ජහුටා ටෙලි නාට්‍යයේ වන්දනාගේ චරිතය මේ දිනවල කා අතරත් කතාබහට ලක්වන චරිතයක්. ඒ චරිතයට පණ පොවන ඇය දක්ෂ සුරූපී ජනප්‍රිය රංගන ශිල්පිනියක්. එදත් අදත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් ඇය මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ එක්කළා. ඇය නමින් දිනිති වල්ගමගේ.
මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල ජහුටා ටෙලි නාට්‍යයේ වැඩකටයුතු වගේම මගේ අලුත් චිත්‍රපටයේ හඬකැවීමේ කටයුතුත් කරගෙන යනවා. තව ටෙලි නාට්‍ය දෙකක වැඩ කටයුතුවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා.
ජහුටා හි වන්දනාගේ චරිතයට පණ පෙවීමේ අත්දැකීම මොනවගේද?
මම හිතන්නේ මම ඒ වගේ කැරැක්ටර් එකකට පණ පොවපු පළමුවැනි වතාව. ඒක සද්ධා අයියා මුලින්ම කියන කොට ඔය තරම් අමාරු වෙයි කියලා මම හිතුවේ නෑ. ඒ වගේම ඒක එතරම් වෙනස් චරිතයක් කියලා මම හිතුවෙත් නෑ. ඉදිරියට තමයි වන්දනාගේ චරිතය ගොඩාක් හැලහැප්පීම්වලට ලක් වෙන්නේ. ඉතින් හරි ලස්සන දුක හිතෙන කැරැක්ටර් එකක්. වෙලාවකට මටත් අනේ මේ වන්දනා හරි පව් කියලා හිතෙනවා. ජහුටා හරි ලස්සන ටෙලි නාට්‍යයක්. මම වන්දනා කියන එක පැත්තකින් තියලා මමත් ආශාවෙන් බලන ටෙලි නාට්‍යයක් තමයි ජහුටා කියන්නේ. මේ දවස්වල ජහුටා ෂූටින් දරුණුවටම කරගෙන යනවා. සද්ධා අයියා, සිවා අයියා මගේ මුල්ම ටෙලි නාට්‍යයේ ඉඳලා තවමත් මාත් එක්ක ඉන්නවා. ඔවුන් දෙදෙනා මේ ක්ෂේත්‍රයේ මගේ මවුපියන් වගේ. මාව පරිස්සම් කරගෙන ලස්සන ගමනක් යන්න ඒ දෙදෙනා තමයි මට උදව් වුණේ. ඉතින් ඒ අයත් එක්ක ඉදිරියටත් ගමන යන්න බලාපොරොත්තු වෙනවා.
වන්දනාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
පාරකදී දකින ප්‍රේක්ෂකයන්ගෙන් වගේම මගේ යහළුවන්ගෙන්, අපේ ක්ෂේත්‍රයේ දැවැන්තයන්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන්නේ ඒවා තමයි හරි ප්‍රතිචාර කියලා කියන්නේ. අපේ ක්ෂේත්‍රයේ දැවැන්තයන් එහෙම ඇත්තටම ලස්සනට කරනවා කියලා කියද්දි හරි ආශා හිතෙනවනෙ. මට ඒ වගේ ප්‍රතිචාර මේ දවස්වල ගොඩක් ලැබෙනවා. ඒක ගැන සතුටුයි. වෙනස් චරිතයක් ඔයා ලස්සනට වෙනස් විධියට කරලා තිබෙනවා කියන එකම මට ඇති.
මේ වෙද්දී ප්‍රේක්ෂකයන් බහුතරයක් ඔබේ රංගනය දවසෙන් දවස වැඩිදියුණු වන බව කියනවා?
ඔව්. බොහෝදෙනකු එහෙම කියනවා තමයි. දැන් ඉතින් මට කලින්ට වඩා වෙනස් විධියේ චරිත ගොඩක් ලැබෙනවා. මමත් වෙනස් විධියේ චරිත කරන්න ආසයි. ඒකාකාරී චරිතවලින් මිදිලා මට අභියෝගයක් වන චරිත බාරගන්න මම පෙලඹිලා තිබෙනවා. එහෙම අභියෝග වන චරිතයක් කළාම තමයි ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ. මටත් දැන් බොහෝදෙනකු මගේ රංගන කුසලතා ගොඩක් වැඩිදියුණු වෙලා කියලා කියනවා. මට ඉතින් හරි සතුටුයි.
ඔබේ රංගන කුසලතාවේ පරාසයට ගැළපෙන චරිතයක් තවමත් ලැබිලා නැහැ කියලා හිතෙනවාද?
මට ලැබෙන හැම චරිතයක්ම මේක තමයි හොඳම චරිතය කියලා හිතලා තමයි මම කරන්නේ. මම හිතන්නේ එහෙම චරිතයක් ලැබිලා නෑ කියලා කියන්න බෑ. මට ලැබෙන හැම චරිතයකම මොනවා හරි දෙයක් කරලා පෙන්වන්න මම උත්සාහ කරනවා.
ඔබ මේ දිනවල රංගනයට අමතරව වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසත් කටයුතු කරනවා නේද?
