
ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කීවත් ඔහු එසේ වූයේ නැත. කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ සිංහල සහ ඉංග්‍රීසි විවාද කණ්ඩායම්වල චතුර කථිකයකු වූ ඔහු එම පාසලේ බොක්සිං ක්‍රීඩකයෙක්ද වූයේ ය. කැඩෙට් බළකායේ සාමාජිකයකු සහ ක්‍රීඩකයකුද වූ ඔහු මීටර් 200 දුර දිවීමේ ඉසව්වෙන්ද පැනීම් ඉසව්වලින්ද ජයග්‍රහණ රැසක් පාසලට අත්කර දුන්නේය. එසේම ඔහු දක්ෂ කෙටිකතා රචකයෙකි. පාසලේ සාහිත්‍ය සංගම්වල නිලතලද දැරුවේය. ඒ මොන දේ කළත් ඉගෙනීම් කටයුතුවලදී ද දස්කම් පාමින් පන්තියේ පළමුවැනියා, දෙවැනියා වූයෙන් ගුරුවරුන්ගේද නොමඳ ආදරය ඔහුට හිමි විය.
‘හුනුවටයේ කතාවෙන්’ ආරම්භ කර, වේදිකා නාට්‍ය ගණනාවකද ‘අක්කර පහ’, ‘යුගාන්තය’, ‘විරාගය’, ‘රෝමියේ ජුලියට්’ ඇතුළු චිත්‍රපට රැසකටද ‘අකුරු මැකී නෑ’, ‘දේදුනු සිහින’, ‘ගඟ අද්දර’, ‘ඉන්ද්‍රඛීලය’ ආදි ටෙලි නාට්‍ය බොහෝමයකටද ඔහු රංගනයෙන් දායක වී ඇත. අධ්‍යක්ෂණයට ඔහු යොමු වන්නේ ‘රන්මසු උයන’, ‘සසර චක්‍ර’ සහ ‘දිය යට ගිනි’ නාට්‍යවල පිටපත්ද ඔහු විසින්ම රචනා කරගනිමිනි. මේ, ඩග්ලස් රණසිංහයන්ගේ කතාවයි:
“මම කුරුණෑගල, තෝරවතුර ගමේ පාසලට ගිහින් එකේ පන්තියේ ඉඳලා කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට ගියා. අපේ පවුලේ වැඩිමහල්ම අක්කා මල්කාන්ති ගුණරත්න. එයා නවකතා පොත් බොහෝ ප්‍රමාණයක් ලියලා සම්මාන පවා හිමි කරගෙන තියෙනවා. ලොකු අක්කා විවාහ වුණේ මරදාන රත්න පොත් ප්‍රකාශන සමාගමේ හිමිකරු වන එල්.ඒ. ගුණරත්න සමඟයි. එයාගේ දුව කුමාරි ගුණරත්න අධිනීතිඥවරියක් වුණත් එයාත් හරියට පොත් ලියනවා. රාජ්‍ය සාහිත්‍ය සම්මානත් දිනාගෙන තිබෙනවා. කුමාරි දුව පරිවර්තනය කළ ‘ආලෝකයෙන් පරිණාමය වූවෝ’ පොත මම මේ දවස්වල කියවමින් ඉන්නවා. දෙවැනි අක්කා රූපා ඉංග්‍රීසි ගුරුවරියක් වුණා. තුන් වැනි අක්කා ප්‍රේමා නිවාස අධිකාරියට සම්බන්ධ වුණා. මම හතරවැනියා. පස් වැනියා වූ ලයනල් අයියා වැවිලිකරුවෙක් වුණා. හය වැනියා චන්ද්‍රා වරාය අධිකාරියේ සේවය කළා. තිලකා රණසිංහ නම් වූ රංගන ශිල්පිනිය සහ නිවේදිකාව පවුලේ හත්වැනියා නැත්නම් බාලයායි. තිලකා රණසිංහගේ පුතා සාරංග දිසාසේකරයි.
