ගයනා සුදර්ශනී කියන්නේ රංගනය ඔස්සේ දශක ගණනාවක සිට විවිධ චරිත මවන දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් නිලියක්. මේ දිනවල ජාතික රූපවාහිනිය මඟින් විකාශය වන ‘ආදරණීය මිනිසෙක්‘ ටෙලි නාට්‍යයේ ‘දේවිකා’ ද ඇයයි. රසඳුන කතාබහ ගයනා සුදර්ශනී සමඟ.
කොහොමද ජීවිතේ?
ජිවිතේ හොඳින් ගත වෙනවා. එකම දේ තමයි මගේ සැමියා සහන් විජේසිංහ මේ දවස්වල ඉන්නේ අමෙරිකාවේ. එයා නැතුව පාළුයි. සාමාන්‍ය විදියට ෂූටින් තියෙන දවස්වල ඒ කටයුතු කරගෙන දවස ගෙවෙනවා.
‘ආදරණීය මිනිසෙක්‘ නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගැහැනියකට නැති වුණු ආදරණීය මිනිසුන් දෙදෙනෙකු වටා ගෙතුණු කතාවක්. මෙහි ප්‍රධාන චරිත තුන බිමල් ජයකොඩි, නලින් ප්‍රදීප් උඩුවෙල සහ මම කරන්නේ. ඉදිරි ෂූටින්වලට නලින් ප්‍රදීප් උඩුවෙල නැති එක ගැන ලොකු කනගාටුවක් තියෙනවා. ඒ චරිත දෙක සහ මගේ චරිතේ වටා තමයි කතාව ගොඩනැගුණේ. ඉදිරියේදී නාට්‍යය වෙනස් මඟකට යනවා. දේවිකා කියන චරිතය මේ සමාජයේ දකින්න ලැබෙන චරිතයක්. ජිවිතේ මුහුණ දෙන ප්‍රශ්න තමයි මේ කතාව තුළින් කියවෙන්නේ.
නලින් ප්‍රදීප් උඩුවෙල ශිල්පීයා ඔබ සමඟයි අවසන් වරට රඟපෑවෙ?
ඇත්තටම නලින් ගැන කතා කරන්නම ඕනේ. මේ ‘ආදරණීය මිනිසෙක්‘ කතාවේ රචකයා සුනන්ද සිල්වා. මේ පිටපත මගේ මහත්තයා සහන් විජේසිංහ නිෂ්පාදනය කරන්න හිටිය පිටපතක්. ඒ එක්කම සහන් තමයි නලින් කරන චරිතේ කරන්න හිටියේ. 2020 පටන් අරන් අපි ලොකේෂන් බලලා ෂූටින් පටන් ගන්න ඉන්නකොට තමයි කොවිඩ් ආවේ. ඒ නිසා නාට්‍ය නතර කෙරුණා. ඒ නතර කෙරිල්ල 2025 තෙක් වැඩේ ඇදි ඇදි ගියා. ඔය අතර සහන් අමෙරිකාවට ගියා. මම නලින් එක්ක ගොඩක් හිතවත්. 2006 දී 2007 වගේ ‘සුදු හාමිනේ‘ කියන අපේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතේ කළෙත් නලිනුයි මමයි. මමයි සහනුයි මුලින්ම හමුවුණු සරදම නාට්‍යයේ නලින් හිටියා. ඒ එක්කම අපි දෙන්නම මත්තේගොඩ එකම ගමේ. ඒ නිසාත් අපි ළඟින් ඇසුරු කරන්න ලැබුණා. දවසක් නලින් මගෙන් ඇහුවා ගයා පිටපතක් තියෙනවද? එයාගේ පාසල් කාලේ ඉඳන් ඉන්න යාළුවෙක් නාට්‍යයක් කරන්න කැමතියි කියලා. ‘ආදරණීය මිනිසෙක්‘ කියන නම දැම්මෙත් සහන්. මම ඉතින් අපි කරන්න ගිහින් නතර වුණු මේ පිටපත ගැන නලින්ට කිව්වා. එයා පිටපත බැලුවා. එයා පුදුම විදියට මේ පිටපතට කැමති වුණා. එයාම තමයි කිව්වේ කලින් චරිතවලට හිතපු විදියටම බිමල් සහ ගයා උඹ ඒ චරිත දෙක කරන්න. සහන් දැන් කොහොමත් රට නිසා ඒ චරිතේ මම කරන්නම් කියලා. මම සහන්ට කිව්වම එයත් කිව්වේ “කමක් නැහැ ගයා ඕක කරන්න. අනික නලින් කියන්නේ අපේම කෙනෙක්නෙ“ කියලා. නලින්ගේ පෙරැත්ත නිසාම අපි මේ නාට්‍යය කරන්න පටන් ගත්තේ. එයා පොළවේ පය ගහලා ජිවත් වුණු මනුස්සයෙක්. නලින් කොයිතරම් ආදරණිය මිනිසෙක් ද කියන එක එයාගේ මළගෙදරට ආව මිනිස්සු සාක්ෂි. නලින් කවදාවත් කිසිම කෙනෙක් විවේචනය කරලා නැහැ. නලින් නැති අඩුව නම් තදින්ම මට දැනෙනවා. එයාට ආදරණීය බිරිඳක් සහ පුතාලා දෙන්නෙක් ඉන්නවා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?
