කලාව තුළ අපිට හමුවෙන දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් තමයි හර්ෂිකා රත්නායක කියන්නේ. වේදිකාවෙන් පුංචි තිරෙන් සහ සිනමාවෙන් ඇය සිය රංගන දායකත්වය ලබා දෙන්නේ බාහිර කථිකාචාර්යවරියක් විදියට දරුවන්ට දැනුම ලබා දෙන අතරතුර. රංගන ශිල්පිනියක් නර්තන ශිල්පිනියක් ලෙස කලාවේ මෙතෙක් ආ ගමන් මගේ මේ දිනවල ඇය අපිට ‘මදර් ලංකා‘ චිත්‍රපටය තුළින් රිදී තිරෙනුත් දැක ගන්න ලැබෙනවා. රසඳුන මෙවර සොඳුරු කතා බහ හර්ශිකා රත්නායක සමඟයි.
මේ දිනවල රිදි තිරෙන් වගේම පුංචි තිරෙන් ඔබ දකින්න ලැබෙනවානෙ? කොහොමද ලැබෙන ප්‍රතිචාර?
රංගන ශිල්පිනියක් හැටියට ලැබෙන ප්‍රතිචාර තමයි මට ලැබෙන හොඳම සම්මානය. ‘මන්දාරා’ ඉවර වෙද්දී ‘සූර්යා’ තිරගත වුණා. මේ දිනවල අතිසාර්ථකව ‘මදර් ලංකා’ චිත්‍රපටය තිරගත වෙනවා.
‘මදර් ලංකා’ හි මගේ භූමිකාව වුණේ පාසලේ විදුහල්පති විදියට. ඒ චරිතෙට සෑහෙන හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. මෑත කාලයේ ටෙලි නාට්‍යයවලින් එහාට ගිහින් චිත්‍රපටවල වැඩ කරන්න ලැබුණු එක ගැනත් සතුටුයි. මදර් ලංකා චිත්‍රපටය සමඟ ප්‍රවර්ධන කටයුතුවලට යන මොහොතේ දී සජීවීව ඒ ලැබෙන ප්‍රතිචාර ගැන හුඟක් සතුටු වෙනවා. අපිව මුණගැහුණම ඒ අය කතා කරේ අපි කරපු චරිත ගැන ඒ හැර අපේ පෞද්ගලික ජිවිතේ ගැන නෙවෙයි. අපේ රංගන හැකියාව ගැන. මට හම්බ වුණු හැම ප්‍රේක්ෂකයෙක්ම කිව්වේ මම රඟපානවා හොඳයි කියන එක. පුංචි තිරේ නිර්මාණ ගැන කතා කළොත් රොන් සොයා, Lover’s Leap, මහරාණි විකාශය වෙනවා. ඒ නිසා මේ කාලේ මග තොටේදී වගේම මගේ පාසලේ දරුවන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රස්සාවල් කිහිපයක් කරන නිසා මට හමබවෙන පිරිස වැඩියි.
චරිතවලදී සීමා මායිම් තියෙනවාද?
රංගන ශිල්පිනියක් හැටියට අපිට ලැබෙන චරිතවල සීමා මායිම් අපිට දා ගන්න බැහැ. යම් කිසි නිර්මාණයක් කරද්දී ඒ නිර්මාණ ශිල්පියා අපිට දෙන චරිතයට රංගන දායකත්වය ලබා දීම තමයි ශිල්පීන් විදියට අපි කරන්නේ. එතකොට සිද්ධ වෙනවා අදාළ නිර්මාණ කාර්යයට හානියක් නොවන විදියට වැඩ කරන්න. ඒ නිසා චරිතෙට අවශ්‍ය කරන සීමා තීරණය කරන්නේ අධ්‍යක්ෂවරයා. ඒ අනුව ගැළපෙන කෙනෙක්ට තමයි කතා කරන්නේ. යම් ගැටලුවක් තියේ නම් කතාබහ කරගෙන විසඳගන්න පුළුවන්.
එහෙම නැතුව තමන්ට සීමා මායිම් දා ගන්න පුළුවන්, මම කොටට අඳින චරිත කරන්නේ නැහැ. සිපවැලඳ ගැනීම් වැනි දර්ශන තියෙනවා නම් කරන්නේ නැහැ කියන එක. එහෙම චරිතයකට ඇරයුම් කළොත් අනේ එවැනි නිර්මාණ කරන්නේ නැහැ කියන්න පුළුවන්. ඒ හැර මම විශ්වාස කරනවා රංගන ශිල්පිනියක් හැටියට සීමා මායිම් තියාගන්නේ නැතුව තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් ‘ඇක්ට්‘ කරන එක තමයි කළ යුත්තේ.
චරිතයක් භාර ගන්න කලින් මොනවාද බලන්නෙ?
මගේ වයසත් එක්ක මේ වෙද්දී මට ලැබෙන්නේ යම් සීමාවක චරිත නිසා ලොකු තේරීම් කරන්න බැහැ.
හැබැයි චිත්‍රපටයක වගේ හොඳ චරිතයක් ලැබෙද්දී තෝරා බේරාගෙන චරිත භාර ගන්නවා. ඒ එක්කම මට ලැබෙන චරිතේ සහ ඒ නිර්මාණයට දායක වෙන සෙසු ශිල්පීන් ගැන අහනවා.
