මම කළු නිසා රඟ­පාන්න ලැබෙයි කියලා කව­දා­වත් හිතුවේ නැහැ ගීතා කාන්ති ජය­කොඩි

gossiplanka image 2
 



පහ­ළට වැඩුණු දිගු වර­ළස දෙකට ගොතා, පාසල් ඇඳු­මින් සැරසී, දෑත දෙපා පමණ නොව ළැම උකුළ ද ළෙල­ව­මින්, අඳුරු පැහැ මුව අරා සීරු­වට පෙළ ගැසුණු මුතු දසන් දක්වා නංවන පිය­කරු සින­හ­වෙන් ප්‍රේක්ෂ­කා­ගා­රය කීරි ගැන්වූ ඇය බොහෝ කලක් ආර්. ආර්. සම­ර­කෝන්ගේ ‘කැලණි පාලම‘ නාට්‍යයේ ‘සුරං­ගනී’ වූවා ය. පාසල් දැරි­යක ව සිටි­ය­දීම කැලණි පාල­මෙන් වේදි­කා­වට ගොඩ­ව­න්නට වරම් ලද ඇය මේ දක්වා අඛණ්ඩ ව ‘කැලණි පාලම‘ නාට්‍යයේ රඟ­පාන්නේ අසී­මිත සතු­ට­කිනි. කාල­යාගේ ඇවෑ­මෙන් එහි ම ‘රූපා­වතී’ බවට පත් වූ ඇය මේ දින­වල ‘කැලණි පාලම‘ සමඟ රට­වටා සැරි­ස­රන්නී ය.


1982 වස­රේදී ඇය ඩී. බී. නිහා­ල්සිංහ විසින් අධ්‍ය­ක්ෂ­ණය කරන ලද ‘රිදී නිම්නය‘ චිත්‍ර­ප­ටයේ ප්‍රධාන චරි­ත­යක් රඟ­පා­මින් සිනමා රංග­න­යට පිවි­සිය ය. ප්‍රවීණ මාධ්‍ය­වේදී ධර්ම­සිරි ගමගේ සූරින් අධ්‍ය­ක්ෂ­ණය කළ ‘පූජා‘ චිත්‍ර­ප­ටයේ ‘වසන්ති’ වූ ඇය එම වසරේ සර­ස­විය සම්මාන උලෙළේ හොඳ ම නැඟී එන නිළිය වූවා ය. එසේ ම එහිදී හොඳම නිළිය සම්මා­නය සඳහා ද ඇය නිර්දේශ විය. සිය ප්‍රථම ටෙලි නාට්‍ය රංග­නය වූ විජය ධර්ම ශ්‍රීගේ ‘රන් දොර­ටුව‘ ඇයට හොඳම ටෙලි නිළිය සම්මා­නය හිමි කර දීමට සමත් විය. ආනන්ද ෆොන්සේ­කාගේ ‘කෙම්මුර‘ ටෙලි නාට්‍යයේ රංග­නය උදෙසා ඇය 2001 වස­රේදී හොඳම සහාය නිළිය සම්මා­නය ද දිනා ගත්තාය. එදා මෙදා තුර දශක ගණ­නා­වක ගුව­න්වි­දු­ලිය, වේදි­කාව, සින­මාව, ටෙලි නාට්‍ය ආදි මාධ්‍ය­යන් ඔස්සේ රංග­න­යෙන් ද ගාය­න­යෙන් ද ශ්‍රාවක ප්‍රේක්ෂක ආද­රය විඳි­මින් මේ සියලු මාධ්‍ය­යන්හි තව­මත් සක්‍රීය ව කලා කට­යු­තු­වල නිරත වන ඇය ගීතා කාන්ති ජය­කොඩි ය.


