මගේ නම කියනකොට ඒක හීනයක් වගේ දැනුණේ -නෙත්මි රොෂෙල්

gossiplanka image 2
 


නෙත්මි රොෂෙල් කියන්නේ අපේ කලා ක්ෂේත්‍රය තුළ දැකගන්න ලැබෙන්න දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක්. අවුරුදු කුමරියක් ලෙස ක්ෂේත්‍රයට පිවිස පුංචි තිරයේ ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබන නෙත්මි මෙවර 10වැනි දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනාගන්නට වාසනාවන්ත වුණා. ඒ හැඟීම සතුටු කඳුළු වෙලා ගියේ මේ ආකාරයට.




 ‘‘ඇත්තටම ජනප්‍රියම සිනමා නිළිය ලෙස මගේ නම කියවෙද්දී හරියට මට දැනුණේ හීනයක් වගේ. ලොකු සතුටක් හිතට ආවා. මොකද ජනප්‍රියම සිනමා නිළියන් අතරේ මගේ නමත් තිබ්බා. නමුත් මම බලාපොරොත්තු නොවුණු අවස්ථාවක්. මින් පෙරත් ජනප්‍රියම නිළියට හිමි සම්මානයට මම නිර්දේශ වෙලා තියෙනවා. මගේ මුල්ම සිනමා නිර්මාණය වූ වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ ආදරණීය ප්‍රාර්ථනා සිනමා නිර්මාණය නිසා. ඒ කියන්නේ 2022 ඉඳන් මම ජනප්‍රිය නිළියට නිර්දේශ වෙලා තියෙනවා. මම වාසනාවන්ත වෙනවා මේ ක්ෂේත්‍රයට ආව මුල් කාලයේම සිනමා ක්ෂේත්‍රයට එන්න ලැබීම ගැන. මෙවර සම්මාන උළෙලේ මම රඟපෑ කම්බිලි සිනමා නිර්මාණය තමයි තිබුණේ. කම්බිලි මගේ චරිතය වුණේ සමාධි. ගොඩක් ආසාවෙන් ආදරෙන් කරපු චරිතයක්. මට සමාධි වෙන්න ආරාධනා කළේ කම්බිලි හි අධ්‍යක්ෂ ප්‍රසාද් කළුපහන අයියාමයි. තිරපිටපත ලියලා තිබ්බේ නිදුක් අයියා. බිමල් අයියා සුජානි අක්කා අමිල අයියා වැනි ප්‍රවීණයන් රැසක් එක්ක වැඩ කරන්න ලැබුණු ලස්සන නිර්මාණයක්. මේ වෙද්දී මම රඟපෑ නිර්මාණ අතරේ තිරගත වෙලා තියෙන්නේ ආදරණීය ප්‍රාර්ථනා සහ කම්බිලි පමණයි. ඉදිරියට එන්න තියෙනවා රන්ජන් ප්‍රසන්නගේ සුපෙම් සුළඟක්. සාරංග මෙන්ඩිස්ගේ කල්පනා සහ ක්‍රිෂාන්ත මනම්පේරිගේ නේත්‍ර මායම්.




 හීනෙකින්වත් නිළියක් වෙන්න ප්‍රාර්ථනා නොකරපු ඇය අද අත්කරගෙන තිබෙන ජනප්‍රියත්වය හා පිළිගැනීම ගැන තිබෙන්නේ පුදුමාකාර සතුටක්.




