අවංක නිලධාරියකුගේ වටිනාකම මේ චරිතයෙන් සමාජගත කරනවා -සංජීව ගුණරත්න

gossiplanka image 2
 මේ උදා වී ඇත්තේ කලා ක්ෂේත්‍රයට භාග්‍යවත් කාලයකි. පසුගිය කාලයේ වාණිජකරණය මුල් කරගත් හුදු ඉදිරිපත් කිරීම් බහුල වුවත් මේ වනවිට ගුණාත්මක බවින් යුතු නිර්මාණ එකින් එක පෙළ ගැසෙමින් තිබේ. ඒ අතරින් තිමල් අල්විස් නම් දක්ෂ, අවංක, යුක්තිගරුක පොලිස් නිලධාරියා අපට හමු වන්නේ රනිල් කුලසිංහගේ ‘Lover’s Leap’ (ලවර්ස් ලීප්) ටෙලි නාට්‍යයෙනි. සීතල නුවරඑළියේ ධන කුවේර බංගලාවක ධනයට, බලයට පෑගෙන පීඩිත පන්තියේ ඛේදවාචකය හමුවේ උඩුගං බලා යන්නට වෙර දරන අවංක පොලිස් නිලධාරියකු වන තිමල් අල්විස්ට තව කොපමණ දුරක් ඒ ගමන කොන්ද කෙළින් තබාගෙන යා හැකිදැයි ප්‍රේක්ෂකයින් පුංචි තිරය ඉදිරියේ විශ්මිතව බලා සිටියදී අපි ඔහු සොයා ගියෙමු.


ඇත්තටම තිමල් අල්විස් කියන්නේ කවුද….?


“මගේ නම සංජීව ගුණරත්න වුණාට මේ දවස්වල මට ගොඩාක් අය කතා කරන්නේ තිමල් අල්විස් කියලා. මම රත්නපුර මාදම්පේ ඉපදිලා, විජය මහා විද්‍යාල‍යෙන් උසස් පෙළ සමත් වෙලා, කැලණිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳව ප්‍රථම පන්ති සාමාර්ථයක් සහ රන් පදක්කමක් සහිතව උපාධිය නිම කරලා ඉන්න අතරේ පැට්‍රික් රත්නායක සර් මට කතා කරලා කිව්වා ‘සහාය කථිකාචාර්යවරු බඳවා ගන්නවා, ඉල්ලුම් කරන්න කියලා. ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේම නාට්‍ය, සිනමා හා රූපවාහිනී කලා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරන අතරේ රඟපෑම් කටයුතු කරනවා.”


රඟපෑම පටන් ගන්නේ පාසලෙන් ද…?


“ඔව්. ඒත් ඒක අහම්බයක්. පාසලේදී මම ක්‍රීඩා කළා. පුංචි කාලේ ඉඳලා සංගීතය ඉගෙන ගත්තා. ඒත් 10 වසරේදී සංගීත ගුරුතුමිය නිවාඩු ගියා. සංගීතය ඉගැන්වීමට ගුරුවරයෙක් අපට නැති වුණා. අපට වෙනත් විෂයන්වලට මාරු වෙන්න සිද්ධ වුණා. මම චිත්‍රවලට ගියා. නැටුම්වලටත් ගියා. ඒවා මට හරි ගියේ නැහැ. නාට්‍ය විෂයයට ගියහම ඒකට ළමයි වැඩියි කියලා අපට යන්න කියලා එදා දවසේ විතරක් ඉන්න කිව්වා. අපි හැමෝට ම නාට්‍ය කොටසක් කරන්න කියලා එදා දුන්නා. ඒක මම කළා. ‘ඔයා කොහේද මෙච්චර කල් හිටියේ, දිගට ම නාට්‍ය පන්තියට එන්න..’ කියලා ලලිතා ජයරත්න මිස් මට කිවුවා. එදා ඉඳලා දිගටම නාට්‍ය පුහුණුවීම් හා නාට්‍යවලට ගියා. ලලිතා මිස්ගේ මැදිහත්වීමෙන් අපි නාට්‍ය තරගවලට ඉදිරිපත් වුණා. මම අභිරූපණ අංශයෙන් සමස්ත ලංකා තුන්වන ස්ථානය දිනාගෙන තිබෙනවා. පළාත් තරගවලින් ප්‍රථම ස්ථාන දිනා ගත්තා. කණ්ඩායම් අභිරූපණ තරගවලිනුත් අපි අවස්ථා කිහිපයකදී ප්‍රථම ස්ථාන දිනුවා. උසස් පෙළටත් නාට්‍ය විෂය තෝර ගත්තා. කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය ඉගෙන ගන්න කොහොමහරි යනවා කියන අධිෂ්ඨානයෙන් මහන්සි වෙලා පාඩම් කරලා උසස් පෙළ සමත් වුණා.”