කොළඹ වැල්ල­ම්පි­ටිය සහ අවට ප්‍රදේශ බොහෝ­ම­යක ප්‍රකට ආයු­ර්වේද වෛද්‍ය­ව­ර­යෙක් වූ සිරි­සේන ජය­කොඩි ඇයගේ ආද­ර­ණීය පියා යි. මව වය­ලට් කුරු­විට ආරච්චි ය. ජය­කොඩි පවුලේ වැඩි­මලා කමල් ය. දෙවැ­නියා ගීතා කාන්ති ය. තෙවැන්නා පියල් ය. ඔහු ගුව­න්වි­දු­ලියේ සරළ ගී ගායන ශිල්පි­යෙකි. සිව්වැන්නා ශ්‍රියාණි ය. බාලයා රත්නා ලාලනී ය. ඇය ද අති­ශය ජන­ප්‍රිය රංග­වේ­දි­නි­යකි. එසේ ම සංගීත ගුරු­ව­රි­යකි. ගායි­කා­වකි. කුඩා කල පටන් මේ දරු­වන් පස් දෙනා ඉතා මිහිරි ලෙස ගී ගය­මින්, මිදුලේ නාට්‍ය රඟ­මින් පෑ දක්ෂතා මවත්, පියාත් බලා සිටියේ ඉම­හත් ප්‍රීති­යෙනි. පියා නිතර ගායනා කළ කවි, ශ්ලෝක, ගාථා ආදි­යෙහි ආභා­ස­යෙන් දරු­වන් පස් දෙනා ද ජන ගායනා තර­ග­ව­ලින් නිතර ජය ගෙන පසුව ගීත ගය­න්නට ද පෙළ­ඹිණි. මේ දරු­වන් පස්දෙ­නාගේ දරු­වන් ද අද වන­විට කලා ක්ෂේත්‍රයේ ජන­ප්‍රිය ශිල්පීන් ය. කමල්ගේ දරු­වන් වන බිමල්, රනිල්, යශෝදා, සවිනි ද බිමල්ගේ බිරිඳ සුජානි මේනකා ද ගීතා කාන්ති සහ පද්ම­කීර්ති පති­රගේ එකම දරුවා වන පබෝදා ද පියල් සහ අජ­න්තාගේ දරු­වන් වන රංගා­මල් හා පුබුදු ලක්මාල් ද ශ්‍රියාණි සහ සුනිල් බණ්ඩාර‍ගේ දරු­වන් වන සචිත්‍ර හා කවිඳු ද රත්නා ලාලනී සහ සම්පත් තෙන්න­කෝන්ගේ එකම දරුවා වන මංජිත ද අඩු­වැඩි වශ­යෙන් කලා­වෙහි දක්ෂයෝ ය.


“අපේ මේ විශාල කලා පවු­ලට එක්වුණු අලුත් ම සාමා­ජි­කයා මගේ මුනු­පුරා සවේන් ජිත්ස­රයි. එයා එක්ක ගත කරන කාලය මට පුදුම සතු­ටක් ගෙන දෙනවා. එයත් ගයන්න දක්ෂයි. අපේ පවුලේ කලා­වට මුලින් ම සම්බන්ධ වුණේ මමයි. නන්දා රත්න­තුංග මහ­ත්මිය ඒ දව­ස්වල ‘ජසයා ලෙන්චිනා හි ලෙන්චි­නාට රඟ­පා­මින් සිටියා. ඇය අපේ ඥාති­ව­ර­යකු සමඟ විවාහ වුණා. මගේ දක්ෂතා දැකලා අම්මා මාව අය­දු­ම්ප­තක් දාලා ගුව­න්වි­දු­ලියේ ළමා පිටි­යට යොමු කිරීම සඳහා එක්ක­ගෙන ගියේ නන්දා රණ­තුංග සම­ඟයි. එහිදී මම ළමා ගීත ගායනා කළා. මම ගැයූ ළමා ගීත කිහි­ප­යක් පටි­ගත කළා. ඒ අත­රින් සම­හර ගීත තව­මත් ජන­ප්‍රි­යයි. ඒත් ඒ ගී ගැයූ ළමා ගායි­කාව ගීතා කාන්ති ජය­කොඩි බව බොහෝ අය දන්නේ නැහැ.”


