මේ දිනවල කතාබහ වෙන සිනමා නිර්මාණ අතරේ තියෙන නමක් තමයි ‘බොම්බයි මොටයි‘ කාටත් හුරු පුරුදු නමක් එක්ක සිනමාවට අලුත් අත්දැකීමක් අරගෙන එන්නේ ලලිත් රත්නායක. සිනමා නිර්මාණය නුදුරේම ප්‍රේක්ෂක ඔබට දැකගන්න ලැබෙන බවට තමයි ඉඟි පළවෙන්නේ. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ එහි චරිත මවන අය ගැනත් කතාබහට ලක් වෙනවා. ඔය අතරේ ‘බොම්බයි මොටයි‘ හරහා අලුත් මුහුණක් රිදී තිරයට එකතු වෙනවා. ඇය නමින් කෙනොලි සේනාරත්න. කවුද මේ කෙනොලි සේනාරත්න කියන්නේ මොනවද එයා මේ වෙද්දී කරන්නේ ඒ ගැන දැන ගන්න රසඳුන අපි කෙනොලිට කතා කළා.
මුලින්ම කෙනොලි ගැන විස්තර කළොත්
මගේ වයස අවුරුදු 18යි. උපන් ගම අවිස්සාවේල්ල. දැන් ඉන්නේ මහරහම. මගේ පවුලේ ඉන්නේ අම්මායි තාත්තයි අක්කයි නංගියි මමයි. මගේ පාසල නුගේගොඩ සුජාතා විද්‍යාලය.
කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ
පොඩි කාලේ ඉඳන්ම මම ආස කළේ නර්තන ශිල්පිනියක් වෙන එක. මම වයස අවුරුදු 5 දී තමයි නර්තනය හදාරන්න පටන් ගත්තේ. මුලින්ම උඩරට නර්තන සම්ප්‍රදාය තමයි හැදෑරුවේ චින්තක ජයසිංහ ගුරුතුමා යටතේ. මම ඉන්දියානු කතක් නර්තන සම්ප්‍රදාය හැදෑරුවා වෙරෝනිකා දසනායක ගුරුතුමිය යටතේ. ඒ වගේම මේ වෙද්දී කතක් නර්තනය විශාරද උපාධිය දක්වාම අවසන් කරලා තියෙන්නේ. නර්තනය නිසා මට දෙරණ ලිට්ස් ස්ටාර් තරගයේ තුන්වෙනි ස්ථානය ලබා ගන්නත් මට හැකියාව ලැබුණා. ඒ එක්කම ඉන්දියාවේ පැවැත්වුණා ජාත්‍යන්තර නර්තන තරගාවලියක්. ලෝකෙම රටවල්වල අය ආවා. ශ්‍රී ලංකාව නියෝජනය කළේ මම. එතැනදී කතක් නර්තනයෙන් ප්‍රථම ස්ථානය මම දිනා ගත්තා. දෙවන ස්ථානය හිමි වුණේ මැලේසියාව නියෝජනය කළ කෙනාට. මම මේ කලාවට එන්නේ නර්තනය ඔස්සේ.
බොම්බයි මොටයි කියන්නේ කෙනොලිගේ පළමු සිනමා නිර්මාණය ද?
ඔව්. මගේ පළමු සිනමා අත්දැකීම ලලිත් රත්නායකයන් අධ්‍යක්ෂණය කළ බොම්බයි මොටයි සිනමා නිර්මාණය.
බොම්බයි මොටයිහි ලැබුණු චරිතේ ගැන කෙටියෙන් කිව්වොත්?
මගේ චරිතයේ නම අක්ෂාරි. ඉහළ මධ්‍යම පාන්තික පවුලක එකම දියණිය. උසස් පෙළ හදාරලා ඉන්න කෙනෙක්. ඒ එක්කම අක්ෂාරි කියන්නේ සිංහල කතා කරන්න බැරි ගැනු ළමයෙක්. අම්මා තාත්තා එක්කත් ඉංග්‍රීසි බසින් කතා කරන චරිතයක්. මම ඒ චරිතේ ගැන අවබෝධය ලබා ගන්න පුරුදු පුහුණු වුණා. පිටපතේ ලියවිලා තිබ්බ සමහර තැන් මගේ ජීවිතේටත් සම්බන්ධයි. ඒ ලියවිලා තිබුණ සමහර තැන් මගේ සැබෑ ජීවිතෙත් තිබිලා තියෙනවා. අක්ෂාරි කියන්නේ පාරවත් තනියම මාරුවෙන්න බැරි කෙනෙක්. මම හරිම ආදරෙන් භාර ගත්තු ගොඩක් සතුටින් කරපු චරිතයක්.
මුල්ම සිනමා අත්දැකීම ජීවිතේට එකතු කර ගත්තේ කොහොමද?