“මගේ තාත්තාත් බොහෝ හැකියාවන් තිබුණු කෙනෙක් වගේම ඉතා උස ලස්සන පෙනුමකුත් තිබුණා. තාත්තාගේ කැමැත්තක් තිබුණේ මම නීතිඥවරයෙක් වෙනවා දකින්නයි. ඒ ආසාව ඉටු කරමින් මම නීති විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ අතර උප පොලිස් පරීක්ෂක තනතුරට ඉල්ලුම් කළා. ඒකට නම් ගෙදරින් කැමැත්තක් තිබුණේ නැහැ. සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියාට පස්සේ, ටික දවසකින් මට ඒකේ ප්‍රතිඵල නිකුත් වෙලා කියලා ආරංචි වුණා. ලංකා ගමනාගමන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වගේම මගේ ඥාතියකු වුණු පීටර් අමරසිංහ එක්ක කොළඹ ඇවිත් එම ලංගම කාර්යාලයේ රාජ්‍ය නිලධාරියකු ලෙස එවකට රාජකාරි කරමින් සිටි නාට්‍ය රචක සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් මුණගැසුණා. එතුමාගේ අයියා ඒ දවස්වල රජයේ ප්‍රබලම ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම් හැටියට කටයුතු කළා. පොලීසිය සම්බන්ධ වගකීම් භාරව සිටියේත් ඒ ඇමැතිවරයායි. ඔහු පසුව ලංකාවේ ජනාධිපතිවරයකු බවටත් පත් වුණා. කොහොම හරි මේ හැඳුනුම්කම් ඔස්සේ ගිහින් කතා කළාම සම්මුඛ පරීක්ෂණයෙන් මම හය වැනියාට තේරී සිටින බව දැනගත්තා.
“සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් මට ඒ උදවුව කරලා දීලා, මගෙනුත් උදවුවක් ඉල්ලුවා. ඔහු මගෙන් ඇහුවා නාට්‍යයක රඟපාන්න කැමැතිද කියලා. මම කිවුවා ඉස්කෝලෙදිත් මම රඟපාලා තියෙනවා, කැමැතියි කියලා. ඒ වෙලාවේම ඔහු හෙන්රි ජයසේනයන්ට මං ගැන හැඳින්වීමක් සහිත ලිපියක් සමඟ ඔහු ළඟ තිබුණු ‘හුනුවටයේ කතාව’ පිටපත මට දීලා, හෙන්රි ජයසේනයන් ගිහින් හමු වෙන්න කිවුවා. මම ගිහින් හමු වුණා. ලියුම බලලා හෙන්රි ජයසේනයන් මට පොඩි කොටසක් රඟපාන්න කිවුවා. ‘හුනුවටයේ කතාව’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිත අතර එකක් වුණු කෝප්‍රල් බවට මම පත් වුණා. ඒ චරිතය පසුව බොහොම ජනප්‍රිය වුණා. නාට්‍ය රට පුරා වේදිකාගත වුණා. යාපනයේත් වේදිකාගත කළා. යාපනයේ වේදිකාගත කළ මුල්ම සිංහල වේදිකා නාට්‍ය හෙන්රි ජයසේනයන්ගේ ‘හුනුවටයේ කතාව’ යි. යාපනයේදී කන්න ලැබුණු පැණි වරකා තරම් රස පැණි වරකා මම කොහේදිවත් කාලා නැහැ.
“ලංකාවේ සතර දෙසින්ම මට ප්‍රේක්ෂක ආදරය දැනෙන්න පටන් ගත්තා. උප පොලිස් පරීක්ෂක තනතුරට වඩා මට කෝප්‍රල් චරිතයට ආසා හිතුණා. දවසක් ඒ නාට්‍යයේම ප්‍රධාන චරිතයක් රඟපෑ විජේරත්න වරකාගොඩ මහත්මයා මට කිව්වා ‘මල්ලි, මාත් පොලීසියේ නිලධාරියකු නිසාය මේ කියන්නේ. ඔයාට පොලීසිය ගැළපෙන්නෙත් නෑ, පොලීසියට ඔයාව ගැළපෙන්නෙත් නැහැ’ කියලා. ඒ කතාව ඇත්තම ඇත්ත නේද කියලා මගේ හිතට තදින්ම දැනුණා. හෙන්රි ජයසේනයන්ගේම ‘අපට පුතේ මඟක් නැතේ’ නාට්‍යයේත් ප්‍රධාන චරිතය මම රඟපෑවා. ‘ජනේලය’, ‘කුවේණි’, සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගෙ ‘හොටබරි යුද්ධය’ සහ තවත් නාට්‍ය ගණනාවක රඟපෑවා. දවසක් ‘හුනුවටයේ කතාව’ නරඹන්න ආව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාව හමු වෙලා කිවුවා ඇවිත් ඔහු මුණගැහෙන්න කියලා. මම පහුවදාම ඔහු හමු වන්න ගියා. ඔහුගේ ‘අක්කර පහ’ චිත්‍රපටයේ ‘සමරේ’ බවට පත් වුණේ එහෙමයි. ‘අපට පුතේ මඟක් නැතේ’ නාට්‍යය බලන්න ආව ඩී.ජී.එල්. පෙරේරා මගේ හැකියාවන් දැකලා ‘රෝමියෝ ජුලියට්’ චිත්‍රපටයේ රෝමියෝගේ චරිතයට මට කතා කළා. ඒ චරිතයටත් මට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. මං ගැන ලියවුණු පොතට නම දැම්මේත් ‘හෙළ සිනමාවේ රෝමියෝ’ කියලයි.”