“අත්තා පල්ලා‍

­මුත්තා පල්ලා

මං අල්ල­න්නට

බැරු­වානේ…”


අපගේ මත­ක­යෙන් මැකී ගොස් නොමැති මේ ගීය ගැයූ ළමා ගායන ශිල්පි­ණිය ඇය යි. ‘නිලට නිලේ නිල් අහසේ පාවෙ­නවා..‘ ගීය ද ඇයගේ ළමා ගීත­යකි. ‘හඳ­මාමා‘, ‘ළමා රංග පීඨය‘, ‘ගුව­න්වි­දුලි රඟ­ම­ඩල‘, ‘සර­ස්වතී මණ්ඩ­පය‘, ‘ළමා සංගීත සන්ධ්‍යාව‘ ආදි වැඩ­ස­ට­න්ව­ලට ද ඇය ගාය­න­යෙන් හා රූප­ණ­යෙන් සම්බන්ධ වූවාය. ගුව­න්වි­දුලි නිවේ­දි­කා­වක ලෙස ද තේරුණු ඇය “ගීත­යෙන් ගීතය” ආදි වැඩ­ස­ට­හන් රැසක නිවේ­දි­කාව ද වූවාය. පසුව ඇය සුපර් ග්‍රේඩ් නාට්‍ය ශිල්පි­නි­යක වූවාය. ප්‍රවීණ ගුව­න්වි­දුලි නාට්‍ය ශිල්පී ආනන්ද සිරි­සේ­න­යන්ගේ අති­ශය ජන­ප්‍රිය ගුව­න්වි­දුලි නාට්‍ය­යක් වූ ‘වජිරා‘ හි ප්‍රධාන චරි­ත­යක් වූ‘වජිරා’ ලෙසින් බොහෝ කලක් ඇය රඟ­පෑවා ය. ගුව­න්වි­දුලි රඟ­ම­ඩලේ ද නාට්‍ය රැසක ඇය රඟ­පෑ­වාය. ‘රන් ගල් තලාව‘, ‘මුව­න්පැ­ලැස්ස‘ යන ගුව­න්වි­දුලි නාට්‍ය­ව­ලත් ඇය රඟපෑ අතර මුව­න්පැ­ලැස්ස‘ නාට්‍යයේ කදි­රාගේ පෙම්ව­තිය වූයේ ඇය යි. තව­මත් සඳුදා රාත්‍රියේ අපට ඇසෙන ‘මුව­න්පැ­ලැස්ස‘


ගුව­න්වි­දුලි නාට්‍යයේ ‘බිනරි‘ ලෙසින් හඬ රංග­නයේ යෙදෙන්නේ ඇයයි. කුඩා කල පටන් විවිධ දක්ෂතා දැක්වූ ගීතා කාන්තිගේ ජීවන ගමනේ එකී සියලු කුස­ලතා වර්ධ­නය කර ගන්නට පාසල තෝතැ­න්නක් විය.