අපේ කිරි කහට වැඩසටහන ස්වර්ණවාහිනි නාළිකාවේ තමයි විකාශය වෙන්නේ. මමයි මගේ ස්වාමිපුරුෂයයි තමයි එහි ප්‍රසන්ට් කරන්නේ. ඉතින් අපේම සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන් තමයි එතැනට එන්නේ. හරි ලස්සන වැඩසටහනක්. ඉතින් එහි තිබෙන්නේ ආදරේම විතරයි. විවාහ වුණු යුවළක් තමයි අපි ඒ වැඩසටහනට ගෙන්වන්නේ. ඔවුන්ගෙන් අපේ ජීවිතේට ගන්න තිබෙන දේවල්, අතීත මතකයන් ගැන තමයි කතා කරන්නේ. වැඩසටහන අවසානයේ ඔවුනුත් පිටව යන්නේ අපේ ආදරේ නැවතත් අලුත් වුණා කියලා තමයි. ඒ වගේ ලස්සන වැඩසටහනකට සහභාගි වෙන්න ලැබීම ගැනත් මට සතුටුයි.
ඔබ ගුවන් සේවිකා රැකියාව අත්හැර අද වන විට ලබාගත් දේවල් ගැන තෘප්තිමත්ද?
මම අවුරුදු අටක් ගුවන් සේවිකාවක් විධියට වැඩ කළා. ඉතින් ලෝකයෙන් බාගයකම වගේ රටවල්වලට මම ගිහින් තිබෙනවා. සෑහෙන පිරිසක් සමඟ මම වැඩ කරලා තිබෙනවා. අද දිනිති වල්ගමගේ කෙනෙක් මෙතැන ඉන්නවා නම් ඇත්තටම මාව හැඩ කරන්න උදව් වුණේ ශ්‍රී ලංකන් එයාර් ලයින්. අවුරුදු 8ක් කියන්නේ ලොකු කාලයක් නිසා රැකියාවකට තවත් කොටුවෙලා හිටියොත් මගේ ජීවිතේ මට විඳින්න තිබෙන කාලය අඩු වෙයි කියලා හිතුණා. ඒ නිසා මම ඒ රැකියාවට සමුදීලා මගේ පවුලේ වැඩකටයුතු බලාගෙන ඉන්නවා. මම ආශා කරන රැකියාවක් තමයි මම දැන් කරන්නේ. මම දැන් මට ඕනෑ විධියට මගේ ජීවිතේ ගෙවනවා.
ඉදිරියේදී තිරගත වීමට නියමිත සරා සුසුම් චිත්‍රපටය ගැනත් කතා කරමු?
”සරා සුසුම්”, ”මැසෙන්ජර්” වගේ චිත්‍රපට තුනක් මේ වෙද්දී ෂූට් කරලා ඉවරයි. ”සරා සුසුම්” මට වෙනස්ම අත්දැකීමක්. ඒ චරිතය ගැන කියනවාට වඩා ඒක බලන්න කියලා තමයි කියන්න තිබෙන්නේ. හරිම ලස්සන චිත්‍රපටයක්. ඒක ලංකාවටත් වෙනස්ම අත්දැකීමක් වෙයි කියල මට හිතෙනවා. ඒ වගේම ”මැසෙන්ජර්” චිත්‍රපටයෙනුත් අපි පණිවුඩයක් ලබා දෙන්න උත්සාහ කළේ. ඉතින් හරිම ලස්සන දෙවිධියක චිත්‍රපට දෙකක්. ඒ දෙකම රිලීස් වෙනකල් ආශාවෙන් බලාගෙන ඉන්නවා.
සමාජ මාධ්‍යය ඇතුළේ බොහෝ වෙලාවට ඔබව මාතෘකාවක් බවට පත් වෙනවා. ඒ ගැන මොන වගේ ආකල්පයක්ද තිබෙන්නේ?
ඒ ගැන නම් පිළිතුරු දෙන්න මට තේරෙන්නේ නෑ. මම ගොඩක් වෙලාවට ඉන්නේ මගේ රාමුවක් තුළ. එයින් පිටත වෙන දේවල් මම අදාළ කර ගන්නේ නෑ. මගේ වටේ මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. ඒ අය හැම වෙලාවෙම මාව ආරක්ෂා කරනවා. ඒ වළල්ල මගේ වටේ තිබෙනකල් මම ඇත්තටම සතුටෙන් ඉන්නේ.
ඔබ එදත් අදත් නිහතමානී, කෙළින් කතා කරන චරිතයක් විධියට ප්‍රේක්ෂකයන් ආදරය කරනවා?
ඇත්තටම මට හංගගෙන කතා කරන්න තේරෙන්නේ නෑ. මට ඒ වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන ඒ වෙලාවෙම අහනවා. මම අනෙක් අයට උදව් කරන්න ගිහින් සෑහෙන්න බැනුම් අහලා තිබෙනවා. දැන් නම් හොයාගෙන ගිහින් උදව් කරනවා අඩුයි. මම ඉස්සර ඉඳන්ම ඉතින් නිහතමානියි. හැමවෙලේම මම පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්. මට ඕනෑ තැනක ගිහින් ඕනෑ විධියකට ඉන්න පුළුවන්. ඒ විධියට අපේ අම්මා තාත්තා මාව හදලා තිබෙනවා. අද මේ හැමදේම නැති වුණත් හෙට අලුතෙන් මට හැමදේම පටන් ගන්න පුළුවන්. ඒ ශක්තිය මට තිබෙන නිසා බය වෙන්න දෙයක් නෑ.
ඔබේ සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැනත් කතා කරමු?
ඇත්තටම ඔහු හැමදේකදීම මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මගේ ඕනෑම දෙයකට ඔහු ඉන්නවා. ඔහු හරි සුන්දර චරිතයක්. මට ඒ ඇති.
ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැනත් මතක් කරමු?
තව ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙන්න තිබෙනවා. ඒ දෙක ෂූට් කරලා තිබෙන්නේ. ස්වාධීන රූපවාහිනි නාළිකාවෙන් ඉදිරියේදී පහේ ළමයි ටෙලි නාට්‍යය මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන්. ඒ වැඩකටයුතු තමයි තිබෙන්නේ.