හැමෝම උපතින් ගේන දක්ෂතාවන් තියෙනවා -රොෂාන් රණවන

gossiplanka image 2
 


කලාව ජීවිතය කරගනිමින් ශ්‍රී ලාංකීය සිනමා ලෝකයට තම විවිධාකාර රංගන හැකියාවන් සමග අසමසම දායකත්වයක් ලබාදුන් ඔහු මේ දිනවල කිරගත වන ‘සිහින සරුංගල්’ මගින් නැවතත් සිනමා ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණ සිටී. ළමා පරපුරේ දක්ෂතා, මනෝභාව සහ අගය ගැන අවධානය යොමුකරන මෙම චිත්‍රපටය සමගාමීව, ඔහුගේ අලුත් නිර්මාණ, රසිකයන්ගේ ප්‍රතිචාර ගැන කියන්න රොෂාන් රණවන හාට් එකට ගොඩවැදුණේ මේ විදියට.


මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දිනවල අලුත් චිත්‍රපටයක රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා වැඩකටයුතු සිදුකරනවා. ඒක ආදර කතාවක්. ඔක්තෝබර් 01 වැනිදා සිට එහි රූගත කිරීම් ආරම්භ වුණා.

සිහින සරුංගල් චිත්‍රපටයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?

මෙහි අධ්‍යක්ෂවරයා වන තාරක අධිකාරිව මා හඳුනන්නේ වේශ නිරූපණ ශිල්පියෙක් ලෙස බොහෝ කලෙක සිට. ඔහු මා සමග බොහෝ චිත්‍රපටවල වැඩ කරලා තියෙනවා. ඔහුගේ කුලුඳුල් නිර්මාණයට දායක වන ලෙස ලැබුණු ආරාධනාවත් සමග සිහින සරුංගල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබුණා.

සිනමා ජීවිතයේ බොහෝ අවස්ථාවල ප්‍රේමවන්තයාගේ චරිත රඟපෑ ඔබ මෙවැනි වෙනස් චරිතයක් තෝරාගන්නේ ඇයි?

මෙය නොවෙයි මගේ වෙනස් චරිතයක් රඟපෑ පළමු චිත්‍රපටය. ඉදිරියට තවත් වෙනස් චරිත සමග චිත්‍රපට තිරගත වීමට නියමිතයි. ළමයින් වෙනුවෙන්ම නිර්මාණය වන චිත්‍රපට ඉතාම අඩුයි. මමත් පියෙක්. මටත් පුතෙක් ඉන්නවා. මේ චිත්‍රපටයෙන් හොඳ පණිවුඩයක් සමාජයට ලබාදෙනවා. එවැනි හොඳ නිර්මාණයකට දායක වීම ගැටලුවක් නොමැති නිසාත් තාරකගේ ආරාධනාවත් සමග මේ චරිතයට සම්බන්ධ වුණා.

ළමා නළු නිළියන් සමග වැඩ කිරීමේ අත්දැකීම කොහොමද?

2008 තිරගත වූ රෝස කැලේ චිත්‍රපටය මගේ පළමු ළමා චිත්‍රපටයයි. ඒ චිත්‍රපටයේ ළමුන් 30ක් 40ක් සමග වැඩ කළා. එය මට තාමත් සුන්දර මතක අත්දැකීමක්. ළමයි හරි අහිංසකයි. එයාලගේ හිතේ කිසි දෙයක් නෑ. හරිම විවෘත මනසකින් ඉන්න පිරිසක්. ඒ කාලයේ රෝස කැලේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ ලොකු උනන්දුවකින්. නමුත් සිහින සරුංගල් චිත්‍රපටයේ දරුවන් සමග සම්බන්ධ වෙන්න එතරම් අවස්ථාවක් ලැබුණේ නෑ.

ඔබේ රසිකයන්ගෙන් මේ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ චිත්‍රපටය එක යදමිැමෙකක වෙලා තිබුණා. පාසල් ළමුන් විශාල පිරිසක් මේ චිත්‍රපටය නරඹනවා. කුඩා දරුවන්ගෙන් මෙන්ම වැඩිහිටියන්ගෙන්ද හොඳ ප්‍රතිචාර රැසක්ම ලැබුණා.

සිහින සරුංගල් චිත්‍රපටය තුළින් ළමා පරපුරට දෙන පණිවුඩය මොකක්ද?

දරුවෝ කියන්නේ එකිනෙකාට වෙනස් විශේෂ දක්ෂතා රැසක් තියෙන පිරිසක්. අපි හැමවෙලේම අපේ දරුවාව අනිත් දරුවන් සමග සංසන්දනය කරලා තවත් දරුවෙක් කරන දෙයක් අපේ දරුවටත් කරන්න කියනවා. නමුත් ඒක වැරදි ක්‍රියාවක්. හැම දරුවෙක්ම උපතින් රැගෙන එන දක්ෂතාවයක් තියෙනවා. අපි ඒක ඔපමට්ටම් කරලා දියුණු කරගන්න දරුවන්ට උදව් කරන්න ඕනේ. මේ චිත්‍රපටයෙනුත් එවැනි පණිවුඩයක් සමාජයට ලබා දෙනවා.

ඔබ නිර්මාණ ලබා ගැනීමේදී තෝරාගැනීමක් සිදු කරනවාද?

අනිවාර්යයෙන්ම. හැම චිත්‍රපටයක්ම භාරගන්නේ නෑ ප්‍රතික්ෂේප කරපු චිත්‍රපටත් බොහොමයක් තියෙනවා. නමුත් තෝරගෙන කරන්න හොඳ දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කරනවා. මගේ රඟපෑම් කටයුතු දියුණු කරගත හැකි නිර්මාණ ලැබෙනවා නම් තමයි නිර්මාණ භාරගන්නේ.

ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මගෙ පවුල, මගේ බිරිඳ ලොකු සහයෝගයක් ලබා දෙනවා. මගේ නිර්මාණ තෝරාගැනීමේදී පවා ඇතැම් නිර්මාණ තෝරා ගන්නවාද නැද්ද හිතන අවස්ථාවල ඇය හොඳ නිර්මාණ තෝරා දෙන අවස්ථා තියෙනවා.

ඔබගේ ඉදිරි වැඩකටයුතු කොහොමද?

ඉදිරියේදී අලුත් චිත්‍රපට හයක් තිරගතවීමට නියමිතයි. මේ දිනවල ඒ වගේ රූගත කිරීම් සිදුවෙමින් පවතිනවා. ඇතැම් චිත්‍රපට රූගත කොට අවසන්. ඒ වගේම ටෙලි නාට්‍යයද ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.

gossiplanka image 1
Previous Post Next Post