ජාත්‍යන්තර සිනමාපටයකට රංගනයෙන් දායක වනවා යන්න ශ්‍රී ලාංකේය රංගන ශිල්පියකුට විශාල ජයග්‍රහණයකි. එමෙන්ම ප්‍රධාන භූමිකාව හිමිවනවා යන්න සිහිනයක්ම පමණි. හෙළ කලා කෙත අස්වද්දන දක්ෂ රංගන ශිල්පියකු වන බුද්ධික ජයරත්න පසුගියදා එම සිහිනය සැබෑ කරගත්තේ ජාත්‍යන්තර සිනමාපටයක ප්‍රධාන භූමිකාවට පණ පෙවූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමිනි. ඒ ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකු වන හර්මන් පෙරේරාගේ කුලුඳුල් සිනමාපටය වන Sunny’s Mansionහි ධාර් (Dhar) නමැති ප්‍රධාන චරිතයට පණ පොවමිනි. බුද්ධිකට ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ ද ඔහු සතු ප්‍රබල රංගන හැකියාව නිසා බව පැහැදිලිය. ශ්‍රී ලාංකිකයකු ලැබූ ඒ කුලුඳුල් අත්දැකීම ඔහු අප හා බෙදාගත්තේය.
ජාත්‍යන්තර සිනමාපටයක ප්‍රධාන භූමිකාවට පණ පෙවූ පළමු ශ්‍රී ලාංකිකයා ඔබ. එය රංගන ශිල්පියකුට ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාවක්. මොකද හිතෙන්නේ?
එය මට නිහතමානීව සතුටු විය හැකි අවස්ථාවක්. මං සිනමාවට එන්න කලින් ඉඳන්ම ජාත්‍යන්තර චිත්‍රපටවල රඟපාපු ශ්‍රී ලාංකේය රංගන ශිල්පීන් හිටියා. නමුත් මෙතෙක් ප්‍රධාන භූමිකාවට දායක වෙන්න අවස්ථාවක් ලැබිල තිබුණෙ නැහැ. මට ලැබුණු, මට සොයාදුන් දත්තවලට අනුව මං නිවැරැදි නම් ශ්‍රී ලාංකේය රංගන ශිල්පියෙක් ජාත්‍යන්තර චිත්‍රපටයක ප්‍රධාන භූමිකාවට පණ පොවන පළමු අවස්ථාව මේක. එහෙම බැලුවොත් ජාත්‍යන්තර චිත්‍රපටයක ප්‍රධාන භූමිකාවට පණ පොවන පළමු ශ්‍රී ලාංකිකයා මම වෙන්න ඕන. මෙය සම්පූර්ණයෙන්ම රූගත කළේ විදෙස් රටක වීමත් විශේෂත්වයක්. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් නිපදවෙන ජාත්‍යන්තර තලයේ සිනමාපටයක් කිවුවත් හරි. මේ වෙද්දි ඇමේසන් ප්‍රයිම් වැනි ෆ්ලැට්ෆෝම්වල මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා.
මේ අවස්ථාව බුද්ධිකට ලැබෙන්නේ කොහොමද ?
Sunny’s Mansion සිනමාපටය, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන්නේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන හර්මන් පෙරේරා කියන මහත්මයා.
ඔහු ශ්‍රී ලංකාවේ ඉපදුණු කෙනෙක් වුණත් කවදාවත් ලංකාවේ සිනමාව ස්පර්ශ කරපු කෙනෙක් නෙවෙයි. ලංකාවෙන් ගියාට පස්සේ සිනමාව පිළිබඳ උපාධිය හදාරලා, කෙටි චිත්‍රපට කිහිපයක් කරලා, ඒවට සම්මානත් හිමිකරගත්තට පස්සේ තමයි ඔහු සිනමාවට පිවිසෙන්නේ. Sunny’s Mansion කියන්නේ ඔහුගේ පළමු සිනමා නිර්මාණය. ආසියාතිකයකු වටා ගෙතුණු කතාවක්. ඔහුට පුළුවන්කම තිබුණා වෙන රටක කෙනෙක් සම්බන්ධ කරගෙන පහසුවෙන්ම මේක කරගන්න. ඒත් ඔහුට ඕන වෙලා තියෙනවා තමන්ගේ මවු රටේම කෙනෙක් යොදා ගන්න. ඒ නිසයි ඔහු මාව තෝරගෙන තියෙන්නේ.
ධාර් (Dhar) කියන චරිතයට ඔබම තෝරගන්න හේතුව මොකක්ද?
මාත් ඔය ප්‍රශ්නය ඔහුගෙන් ඇහුවා. ඔහු මට කිවුවේ හිතුණලු මේ චරිතෙට වඩාත්ම සුදුසු කෙනා මම කියලා. මේක ඔහු මගේ නිර්මාණ බලලා ගත්ත තීරණයක්. මට මේ වගේ සුවිශේෂී අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් මං ඔහුට විශේෂ ස්තුතිය පිරිනමනවා.
