර ස්වරූපයෙන් වගේම අභ්‍යන්තරයෙනුත් එහිදී මම වඩාත් කැමැති චංචල රේඛාහි ලොකු රාලහාමිටයි. චරිතයක් රඟදක්වද්දී අපට විවිධ මානයන්ට යන්න අවස්ථාව ලැබෙනවා. ඒ ආකාරයේ විවිධ ඉසව් සොයාගෙන යන චරිතයක් ලෙස ලොකු රාලහාමිගෙ චරිතය හඳුන්වන්න පුළුවන්.


ඒ වගේම ඔහු හිටපු යුද හමුදා නිලධාරියෙක්. මම හිටපු ගුවන් හමුදා නිලධාරියෙක් ඒ දවස්වල. අපි දෙන්නා හමුවෙලත් තිබෙනවා. ඒ හමු වූ අවස්ථාවලදීත් ආරක්ෂක නිලධාරීන් වීම ගැන හරි ආඩම්බරයෙන් තමයි කතා කළේ. භාෂා තුනම මනා ලෙස හසුරුවන්න පුළුවන් කෙනෙක් තමයි රෙක්ස් කොඩිප්පිලි කියන්නෙ. මම කැමැතිම නළුවා රඟපාපු චරිතයක් මට කරන්න අවස්ථාව ලැබුණා කියන්නේ ලොකු සතුටක්. මම ආසම ඔහුගේ හඬට හා රංග පෞරුෂයට. ප්‍රියතම නළුවා වෙන්න හේතුවත් එයයි.


වෙනස් චරිත නිරූපණයේදී රසිකයන්ගෙන් ලැබෙන ආදරය සහ ප්‍රතිචාර මොන වගේද…


වේදිකාව කියන්නෙ සජීවී මාධ්‍යක් නිසා එහිදී ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. ඒ වගේම එමඟින් ලැබෙන ආදරය හා ප්‍රතිචාර අනෙක් මාධ්‍ය දෙකෙන්ම ලබන්න බෑ. ටෙලි නාට්‍ය සහ සිනමාව තුළින් අපට ලැබෙන්නෙ එම නාට්‍ය විකාශය වූ පසුව ලැබෙන ප්‍රතිචාරයන්ය. ඒ වුණාට වේදිකාවෙ එහෙම නැහැ. ඒ වගේම සජීවී මාධ්‍යක් තුළ අපට වැරැදි කරන්න බැහැ. ඒ වගේම බොහෝ රසිකයන්ගෙන් මට ප්‍රතිචාර සහ ආදරය ලැබෙන්නේ මගේ කටහඬ නිසා. ඉතින් මට එහෙම හඬක් ලැබුණ එකත් ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.


අලුත් පරම්පරාවන් සමඟනේ වැඩ කරන්න වෙලා තිබෙන්නේ. ඒ ගැන ඔබේ අදහස…


අලුත් පරම්පරාවෙන් දක්ෂ සහ හොඳ ගතිපැවතුම්වලින් යුතු පිරිසක් බිහිවෙලා ඉන්නවා. ඒ අතර වැඩක් දුන්නම එය ඉක්මනින් ඉවර කරලා ෆෝන් එකට යන අයත් ඉන්නවා. එහෙම අය ඉන්නෙ හරිම සුළු පිරිසක්. වර්තමානයේ රංගන පරපුර නියෝජනය කරන බොහෝදෙනා ප්‍රවීණයන්ට ගරු කරනවා. ඒ වගේම විෂය ගැන ඉගෙන ගන්නවා. වැඩක් භාර දුන්නම හොඳ අවබෝධයකින් කරනවා. එය සතුටට හේතුවක්.


‘අසඩක්’ ගැන කතා නොකළොත් එය අඩුවක් වෙයි…


2003 වසරේදී හුණුවටයේ කතාව වේදිකා නාට්‍ය සඳහා මම සම්බන්ධ වුණේ සොල්දාදුවාගේ චරිතයටයි. එම අවස්ථාවේදී අසඩක් ලෙස රගපැවේ ප්‍රවීණ රංගන ශිල්පි නලින් ප්‍රදීප් උඩවෙලයි. ඒ වගේම ජගත් මනුවර්ණ, පුබුදු ගමගේ, තලන ගුණසේකර වගේ ගොඩක් දක්ෂයන් එම නාට්‍ය කණ්ඩායම සමඟ සම්බන්ධ වෙලා හිටියා.


අවුරුදු 21ක් පුරා මම හුණුවටයේ කතාවේ විවිධ චරිත නිරූපණය කිරීම සඳහා සම්බන්ධ වුණා. ඒ අතර වාරයේදී නලින් ප්‍රදීප් උඩවෙල ඡන්ද රැස්වීම්වල සහභාගි වූ අවස්ථාවලදී වගේම අසනීප වූ අවස්ථාවලදීත් කිහිපවරක්ම මම අසඩක් ලෙස රඟපෑවා. එහෙත් ඔහුගේ වියෝවත් සමඟ මම නිත්‍ය ලෙසම අසඩක් වුණා. හෙන්රි ජයසේන මහතා නිර්මාණය කරපු නලීන් ප්‍රදීප් උඩවෙල වැනි ප්‍රවීණයෙක් රඟපාපු එවැනි චරිතයක් මට ලැබුණා කියන්නේ එය මම ලබපු ලොකු භාග්‍යයක් වගේම වාසනාවක්.


අංශ ත්‍රිත්වයම නියෝජනය කළ රංගන ශිල්පියෙක් ලෙස ලබාගත් අත්දැකීම් ගැන කතා කරමු…


සිනමාව නම් මම චිත්‍රපට 4ක පමණ තමයි රඟපාලා තිබෙන්නේ. සිනමාවට සහ ටෙලිනාට්‍ය සඳහා මම මුලින්ම අත්පොත් තියන්නේ එරංග සේනාරත්න මහතාගේ නිර්මාණවලින්. එරංග සේනාරත්න මහතාගේ හමුවීම සිදුවෙන්න අහඹු ලෙස. මගේ යාළුවෙක් හිටියා ධම්මික බෙනරගම කියලා. එයා තමයි මාව එරංග සේනාරත්න මහතාට හඳුන්වා දුන්නේ. ඉන්පසු ඔහු කළ රෝස පැටික්කි චිත්‍රපටයට සහ උකුස්සා කියන ටෙලි නාට්‍යට මම සම්බන්ධ වුණා. එදා සිට මම අද දක්වා ආව ගමනේදී ලැබුණු අත්දැකීම් බොහොමයක් තිබෙනවා. එහිදී අහසෙන් මහපොළොවට කියන කෙටි වේදිකා නාට්‍ය වෙනුවෙන් විශිෂ්ට රංග කුසලතා සහතිකයක් ලැබුණා. ධවල භීෂණ, ට්‍රෝජන් කාන්තාවෝ, මකරාක්ෂ යන වේදිකා නාට්‍ය සමඟ භාරතයේ ”රංග මාවතේ ෂෝ” වැඩමුළුවට සහභාගි වෙන්න අවස්ථාව උදාවුණා. එහිදී අති විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් වුණා.


අනාගතයේදී මොනවගේ නිර්මාණවලින් දකින්න පුළුවන් වෙයිද…


ටෙලි නාට්‍ය නම් සෑහෙන්න ප්‍රමාණයක් කරපු ඒවා විකාශය වෙන්න තිබෙනවා. චිත්‍රපට 2ක් විතර එන්න තිබෙනවා. ඒ වගේම වේදිකාව තුළ නිතරම අලුත් නාට්‍ය කරනවා.

gossiplanka image 1
Previous Post Next Post