ටෙලි නාට්‍යය කිහිපයක් සහ චිත්‍රපට කිහිපයක්ම එන්න තියෙනවා. මෑතකදී වසන්ත මොරගොඩගේ ටෙලි නිර්මාණයකට සම්බන්ධ වුණා. සංගීතා වීරරත්න, වසන්ත මොරගොඩ, උදයන්ති මම එහි රඟපෑවේ. ඒ එක්කම ආදරණීය මිනිසෙක් නාට්‍යයේ ෂූටින් ඉදිරියටත් තියෙනවා. තව නිර්මාණ දෙකකට මේ වෙද්දී කතා කරගෙන යනවා.
අලුත් පරම්පරාවෙ බොහෝ අය ක්ෂේත්‍ර තුළ ඉන්නවා. ඒ අයව දකින්නෙ කොහොමද?
අපිට නිතරම අලුත් පරම්පරාවේ මුහුණු දකින්න ලැබෙනවා. එහෙම ආවට රැඳිලා ඉන්නේ ටික කාලයයි. එනවා යනවා. හැබැයි අපි අවුරුදු 30ක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. හැබැයි අලුත් පරම්පරාවෙ බොහො අය වැඩි කාලයක් ඉන්නේ නැහැ. ඒ අතරේ බොහෝ දක්ෂයින් ඉන්නවා. මම කැමතියි මේ ක්ෂේත්‍රයේ දිගටම රැඳිලා ඉන්නවා නම්. අලුත් දක්ෂ පරම්පරාවක් ඉන්න ඕනේ. මම කියන්නේ රංගනය ගැන හැදෑරීමක් ඇතිව මේ තුළ නියැළෙන්න ඕනේ. අපිත් ඒ කාලේ කළා. ඒ කැපවීමත් කරනවා නම් හොඳයි.
දීර්ඝ කොටස් නාට්‍යවලට පෙනී ඉන්නෙ නැද්ද?
ඇත්තටම කොටස් 300 සහ 400 නාට්‍යය වලට නම් මම යන්නේ නැහැ. ඒකට හේතුව මට හිතෙනවා, අපි කරපු හොඳ දේවල් නැති වෙයි කියලා. ඒ මතකයන් ප්‍රේක්ෂකයින් අයින් කරයි කියලා හිතෙනවා. අදටත් එළියට ගියොත් අපි එදා කරපු චරිත ගැන කතාවෙනවා. කතා මුලදී ලස්සනට පටන් ගත්තට මැදට සහ අවසානයට යද්දී ලියන කෙනාටත් කතාවක් නැතිව යනවා. එකම දේ කැරකි කැරකි යනවා. එතකොට රඟපාන නළු නිළියන්ට එපා වෙනවා. ඒ නිසා හොඳ නිර්මාණයක් තුළින් ඉඳලා හිටලා හරි රසිකයින් අතරට එන්න තමයි මගේ කැමැත්ත.
අනාගත බලාපොරොත්තු මොනවාද?
මම කවදාවත් මේ ක්ෂේත්‍රයෙන් අයින් වෙන්නේ නැහැ. මට පුළුවන්තාක් කල් හොඳ නිර්මාණ ප්‍රේක්ෂකයින් අතරට අරගෙන එනවා. සහන් ලංකාවට ආවට පස්සේ අපි තව අලුත් නිර්මාණයක් කරන්න ලෑස්ති වෙනවා. ඒ හැර විශේෂ බලාපොරොත්තු කියලා දෙයක් නැහැ. හොඳ නිර්මාණ සමාජ ගත කරමින් හොඳින් ජිවත් වෙන්න තමයි උත්සහ කරන්නේ.