Sunny’s Mansion සම්පූර්ණයෙන්ම රූගත කෙරුණේ ඔස්ට්‍රේලියාවේ. කොහොමද ඒ අත්දැකීම?
ඒ අත්දැකීම නම් මට සුවිශේෂීයි. මං මාස දෙකක් විතර ඔස්ට්‍රේලියාවේ හිටියා. රූගත කෙරුණෙත් සීත කාලයේ. සීතල දරාගැනීමේ අපහසුතාව තිබුණා. අනිත් එක තමයි රූගත කළේත් පහසුකම් අඩු ග්‍රාමීය පරිසරයක. සමහර තැන්වල හීටර්ස් තිබුණෙත් අඩුවෙන්. ධාර් (Dhar) කියන්නේ ගෙයක් දොරක් නැතුව පාරෙ නිදාගන්න ආසියාතිකයකුගේ චරිතයක්. නමුත් ඔහුට යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් සම්බන්ධයෙන් මහා බලයක් තියෙනවා. ඒ රටවලත් ඒ වගේ දේවල් පිළිගන්නවා. විදේශිකයන් ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් යම් යම් වැඩ කරවගන්නවා. ඔහුට එක අවස්ථාවක් ලැබෙනවා මහා මන්දිරයක තියෙන අමනුෂ්‍ය බලවේග වගයක් ඉවත් කරන්න. එතැනදි මුහුණ දෙන්න වෙන දේවල් එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ.
අනෙක් රංගන ශිල්පීන් සියල්ලන්ම විදේශිකයන්. ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය ගැන කතා කරනවා නම්?
ඒක මෙහෙමයි. මම ගියපු ගමන්ම ඔවුන් මාව වැලඳගෙන පිළිගැනීමක් කළේ නැහැ. නමුත් මගේ හැකියාව පෙන්නද්දි ඔවුන්ගේ වෘත්තීයභාවයත් එක්ක ඔවුන් ඒ අවශ්‍ය ගෞරවය ලබා දෙනවා. ඊට පස්සේ ඔවුන් හිතවත් වුණා. අපේ මේ හමේ පාටට විදේශිකයින්ගේ කොහොමත් බයක් තියෙනවා. අපිව පුළුවන් තරම් කොන් කරන්නමයි බලන්නේ. එතැනදි තමයි හර්මන් පෙරේරා කියන අධ්‍යක්ෂවරයා සුවිශේෂී වන්නේ. ඒ වගේ වාතාවරණයක තමයි ඔහු ප්‍රධාන චරිතයට ශ්‍රී ලාංකිකයකු ගෙන්වා ගන්නේ. ශ්‍රී ලාංකිකයකු වශයෙන් මෙවන් අභියෝගයක් භාරගැනීම සම්බන්ධයෙන් අපි ඔහුට ගරු කළ යුතුයි.
විදෙස් චිත්‍රපටයක ප්‍රධාන චරිතය කළ පළමු අවස්ථාව මේක. ඔබේම රංගනය දැකලා ඔබට මොකද හිතුණේ?
මට තාමත් එය දැකබලා ගන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. මේ වෙද්දි ඇමේසන් ප්‍රයිම් ෆ්ලැට්ෆෝම්වල ෆිල්ම් එක යනවා. නමුත් ආසියාවට තාම විවෘත වෙලා නැහැ. ඒ නිසා මට තාම දකින්න ලැබුණෙ නැහැ. Sunny’s Mansion මංගල දර්ශනයෙදි තමයි මටත් බලාගන්න ලැබෙන්නේ.
ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සිනමාව හරහා. ඒ ගැනත් මතක් කරමු?
ඔව්. රංගන ශිල්පියෙක් විදිහට මාව ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්නේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයා. ඒ ඔහුගේ ‘රෝස වසන්තය‘ සිනමාපටයෙන්. එහි ඇඳුම් නිර්මාණ ශිල්පියත් මම. ජාත්‍යන්තර සිනමාපට දෙකත් ඇතුළුව මං සිනමා නිර්මාණ තිහකට ආසන්න සංඛ්‍යාවකට සම්බන්ධ වෙලා තියෙනවා. ටෙලි නිර්මාණ ගත්තත් තිහක් විතර ඇති.
දැන් දැන් ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් ඇතිවෙමින් යනවා. ක්ෂේත්‍රයට අලුතින් එකතුවන අයට එය සුබ ලකුණක්. ඒ සම්බන්ධයෙන් ඔබටත් යමක් කියන්න ඇති?
ඇත්තම කතාව කිවුවොත් ශ්‍රී ලාංකිකයින්ගේ හැකියාව පිළිබඳ කිසිම තර්කයක් නැහැ. අතිශයින්ම ඉදිරි මට්ටම්වල තියෙනවා. මම කියන එකම දේ අවස්ථාවල් ළඟට එනකල් බලාගෙන ඉන්නෙ නැතුව අවස්ථාවල් හදාගෙන යන්න කියන එක.