“වැල්ල­ම්පි­ටිය සේද­වත්ත ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­ප­නය හදා­රලා මම උසස් පෙළට රොස්මිඩ් බාලිකා පාස­ලට ගියා. පොඩි කාලේ ඉඳලා පාසලේ නැටුම් කළා. නැටු­ම්ව­ලින් මට ශිෂ්‍ය­ත්ව­ය­කුත් ලැබුණා. සංගී­ත­යත් කළා. නෙට්බෝල් සහ සරඹ කණ්ඩා­ය­ම්වල නායි­කාව වුණා. පන්ති නායි­කා­වත් මමයි. පාසල නියෝ­ජ­නය කර­මින් විවිධ තර­ග­ව­ලට මම ඉදි­රි­පත් වුණා. ජය­ග්‍ර­හණ ලැබුවා. නර්තන, ගායන, ක්‍රීඩා අංශ­ව­ලින් විවිධ දේව­ලට ඉදි­රි­පත් වුණත් රඟ­පෑ­මක් ගැන කිසි උන­න්දු­වක් හෝ බලා­පො­රො­ත්තු­වක් තිබුණේ නැහැ. අපේ සේද­වත්ත ගමේ ඉස්සර හරි­යට තරග තිබුණා. විකට ඇඳුම් තරග එහෙ­මත් තිබුණා. නමුත් මම ඉදි­රි­පත් වුණේ ගායන අංශයේ තර­ග­ව­ලට හැර රඟ­පාන්න තිබුණු චරි­ත­ව­ලට නෙවෙයි. ඒ කාලේ සින­මාවේ සිටි රංගන ශිල්පිනි­යන් ඉතා ම සුරූපී අය යි. මම කළු පැහැති සමක් ඇති තැනැ­ත්ති­යක් නිසා මේ පෙනු­මට රඟ­පාන්න අව­ස්ථා­වක් ලැබෙයි කියලා හිතුවේ නැහැ. පාසල් ඇරිලා නිල ඇඳු­මෙන් ම ගුව­න්වි­දු­ලි­යට ඇවිත් වැඩ­ස­ට­හ­න්ව­ලට සම්බන්ධ වුණා. ඒ කාලෙ ම ආර්.ආර්. සම­ර­කෝන් මහ­ත්මයා පාසල් ළම­යෙක් ඔහුගේ ‘කැලණි පාලම‘ නාට්‍ය­යට සොය­මින් ඉඳලා තියෙ­නවා. ජේ. එච්. ජය­ව­ර්ධන මහතා මං ගැන කිව්වාම සම­ර­කෝන් මහ­ත්තයා ගුව­න්වි­දු­ලි­යට ඇවිත් මම ගුව­න්වි­දුලි නාට්‍ය­වල දෙබස් රඟන හැටි බලා­ගෙන ඉඳලා පසුව මට එන්න කියලා තැපැල් පතක් එවලා තිබුණා. මම අම්මා එක්ක ගියා. නාට්‍යයේ දෙබස් කිහි­ප­යක් මම කිව්වා. මාව තෝර ගත්තා. 1978දී මුලින්ම වේදි­කා­ගත වුණා. එදා ඉඳලා අද දක්වා ‘කැලණි පාලම‘ නාට්‍ය­යට තියෙන ප්‍රේක්ෂක ප්‍රති­චාර ඉතා ඉහ­ළයි. සම­හර කාල­වල නාට්‍ය බලන්න ඇවිල්ලා ශාලා­වට ඇතුළු වෙන්න බැරුව විශාල පිරිස් ආපහු හැරිලා ගිහින් තියෙ­නවා. සම­හර කාල­වල ප්‍රේක්ෂ­කා­ගා­රය පිරිලා මුලු නාට්‍ය ම හිට­ගෙන බලලා තිබුණා. අද­ටත් ඈත පළා­ත්වල පවා විශාල පිරි­සක් මේ නාට්‍ය තියෙ­නවා කිව්වොත් බලන්න එනවා. කිසිම හැල­හො­ල්ම­නක් නැතුව නාට්‍ය අව­සන් වන­තුරු නාට්‍ය බල­නවා. මේ නාට්‍යයේ එක ගීත­ය­ක්වත් නැහැ. සම­ර­කෝන් මහ­ත්ත­යාගේ වචන ගීත­යක් තිබුණා ද නැද්ද කිය­ලා­වත් දැනෙන්නේ නැති තර­මට රස­වත් බවක් ගෙන දෙනවා. මේ නාට්‍යයේ අඛණ්ඩ ව රැඳී සිටින්න ලැබීම මගේ වාස­නා­වක්. මම රංගන ශිල්පි­ණි­යක් වුණේ ‘කැලණි පාලම‘ නිසා තමයි.”


