ධනුෂ්ක අයියා මට ආරාධනා කළේ තරු ආදරේ නාට්‍යයේ මාෂා වෙන්න - මින්සි ෂෙහාරා

gossiplanka image 2
 


සතියේ දින පහේම සවස 8.30 ට හිරු TV තුළින් විකාශය වන ‘තරු ආදරේ‘ හරහා කලා ක්ෂේත්‍රයට තවත් අලුත් මුහුණක් එකතු වී තිබෙනවා. ඒ තමයි ‘තරු ආදරේ‘ හි ‘මාෂා‘. මාෂා ලෙස රංගන දායකත්වය ලබා දෙන්නේ මේ වනවිටත් ඔස්ට්‍රේලියාවේ ජිවත් වන මින්සි ෂෙහාරා.


කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ?


පොඩි කාලේ ඉඳන්ම මම නර්තනය හැදෑරුවා. ඒ හරහා තමයි මට කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාවන් ලැබුණේ.


‘තරු ආදරේ‘ ‘මාෂා‘ වෙන්න කොහොමද අවස්ථාව උදා වෙන්නේ?


මාෂා වෙන්න අවස්ථාව ලැබෙන්නේ ‘විරහවත් එක රහක් කියන‘ මෙල්බන්වල ෂූට් කරපු මියුසික් වීඩියෝ එකක් හරහා. ‘තරු ආදරේ‘ ටෙලි නිර්මාණයේ නිෂ්පාදක ධනුෂ්ක ප්‍රනාන්දු අයියාම තමයි ඒ මියුසික් වීඩියෝ එක කළේ. ඒ ගීතය රචනා කළෙත් ධනුෂ්ක ප්‍රනාන්දු අයියා. ගායනා කළේ කසුන් කල්හාර. එතැනින් පස්සේ තමයි ධනුෂ්ක අයියා මට ආරාධනා කළේ තරු ආදරේ මාෂා වෙන්න.


මාෂා චරිතේ ගැන කෙටියෙන් කිව්වොත්?


මාෂා කියන්නේ අම්මයි තාත්තයි දෙන්නම නැති, අයියා යටතේ ජිවත් වෙන හරි විසේකාර ආදරණිය චරිතයක්. ඇය අයියාගේ එකම හුරතලි කිව්වොත් නිවැරදියි. ඒ වගේම හරිම සංවේදී චරිතයක්. තරුවකට පෙම් බඳින දඟකාර ආදරණීය චරිතයක්. මාෂා චරිතේ ලියන්නේ බුද්ධිනි ජයවර්ධන අක්කා. එයාවත් ආදරෙන් මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ.


මීට පෙරත් රංගනයෙන් දායක වෙලා තියෙනවා නේද?


ඔව්… ඇට්ටරයා කියන ටෙලි නාට්‍යයට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. නමුත් ඒක තවම විකාශය වුණේ නැහැ. ඒ නිසා මාව පුංචි තිරෙන් දකින පළමු නිර්මාණය ‘තරු ආදරේ‘.


මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. මට පෞද්ගලිකව කෙටි පණිවිඩ එවන අය ඉන්නවා. ඒ එක්කම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර ලැබෙනවා. මම තවම මේ ක්ෂේත්‍රයට නවකයෙක් නිසා හොඳ නරක දෙකම ලැබෙනවා. මම හරි ආදරෙන් ඒ ලැබෙන ප්‍රතිචාර කියවනවා. මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් මට ලැබෙන හොඳ ප්‍රතිචාරවලින් මාව දිරිමත් වෙනවා වගේම තමයි මට ලැබෙන නරක ප්‍රතිචාරවලින් මට මගේ අඩුපාඩු හදාගන්න පුළුවන්.


ප්‍රවීණයන් රැසක් එක්ක රඟපාන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ


ප්‍රවීණයන් එක්ක රඟපාන්න ලැබීම ගැන හරිම සතුටුයි. මම එයාලගෙන් රංගනය සම්බන්ධ ගොඩක් දේවල් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. මට ඒ දේවල් හරිම වැදගත් වෙනවා කලා ක්ෂේත්‍රය තුළ රැඳෙන්න.


මින්සි රංගනයට අමතරව මොනවද කරන්නේ


මම රංගනයට අමතරව වාණිජ අංශයේ රැකියාවක් කරනවා. ඊට අමතරව මම බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් විදියට පාසල් යන කාලේ ඉඳන්ම ක්‍රීඩා කරනවා. ලංකාව සහ ඔස්ට්‍රේලියාව තුළදී මම තරග වලට සහභාගි වෙලා ජයග්‍රහණ ලබා ගෙන තියෙනවා.


කලාවට එද්දී ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?


මගේ අම්මා ගොඩක් ආසාවෙන් හිටියේ මම කලාවට එනවට. රංගනය කියන්නේ අම්මාගේ හීනයක් කිව්වොත් හරි. මම දන්නවා එයා ගොඩක් සතුටු වෙනවා මම කරන නිර්මාණ බලලා. තාත්තා නම් ගොඩක්ම කැමැත්තෙන් හිටියේ මම ක්‍රීඩාවෙන් ඉදිරියට යනවා දකින්න. පොඩි කාලේ ඉඳන්ම නර්තනය හොඳින් කළ නිසා අම්මා තාත්තා දෙන්නම මට ලොකු සහයෝගයක් දුන්නා.


දිගටම රඟපාන්න ද කැමැත්ත?


මමත් කලාවට ආස, ආදරේ කෙනෙක්. ඉතින් දිගටම කලාව එක්ක ඉන්නවා. ලැබෙන නිර්මාණ එක්ක දිගටම රංගනයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා.


දිගටම ඔස්ට්‍රේලියාවේ ඉන්න ද කැමැත්ත


මෙහේ දිගටම ඉන්න කියලා කැමැත්තක් නැහැ. ඉක්මනින් ලංකාවට එන්න ඕනේ. මම පොඩි ඉලක්ක තියාගන්න කෙනෙක්. දැනට මට තියෙන බලාපොරොත්තුව තමයි රංගන කුසලතාව වැඩි දියුණු කරගෙන ඉදිරි නිර්මාණවලට දායක වෙන එක සහ මට ලැබෙන චරිත වලට සාධාරණයක් කරන එක.

gossiplanka image 1
Previous Post Next Post