‘යුද්දෙට මං ගියා
ගෑනි ගෙදර තියා
මගෙ යාළුවො
මං එන තුරු
උන්දැ බලාගයි නිරතුරු…’
හුනුවටයේ කතාවේ සොල්දාදුවාගේ ගීතය අතිශයින් ම ජනප්‍රිය වූ අතර, ඒ ගීය ගයමින් රඟපෑ ‘කෝප්‍රල්’ නැත හොත් ඩග්ලස් රණසිංහටද එයින් ලැබුණේ ඉමහත් ප්‍රසාදයකි.
ශ්‍රී ලංකාවේ චිත්‍රපටවල රඟපාමින් සිටින අතරතුර ජර්මන් ජාතික පෝල් සිල්ස් ලංකාවට පැමිණ අධ්‍යක්ෂණය කළ ‘භාවනා’ කෙටි චිත්‍රපටයේ රඟපාන්නට ඩග්ලස්ට අවස්ථාවක් ලැබුණි. එයින් බර්ලින් චිත්‍රපට උලෙළට ඇතුළත් වීමට 1970/ 1971 වසරවලදී ඔහු වරම් ලද අතර ඒ අනුව ලන්ඩන් චිත්‍රපට නිර්මාණ පාසලට ඇතුළත්ව වසර තුනක පාඨමාලාවක් හැදෑරීමට ද වාසනාව ලැබුවේ ය. ‘ලන්ඩන් තියටර්’ හි නාට්‍ය හදාරමින් නාට්‍යවල රඟපෑමටත් ඔහුට වරම් ලැබිණි. ‘මෝලි කොලේජ්’ වෙතින් ටෙලි නිර්මාණකරණයද ඔහු හැදෑරුවේය. ‘ඩාන්සින් ඩෙවිල්ස්’ චිත්‍රපටයේ තිර පිටපතද ඔහු එහිදී ලිවුවේය. පීටර් පොටර් නම් නාට්‍ය අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක් වූ ශේක්ස්පියර්ගේ ‘ටේමිං ඔෆ් ද ෂ්රූ’ නාට්‍යයකද ඔහු රඟපෑවේය. නාට්‍ය පාඨමාලාවක් අවසානයේ ඇන්ටන් චෙකෝව්ගේ ‘ද වෙඩින්’ නමින් කළ නාට්‍යයේ ඩග්ලස්ගේ රඟපෑම් දුටු එරට අධ්‍යක්ෂවරුන් තව මාස හයක් ලන්ඩනයේ රැඳෙන්නැයි ඉල්ලා සිටියදීත් සියලු වරප්‍රසාද අතහැර ඔහු මවුබිමට පැමිණියේය.