නර්තන ශිල්පිනියක් විදියට යන ගමන අතරතුර මගේ ජීවිතේට එකතු වුණු ලොකු අත්දැකීමක් තමයි ‘බොම්බයි මොටයි‘ සිනමා නිර්මාණය. ‘බොම්බයි මොටයි‘ සිනමා නිර්මාණයට ලලිත් රත්නායක අන්කල්ගෙන් ලැබුණු ආරාධනාව මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් කියලා හිතෙනවා. රංගනය කියන්නේ හැදෑරිය යුතු දෙයක්. රංගනය ඔස්සේ මගේ ජීවිතේට සතුට එක්කම රංගන ශිල්පිනියක් වීමේ කැමැත්ත ඇති වුණා.
ප්‍රවීණයින් රැසක් එක්ක රඟපාන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
මගේ පළමු නිර්මාණය තුළදීම මම වාසනාවන්ත වුණා ප්‍රවීණයින් රැසක් එක්ක රඟපාන්න. මුලදී මගේ හිතේ චකිතයක් තිබුණා. නමුත් පළමු දිනයේ දර්ශනතලයට ගියාම හැමෝම මට හොඳ සහයෝගයක් දුන්නා. හැමෝම සහෝදරයින් වගේ එකට වැඩ කළා. විශේෂයෙන් සජිත අයියාගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා.
අමතක නොවන මතක ඇති?
අමතක නොවන මතක අතරේ මට මතක් වෙන්නේ එක දර්ශන තලයකදී කොළඹ නගරයක වීදියක මාව අතරමං කළා. එවලේ මම හොඳටම බය වෙලා හොඳටම ඇඬුවා. මම පුදුම විදියට බය වුණා. පස්සේ තමයි මම දන්නේ මේක චිත්‍රපටයේම කොටසක් කියලා. මම දන්නේ නැහැ ඒ වෙනකම් හැම සිද්ධියක්ම රූපගත කරලා කියන එකවත්. චිත්‍රපටයේ දර්ශනය අවසන් වුණාමත් මම අඬන එක නැවැත්තුවේ නැහැ. එදා ඒ ළඟ කඩයකින් සජිත අයියා ජූස් එකක් අරන් දුන්නා බොන්න කියලා. එතකොට තමයි මම අඬන එකත් නතර කළේ. ඒ වගේ අමතක නොවන මතක රැසක් තියෙන සුන්දර නිර්මාණයක්.
කෙනොලි තාම ඉගෙන ගන්න කෙනෙක් ද
ඔව්… මම උසස් පෙළ විභාගය සඳහා සුදානම් වෙන ගමන් ඉන්නේ.
කලාවට එද්දී ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?
මගේ අම්මා තාත්තා කලාවට පුදුම විදියට ආදරේ කරන අය. මගේ අත්තම්මාත් කලාවට සම්බන්ධයි. ඒ නිසා ගෙදරින් ලැබෙන සහයෝගය මට උපරිම ලැබෙනවා. අම්මා තාත්තාගේ ලොකු හීනයක් තමයි මම කලාවෙන් හොඳ දෙයක් කරන එක. ඒ හීනයත් මට ‘බොම්බයි මොටයි‘ සිනමා නිර්මාණය හරහා ඉටු කරන්න පුළුවන් වුණා.
දිගටම රඟපාන්නම ද කැමැත්ත?
එහෙමම නැහැ. මේ කාලේ වැඩි කාලය දීලා තියෙන්නේ උසස් පෙළ විභාගෙට. උසස් පෙළ හොඳින් සමත් වෙලා නර්තනය පැත්තෙන් උපාධිය දක්වා යන එක තමයි මගෙ බලාපොරොත්තුව. ඒ අතරතුර මට හොඳයි කියලා හිතෙන සිනමා නිර්මාණයක් ලැබුණොත් ඒකට මම අනිවාර්යෙන්ම රංගන දායකත්වය ලබා දෙනවා.
සිනමා රංගන ශිල්පිනියක් වෙන්න විතරද වැඩි කැමැත්ත තියෙන්නේ?
නර්තනය සහ සිනමාව කියන කලා මාධ්‍ය දෙකටම මම ආදරේ කරනවා. මුලින්ම නර්තනය පමණයි දැන් ‘බොම්බයි මොටයි‘ සිනමා නිර්මාණය එක්ක සිනමාවටත් ඒ වගේම ආදරෙයි.
අනාගත බලාපොරොත්තු මොනවද?
නර්තනය ගැන ගත්තම තව දේවල් හදාරමින් ඒ අංශයෙන් දැනුමෙන් පොහොසත් වෙන එක. ඒ එක්කම සිනමාවට මම ප්‍රවේශ වීමත් එක්ක අනාගතයේදීත් හොඳ රංගන ශිල්පිනියක් වෙන එකත් මගේ අනාගත බලාපොරොත්තු අතර තියෙනවා.<