ඒ ඇරඹි ගමනේ එදා මෙදා තුර වේදිකා නාට්‍ය, ගුව­න්වි­දුලි නාට්‍ය, සිනමා ආදි ක්ෂේත්‍ර ගණ­නා­වක් ඔස්සේ මේතාක් පැමිණි මඟ බොහෝය. ආද­ර­ව­න්තයෝ, යශෝ­රා­වය, අහ­සින් වැටුණු ගැහැ­නි­යක්, බත් අම්මා, ගල් පිළි­මය සහ බොල් පිළි­මය, හංස පිහාටු, හිම­ගිරි අරණ, හිම පියළි, ඉන්ද්‍ර­චාපා, ඉර හඳ පායන ලෝකය, කෙම්මුර, කිරි අම්මා­වරු, මතක සුළඟ, මායාවි, මයුර අස­පුව, මිරි­ඟු­වෙන් එහා, නිල් නෙතු, පෙම් පිය­වර, පස්සෙ ගෙනා මන­මාලි, පින්ගල දනව්ව, පොඩි මාමා, රන් දොර­ටුව, සක්වා ළිහි­ණියෝ, සව්සිරි උයන, සේපා­ලිකා, ස්නේහා ආදිය ඇය රඟපෑ ටෙලි නාට්‍ය අතර කිහි­ප­යකි. රිදී නිම්නය, පූජා, ඔක්කොම රජ­වරු, හොඳින් නැත්නම් නර­කින්, පෙම් රජ දහන, චණ්ඩි රජා, සඳ­රේඛා, දොර­කඩ මාරාව, සඳ යහ­නට, සුදු කළු­වර, ආදර මීනා, ගාමණි, හෝ ගාන පොකුණ, හත් පණ ආදිය චිත්‍ර­පට අතර වේ.


කැලණි පාලම, අහ­සින් වැටුණු මිනිස්සු, මාල වළලු, රයි­නෝ­සි­රස්, නාග­ගු­රුල්ලා, පුත්‍ර සමා­ගම, සිවම්මා දන­පාල, සක්ඛාය දිට්ඨි ආදි­යට අම­ත­රව රත්න­ශීලා පෙරේ­රාගේ ‘ශ්‍රී වික්‍රම‘ වේදිකා නාට්‍යයේ පුස්සැ­ල්ලාවේ කුමා­රි­හා­මිගේ චරි­තය නිරූ­ප­ණය කරන්නේ ද ගීතා කාන්තිය. එය පැරණි නූර්ති ගී ද ඇතු­ළත් වුණු ඉතා රස­වත් සංගී­ත­මය වේදිකා නාට්‍ය­යකි. මේ දින­වල ‘ශ්‍රී වික්‍රම‘ නාට්‍යය ද රට­පුරා වේදිකා ගත කෙරේ. ධනුෂ්ක රත්නා­ය­කගේ ‘පරාග‘ චිත්‍ර­ප­ටයේ ඇය සිය ඥාති පුත්‍ර යශ් වීර­සිං­හත් සමඟ අම්මයි පුතයි ලෙස රංග­නයේ යෙදේ. ඉතාම නුදුරු දිනක එය තිර­ගත වීමට නිය­මි­තයි. එරික් හා මනීෂාගේ අධ්‍ය­ක්ෂ­ණ­යෙන් ඉදි­රි­යේදී තිර­ගත වීමට නිය­මිත ‘වන්දි‘ චිත්‍ර­ප­ටයේ ද ඇය රඟ­පෑවා ය. සෝම­වීර සේනා­නා­ය­කගේ පොතක් ඇසු­රෙන් දයා­රත්න රට­ගෙ­දර අධ්‍ය­ක්ෂ­ණය කළ ‘ඉර හඳ පායක ලෝකේ‘ ටෙලි නාට්‍ය­යේත්, මේ දින­වල විකා­ශය වෙමින් පව­තින ‘හිරු කුමරු ආදරේ ගෙනැල්ලා‘ ටෙලි නාට්‍ය­යේත් ගීතා කාන්තිගේ අපූරු රූප­ණ­යන් දැක ගත හැකිය. ඉදි­රි­යේදී විකා­ශය කිරි­මට නිය­මිත ‘තප්පර කට්ටා‘ නාට්‍යයේ ද වැඩ අව­සන්ව ඇත. මීට වසර කිහි­ප­ය­කට පෙර ඇය ‘ආශි­ර්වාද‘ නමින් පොහොය නාට්‍ය­යක් අධ්‍ය­ක්ෂ­ණය කළාය.