එහෙම නැතුව අහසින් කඩා පාත් වුණා වගේ චරිතයක් තියෙනවා ඇවිත් කරන්න කිව්වට භාර ගන්න බැහැ. චරිතෙට මුලක් මැදක් අගක් තියෙන්න ඕනේ. පිටපත ඇතුළේ ඒ චරිතයට යම් කිසි වැඩක් කරන්න තියෙනවා නම් මම භාර ගන්නවා.
රංගන කලාව පටන් අරන් අවුරුදු කීයක්ද?
මම පාසල් යන කාලේ සහ විශ්වවිද්‍යාලයේදීත් නාට්‍ය සහ නර්තනය කළා. කලාව වෘත්තීය වශයෙන් කරන්න පටන් අරන් නම් අවුරුදු 10ක් වගේ කාලයක් වෙන්නේ. සකුගේ කතාව තමයි මගේ පළමු ටෙලි නාට්‍යය වුණේ. හැබැයි අවුරුදු ගාණක් තිස්සේ මම නර්තන ශිල්පිනියක් හැටියට සහ රංග වින්‍යාස ශිල්පිනියක් හැටියට මම වේදිකාවේ වැඩ කරලා තියෙනවා.
දායක වීමට ලැබුණු නිර්මාණ ගැන තෘප්තිමත් ද?
ඔව්. ලැබුණු හෝ කළ නිර්මාණ ගැන තෘප්තිමත්. මම හිතනවා මම කරපු නිර්මාණ වලට සාධාරණයක් කරන්න ඇති කියලා. මගේ වාසනාවට ටෙලි නාට්‍ය , චිත්‍රපට සහ වෙළෙඳ දැන්වීම්වල මට හොඳ නිර්මාණ ලැබෙනවා. ඒ නිසා කරපු නිර්මාණ ගැන සතුටුයි. හැබැයි මට ඒ චරිතේ තව හොඳට කරන්න තිබ්බානේ කියන එක හිතෙනවා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?
අරුණ ජයවර්ධනගේ අලුත් ටෙලිනාට්‍යක් සහ ඉන්දික ධර්මතිලකගේ නිර්මාණයක වැඩ කරගෙන යනවා. ඒ එක්කම තව නිර්මාණයකට මේ දිනවල කතා කරගෙන යනවා.
දරුවත් රංගනයට කලාවට දායක වෙනවද? ඒ අය ගැනත් කතා කළොත්….
මට ඉන්නේ දුවලා දෙන්නෙක්. බිනරි සහ කිනරි. ඒ දෙන්නටම හොඳට නටන්න වගේම රඟපාන්න පුළුවන්. ලොකු දුව බිනරි ක්‍රීඩාවටත් දක්ෂයි.
එයා මේ වෙද්දී උසස් පෙළට නාට්‍යය කලාව හදාරනවා. ලොකු දුව ගාව හරි ‘යුනික් ඇක්ටින් ස්කිල්‘ තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ මොන අංශය ඉදිරියට තෝරා ගනීද කියලා. එයාල ගැන මට හරි සතුටුයි. එයාගේ කැමැත්ත ක්‍රීඩාවෙන් හෝ ඩිසයිනින් පැත්තෙන් ඉදිරියට යන්න. නමුත් මම හිතනවා එයා රංගනයට ඒවි කියලා. එයාට තියෙන්නේ හරි අමුතු මූණක්.
මට මගේ පැත්තෙන් වගකීමෙන් කියන්න පුළුවන් එයා කලාවට ආවොත් රංගන ශිල්පිනියක් හැටියට හෝ නර්තන ශිල්පිනියක් හැටියට සෑහෙන ලොකු වැඩක් ලංකාව ඇතුළේ කරයි කියලා. පොඩි දුව තාම හැදෙමින් ඉන්නේ. හැබැයි ඒ දෙන්නා ගාවම රඟපෑමට ආදාළ දේවල් තියෙනවා.
ලැබෙන ප්‍රේක්ෂක ආදරේට කියන්න දෙයක් ඇති…..
කොහේ ගියත් හම්බවෙලා කතා කරද්දී හරිම සතුටුයි. ප්‍රේක්ෂකයින් හම්බුණාම එයාලා මා එක්ක හිනා වෙන්න කලින් මම එයාලා එක්ක හිනාවෙන කෙනෙක්. මම බොහොම සරලව ජිවත් වෙන්නේ.
රබර් සෙරප්පු දෙක දාගෙන යන කෙනෙක්. රංගන ශිල්පිනියක් කියලා විශේෂ නඩත්තුවක් මගේ ගාව නැහැ. අපි අපිට ලැබෙන චරිතයට සාධාරණයක් කරනවා වගේම තමයි ඒ චරිතේ වෙනුවෙන් ලැබෙන ප්‍රේක්ෂක ආදරේ නිසයි අපි නිර්මාණ තුළ රැඳිලා ඉන්නේ.
මට ගනුදෙනුව තියෙන්නේ ප්‍රේක්ෂකයින් එක්ක. ඒ නිසා සතුටුයි මට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන.