
ඉතින් සාරංග කොහොමද මේ දවස්වල තොරතුරු?
තොරතුරු අහනකොට නම් මුලින්ම කියන්න වෙන්නේ තරමක් බිසී කියලා තමයි.
අලුත් වැඩ කිහිපයකටම අතගහලා කියලයි ආරංචිය…?
ඔව්. මමයි දිනක්ෂියි රඟපෑමෙන් එක්වන ‘මිස්ටර් ඇන්ඩ් මිසිස්’ ෆිල්ම් එක නොවැම්බර් මාසේ මැද රිලීස් වෙනවා. ඒ අතර ‘පට්ටි ගෙදර’ ටෙලි ඩ්‍රාමා එකෙත් වැඩ කටයුතු අවසාන වුණා. අලුත් චිත්‍රපට දෙකක් 2026 අවුරුද්දෙ තිරගත කරන සූදානමක ඉන්නවා. ඕවා තමයි ඉතින් අලුත් වැඩ සහ අලුත් ආරංචිවලට තියෙන්නේ.
චිත්‍රපට අධ්‍යක්ෂණයටත් අතගැහුවා කියලා ආරංචියක් තියෙනවා?
ඔව්. හුඟ කාලයක ඉඳන් මගේ හිතේ තිබුණු සැලැස්මක් ඒක. හිතලා මතලා වැඩේ ලස්සනට ඕනෑකමින් කරන්න ඕනෙ නිසා ඒ සැලැස්මට ටිකක් කාලය දුන්නා. වෙලාව හරි කියලා හිතුණ තැනදී වැඩේට අතගැහුවා.
එච්චරට සැලසුම් කරලා අතගැහුව වැඩේ සාර්ථකද සාරංග?
පුළුවන් උපරිමයට හිතට අරන් නිර්මාණයට දායක වුණා. ඒ මෙහෙවර සාර්ථකයිද නැද්ද කියන උත්තරය දෙන්න පුළුවන් චිත්‍රපටය තිරගත වුණාට පස්සේ තමයි.
චිත්‍රපට දෙක ගැන විස්තර ටිකක් කියමුද?
විස්තර නම් රහසක් කරන්නයි අදහස. ඒක ආඩම්බරකමක් හෝ ලොකුකමක් නෙවෙයි. ඒත් ෆිල්ම් දෙකේ නම පවා තවම මීඩියාවලට දීලා නැහැ. ඒ නිසා දැනට ඒ ගැන කතාකරන එක නවත්වමු.
නළු නිළියන්ගෙ නම් ටිකවත් කියමු සාරංග?
ප්‍රවීණයෝ සහ නවකයෝ පිරිසක් රංගනයට දායක වෙනවා. ඒකත් අපි අවශ්‍ය වෙලාවට සඳහන් කරනවා නම් වඩා හොඳයි.
ෆිල්ම්වල ප්‍රධාන චරිතය කරන්නේ දිනක්ෂිද?
නැහැ. එයා ඒ ෆිල්ම් දෙකෙන් එකකවත් මේන් රෝල්ස් කරන්නේ නැහැ. එක ෆිල්ම් එකක විතරක් ආරාධිත රංගනයක් කරනවා. එච්චරයි.
දිනක්ෂිට සැලකිය යුතු චරිතයක් නුදුන්න එක අසාධාරණ නැද්ද?
එහෙම හිතන්න අවස්ථාවක් නැහැ මෙතැන. අනෙක මම අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක දිනක්ෂි රඟපාන්න ඕනෙ කියලා නියමයකුත් නැහැ. ඇයටත් ඒක එහෙමයි.
ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා විදියට වසර කිහිපයකම ඔබ සම්මාන ගත්තා?
ඔව්. ප්‍රේක්ෂකයන්ට සමීප චරිත කළ නිසා මට ඔවුන්ගේ මනාපය ලැබුණා.
සාරංග අද මේ ඉන්නේ කවදාක හෝ හීනයක් ලෙස දැකපු තැනකද?
ජනප්‍රියම නළුවෙක් වෙන්න ඕනෙ කියන හීනය නම් මා තුළ කවදාවත් තිබුණේ නැහැ. මම ආවේ කලා පවුලකින්. මගේ තාත්තා, අම්මා, මාමා හැමෝම කලා පසුබිමක් තුළ නමක් හදාගත්ත ප්‍රවීණයන්. ඒ අයගේ ආභාෂය මට ලැබුණා.
පුංචි කාලේ ඉඳන්ම අම්මාගේ අතේ එල්ලිලා ගුවන්විදුලියේ වැඩසටහන්වලට ගියා. විශේෂයෙන් නළුවකු ලෙස මගේ මාමා ඩග්ලස් රණසිංහ දිහා බලනකොට ප්‍රේක්ෂකයන්ගේ ආදරය ප්‍රතිචාරය ඔහුට ලැබෙනකොට මම හිතුවා එදා මටත් නළුවෙක් වෙන්න ඇත්නම් කියලා. ඒ මිසක් ජනප්‍රියම නළුවා වෙනවා, සම්මාන ගන්නවා කියන හැඟීමක්, ටාගට් එකක් මට තිබුණේ නැහැ. හැබැයි අද මට ප්‍රේක්ෂකයන් දක්වන ඇල්මට ආදරයට මම කැමැතියි. ඒක මට ගෞරවයක්.
ඇතැම් පිරිස් ඔබටත් දිනක්ෂිටත් මඩ ගහනවා?
සෝෂල් මීඩියා කියන්නේ නිදහස් මාධ්‍යයක්. එහි නීති හෝ සීමාමායිම් නැහැ. ඕනෑම කෙනකුට තවත් අයකු ගැන ඕනෑම දෙයක් පළකරන්න මුදාහරින්න පුළුවන්. සමහර දෙනා අපට මනාපයි. තවත් පිරිසක් ඒ මනාපය නැහැ. ඒ වගේම තම මතය දැරීමේ අයිතිය ඔවුන්ට තියෙන්න පුළුවන්. අපට ඊට එරෙහි වෙන්න බැහැ.
දිනක්ෂි ව්ලොග් එකක කියලා තිබුණා විවේචන කියන්නේ සමහර අවස්ථාවල මෝටිවේෂන් එකක් කියලා?
ඒක එහෙම විය යුතුයි. විවේචනවලට සැලෙන්නෙකුට මේ ෆීල්ඩ් එකේ ඉන්න අමාරුයි. ඒ නිසා උපේක්ෂාවෙන් ඒවා එලෙස බැහැර කිරීම තමයි හොඳ.
කලාකරුවකු වීම ගැන ඔබ ආඩම්බර වෙනවද?
සත්තකින්ම ඔව්. ආඩම්බරය කෙසේ වෙතත් මම මා තුළ සිටින සාරංග දිසාසේකර කියන රංගන ශිල්පියා ගැන ඉතා තෘප්තිමත්. මා පැමිණි මග ගැන ආපසු හැරී බලන කල මට සතුටුයි.