“මගේ දුව පබෝධා සන්දී­ප­නීයි, මමයි මුලින් ම එකට රඟ­පෑවේ ‘යශෝ­රා­වය‘ ටෙලි නාට්‍යයේ. එත­කොට දුවට අවු­රුදු පහක් විතර ඇති. ඊට පස්සේ ‘බෝපත් සක්කියා‘ ටෙලි නාට්‍යයේ එකට රඟ­පෑවා. ඉදි­රි­යේදී තිර­ගත වීමට නිය­මිත ‘ශ්‍රී සද්ධා‘ චිත්‍ර­ප­ට­යේත් දුවයි, මමයි එකට රඟ­පෑවා. කැලණි පාලම වේදිකා නාට්‍ය කැම­රා­ගත කරලා 1982දී රූප­වා­හි­නියේ විකා­ශය කළා. විජය ධර්ම ශ්‍රී මහ­ත්මයා ඒක දැකලා ඔහුගේ ‘රන් දොර­ටුව‘ ඒකාං­ගික ටෙලි නාට්‍ය­යට මාව නීති­ඥ­ව­රි­ය­කගේ චරි­ත­ය­කට තෝරා ගත්තා. ඒ කාලේ ඒ චරි­තය පුදුම විදි­හට ජන­ප්‍රිය වුණා. ඒ චරි­ත­යට මට සම්මා­නත් ලැබුණා. මම රඟපෑ ‘බත් අම්මා’ චරි­ත­යත් ජන­ප්‍රිය වුණා. ‘හිම­ගිරි අරණ‘ ටෙලි නාට්‍යයේ බිරිඳ මරා දැමූ වෛද්‍ය­ව­ර­යාගේ බිරිඳ හැටි­ය­ටත්, ඒ මිනී­මැ­රුම ගැන හොයන දුවගේ චරි­ත­යත් රඟ­පෑවා. එකම නාට්‍යයේ තරුණ හා මැදි­විය චරිත දෙකක් කළා. ඒක මට වෙනස් අත්දැ­කී­මක් වුණා. ‘යශෝ­රා­වය‘ ටෙලි නාට්‍යයේ බල­දේ­වගේ බිරිඳ හැටි­යට රඟපෑ චරි­ත­යත් ජන­ප්‍රිය වුණා. කේ. බී. හේරත්ගේ “මායා­දේවි” නාට්‍යයේ මමයි, මගේ බාල නංගි රත්නා ලාලනි එකට රඟ­පෑවා. පුංචි කාලේ ඉඳලා මම නැටු­ම­ටයි, ගැයු­ම­ටයි තමයි වැඩි දක්ෂ­තා­වක් තිබුණේ. වසර කිහි­ප­ය­කට කලින් එක්තරා ප්‍රධාන උත්ස­ව­යක් සඳහා ඉදි­රි­පත් කිරී­මට ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍ර­ම­සිංහ සමඟ ප්‍රධාන නර්තන අංග­යක පුහු­ණු­වීම් දිග­ටම කළා. නමුත් අව­සාන උත්ස­වය දවසේ මට ‘කැලණි පාලම‘ නාට්‍ය වේදිකාගත කිරී­මක් තිබිලා ඒකට යන්න සිදු වුණා. ඒකෙන් නැටුම කර­ගන්න බැරි වුණා. එදා නම් මම ගොඩාක් දුක් වුණා.”

gossiplanka image 1
Previous Post Next Post