විශ්වවිද්‍යාල ජීවිතයම නාට්‍යයක් වුණා ද…?


“අපේ අධ්‍යයන අංශයෙන් කළ නාට්‍ය හැම එකකටම රංගන ශිල්පියෙක් විදිහට සම්බන්ධ වුණා. කථිකාචාර්යවරයෙක් බවට පත් වුණාට පස්සෙත් අධ්‍යයන අංශය මඟින් කරන නාට්‍යවල රඟපෑවා. ‘ආදරවන්තියන්ගේ පාර්ලිමේන්තුව’ඇතුළු විශ්වවිද්‍යාල නාට්‍ය කිහිපයක් අධ්‍යක්ෂණය කළා. ප්‍රියංකර රත්නායක සර්ගේ ‘අද වගේ දවසක ඇන්ටිගනී’, ‘ප්‍රේමවන්ත කුමාරයෝ’, ‘විසේකාරියෝ’, ‘රතු වෙස් මුහුණු’, ‘මනුෂ්‍ය පුත්‍රය’ කියන නාට්‍යවල නිෂ්පාදන හා වේදිකා කළමනාකරු හැටියටත් වැඩ කළා. නාට්‍යවල වැඩ කිරීමෙන් ජීවිතයටත්, රඟපෑමටත් බොහෝ අත්දැකීම් එකතු වුණා. මෑතකදී ලක්ෂ්මන් නිපුණආරච්චිගේ ‘පිජාමා’ නාට්‍යයේත් රඟපෑවා. මම අධ්‍යක්ෂණය කළ ‘මරියා’ නාට්‍යය පසුගිය දවසක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී ඉදිරිපත් කළා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සමඟ එකතු වෙලා සෑම වසරක ම නාට්‍ය දෙකක්වත් අලුතෙන් නිර්මාණය කරනවා. අලුත් පරපුර ඉතා ම දක්ෂයි. එයාලා එක්ක වැඩ කරද්දි අපටත් අලුත් දේවල් එකතු වෙනවා.”


වේදිකාවෙන් පුංචි තිරයට එන්න පහසු වුණා ද…?


“වේදිකාවෙන් රූපවාහිනියට යද්දි ලොකු වෙනසක් මට දැනුණා. වේදිකාවේ අපි චරිතයක් කරන්නේ මාස ගණන් පුහුණුවීම් කරලා වේදිකාවේදි එක දිගට රඟපානවා. නමුත් රූපවාහිනියේදී පෙර පුහුණුවක් නැහැ. එක දිගට රඟපෑමකුත් නැහැ. තැනින් තැන කොටස් වෙන වෙනම ගන්නවා. ඒ වෙලාව‍ට අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන උපදෙස් සහ පිටපත මුලින් අධ්‍යයනය කිරීමෙන් ලැබෙන දැනුම, අපි එකතු කර ගන්නා බාහිර දැනුම, අත්දැකීම් ආදිය චරිතයේ සාර්ථකත්වයට හේතු වෙනවා. ටෙලි නාට්‍ය සහ සිනමාවේ සුළු චරිතවලට මම සම්බන්ධ වෙලා තිබුණා. ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබුණේ රනිල් කුලසිංහගේ ‘Lover’s Leap’ (ලවර්ස් ලීප්) ටෙලි නාට්‍යයේ. ඒ නාට්‍යයේ පිටපත රචනා කළ රසික සුරවීරආරච්චි මහතා තමයි මට ආරාධනා කළේ. ඒ අනුව තිමල් අල්විස් නමැති අවංක ‍පොලිස් නිලධාරියාගේ චරිතය මට ලැබුණා. මේ දවස්වල ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විවිධ දේශපාලන බලපෑම් සහ බලය ඇති අයගේ බලපෑම්වලට නතු වුණු චරිතයක් හැටියට කාලයක් තිස්සේ පොලිස් නිලධාරියා කියන චරිතය පිළිබඳ ජනතාවගේ අප්‍රසාදයක් තියෙනවා. ඒ තත්ත්වය වෙනස් කරලා ජනතාවගේ පැත්තෙන් පොලිස් නිලධාරියා පිළිබඳ ප්‍රසාදයකුත්, නිලධාරීන්ගේ පැත්තෙන් අවංක නිලධාරියෙක් හැටියට රාජකාරි කිරීමේ වටිනාකමත් මේ චරිතය මඟින් සමාජගත කරනවා. එවැනි චරිතයකින් මිනිස්සු අතරට යන්න ලැබීම ගැන සතුටුයි. මේ නාට්‍යය දැකලා අලුත් වැඩවලටත් ඇරයුම් ලැබිලා තියෙනවා. විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතුවලට බාධාවක් නොවන ආකාරයට ඉදිරි කලා කටයුතුවලට මම සම්බන්ධ වෙනවා.

gossiplanka image 1
Previous Post Next Post