“ඇත්ත වශයෙන්ම මම ජීවිතයේ කළ ලොකුම මෝඩකම එයයි. ඒත් මම ඒ වෙලාවේ කල්පනා කළේ මම එංගලන්තයට ගියේ පෝල් සිල්ස් ලංකාවේ ආරම්භ කිරීමට සූදානම්ව සිටි චිත්‍රපට සහ නාට්‍ය පාසලට සම්බන්ධ වීම සඳහා අවශ්‍ය පුහුණුව ලබා ගැනීම සඳහා යි. මම ලංකාවට එද්දි පෝල් සිල්ස් අසනීප තත්ත්වයක් මත ඔහුගේ රටට ගිහින් තිබුණා. ඔහු වැඩි කල් නොගොස් මියගියා. පෝල් සිල්ස්ගේ ‘භාවනා’ චිත්‍රපටයෙන් තමයි රූපවාහිනිය නිල වශයෙන් විකාශ කටයුතු ආරම්භ කළේ. පෝල් සිල්ස් බාලි දිවයිනට යන්න හදපු වෙලාවේ ගරු පුරවැසි බව දීලා ඔහු අපේ රටේ නතර කරගත්තේ ඔහුගේ වටිනකම ලංකාවට දැනුණු නිසයි. ඔහු තමන්ගේ පෞද්ගලික මුදලින් සංස්කරණ පද්ධති ලංකාවට ගෙනල්ලා රජයේ චිත්‍රපට අංශය වැඩිදියුණු කළා. ‘භාවනා’ චිත්‍රපටය නිර්මාණය කළේත් රජයේ චිත්‍රපට අංශයෙනුයි. මම ලංකාවට එද්දි ඔහු ලංකාවෙන් ගිය බව සහ ටික දවසකින් ඔහු මියගිය බව දැනගැනීමත් එක්ක මගේ මුළු ජීවිතයම කඩාවැටුණා. ටික කාලයක් පසුතැවෙමින් ඉඳලා මම නැවතත් ගුවන්විදුලියට සම්බන්ධ වුණා. සුගතපාල ද සිල්වාගේ ‘ගුවන්විදුලි රඟමඬල’, ‘කෙටි කතා’ වැඩසටහන්වල හඬ නළුවකු හැටියටත්, ගුවන්විදුලි ශබ්ද පරිපාලකවරයකු හැටියටත් මා කටයුතු කළා. එංගලන්තයට යන්න කලිනුත් මම ගුවන්විදුලියේ නිවේදකයකු හැටියට කටයුතු කර තිබුණා. වසර අටක් පමණ ලංකාවෙන් ඉවත් වෙලා ඉඳලා නැවත ආවාම මගේම ක්ෂේත්‍රයේ අයගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබුණෙ නැහැ. මාත් එක්ක වැඩ කරන්න බෑ කියලා කතාවකුත් පතුරවලා තිබුණු නිසා සමහරු මාව වැඩවලට ගන්න කැමැති වුණේ නැහැ. එහෙත් එච්.ඩී. ප්‍රේමරත්නයන්ගේ චිත්‍රපටයකට මාව ගන්න ඕනෑ වුණු වෙලාවෙදිත් මං ගැන කතාව ඉස්මතු වෙලා තිබුණා. මම එච්.ඩී. ප්‍රේමරත්නයන්ට කතා කරලා කිවුවා පොඩි අවදානමක් අරගෙන මාත් එක්‌ක එක වැඩක් කරලා බලන්න කියලා. ඔහු එකඟ වුණා. ඔහුගේ ‘කුලගෙය’ චිත්‍රපටයේ මා මුලින්ම රඟපෑවා. ඔහුගේ අවසාන චිත්‍රපටය වුණ ‘උඩුසුළඟ’ චිත්‍රපටයේත් මා රඟපෑවා. එච්.ඩී. ප්‍රේමරත්නයන්ගේ චිත්‍රපට අතරින් මට රඟපාන්න බැරි වුණේ ‘පාලම යට’ චිත්‍රපටයේ විතරයි.”
මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය, පෝය නාට්‍ය කිහිපයකද ඩග්ලස් රණසිංහයන්ගේ රඟපෑම් දැකගත හැකිය. අවසන් වරට ඩග්ලස් රණසිංහ වේදිකාවට ගොඩ වූයේ නෙළුම් පොකුණ රඟහලේ පැවති නවරත්න ගමගේ නිර්මාණය කළ ‘පනාමුර කුංචනාද’ සංගීතමය ප්‍රසංගයේ ගායනයකටය. වැඩිමහල් සොහොයුරිය මල්කාන්ති ගුණරත්න ලියූ ‘ලේ සහිත කිණිස්ස’ නවකතාව ඇසුරෙන් ඩග්ලස් රචනා කර අධ්‍යක්ෂණය කළ ‘සසර චක්‍ර’ ටෙලි නාට්‍යයට මෙන්ම ඩග්ලස්ම ලියා අධ්‍යක්ෂණය කළ ‘දිය යට ගිනි’ ටෙලි නාට්‍යයටත් කුඩා කල රංගනයෙන් දායක වුණු ඔහුගේ පුත් ශ්‍රී බෝධී ඉන්ද්‍රඛීල තොරතුරු තාක්ෂණ ඉංජිනේරු උපාධි කටයුතුවල මේ දිනවල නිරත වෙමින් සිටී.
ඩග්ලස්ගේ සෙවණැල්ල සන්ධ්‍යා කුමාරි සැමියාටත්, පුතාටත් ජීවන රැකවරණය සලසමින් සෙනෙහස් කැදැල්ල ආලෝකවත් කරන්නීය.