 මම නිළියක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. හැබැයි අවුරුදු කුමරියක් වෙන්න ආස කළා. එදා මගේ තාත්තා මට වාරණයක් දාලා තමයි අවුරුදු කුමාරි තරගයට එන්න දුන්නේ. ඒ තමයි රඟපාන්න යන්න බැහැ කියලා. අවුරුදු කුමරිය වුණොත් රංගනයට ඇරයුම් එන බව තාත්තා දන්නා නිසා තමයි මට එහෙම වාරණයක් දැම්මේ. තාත්තා කිව්වේ ඔයා උපාධිය ඉවර කරගන්න ඕනේ ඒ දේවල් මග හැර ගන්න එපා කියලා. කොහොමහරි මම අවුරුදු කුමරිය වුණා. ඊට පහුවදාම මට රූපවාහිනී ආයුබෝවන් වැඩසටහනට ඇරයුම් ලැබුණා. ඒ වැඩසටහන දී තමයි මට මුල්ම ඇරයුම එන්නේ. අරුණ ජයවර්ධන අයියා අධ්‍යක්ෂණය කළ සක්කාරන් නාට්‍යයට. මුලින්ම මට කතා කළේ අංජලි බුධවත්ත අක්කා. එයා කතා කරලා කිව්වේ එයාගේ හස්බන්ඩ්ගේ අලුත් වැඩකට දුවෙක් හොයනවා. නටන්න පුළුවන් ලස්සන කොණ්ඩයක් තියෙන දුවෙක් හොයන්නේ කියලා. ඒ චරිතය ගැනත් කිව්වම මට ආස හිතුණා. ඒ වෙද්දී තාත්තා රංගනය තහනම් කරලා තියෙන නිසා මම අංජලි අක්කට කිව්වා තාත්තා කැමැති නැහැ කියලා. එයා එතකොට ඇහුවා තාත්තට කතා කරන්න ද කියලා. මම හා කිව්වා. අක්කා තාත්තට කතා කරපු විදිය හෝ ඒ චරිතය ගැන කිව්වම ඇතිවුණු පැහැදීම නිසා හෝ තාත්තා මට අවසර දුන්නා. ඒ පටන් ගත්ත ගමන තමයි අද වෙනකම් මේ යන්නේ. තාත්තා මගේ හැම තැනකම මා පිටුපස හිටියා. මගේ ශක්තිය මගේ අම්මා තාත්තා ඇතුළු මගේ පවුලේ අය. අද වැඩිපුරම සතුටු වෙන්නේ මගේ පවුලේ අය. මම සම්මාන ලැබුව ගමන් එකේ ෆොටෝ එකක් දාන්නේ මගේ ෆැමිලි ගෘෘප් එකට. මේ මගේ අම්මගේ හීනය, ඒ නිසා අම්මා කොහොමත් සතුටුයි. ඊට පස්සේ වැඩියෙන්ම සතුටු වෙන්නේ මගේ තාත්තා. එයා මගේ වැඩක් පුංචි තිරයේ හරි රිදී තිරයේ හරි බලන්නේ සතුටින්. තාත්තාගේ හිතේ තිබ්බ මතය මේ වෙද්දී වෙනස් වෙලා තියෙනවා. කවුරු මොනවා කිව්වත් අපි හරි විදියට ගමනක් යනවා නම් හරි ලස්සන ගමනක් යන්න පුළුවන් කලාව තුළ. අපිට අපි ගැන ආත්ම විශ්වාසයක් තියෙනවා නම් අපිට පුළුවන් වැරදි ඕනෙම දෙයකට එපා කියන්න. හරියට කෙළින් වැඩ කරනවා නම් හොඳ ගමනක් යන්න පුළුවන්. අද මගේ ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ මගේ පවුලේ අය.




 සිනමාවෙන් මට ලැබුණු පළමු සම්මානය වුණත් මින් පෙරත් මට ජනතා සම්මාන ලැබුණා. ඒ හැමදෙයක්ම මට ලැබෙන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් මගෙත් එක්ක හැමදාම හිටිය නිසා. ජනතා ආදරේ ලබන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. අපි ඔක්කොම ඉන්නේ බිසී ලෝකයක. එහෙම ඉන්න ගමන් එයාලගේ කාලය අපි වෙනුවෙන් කැප කරලා සමාජ මාධ්‍යයට එක් කරන අදහස් පවා අපිට දෙන්නේ පුදුමාකාර ආශිර්වාදයක්. ඒ ආදරේට මම හරිම ආදරෙයි. 

gossiplanka image 1
Previous Post Next Post