
තිලිණි ජයමාලි කියන්නේ වේදිකාවෙත් පුංචි තිරයෙත් එකසේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය පුංචි තිරයේ අනු චරිත හරහා බොහෝවිට දක්නට ලැබුණත් ඇය පණ දුන් අනු චරිත පවා ප්‍රේක්ෂක හදෙහි නොමැකෙන මතක රැන්දූ බව නොරහසක්. විසේකාරී, සින්ටෝ ටෙලි නාට්‍යයන් හරහා මේ දිනවල පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට එන ඇය සැබැවින්ම නවක පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්.
මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කෙසේද?
මේ දවස්වල මම අලුත් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම චාමික හත්ලහවත්තගේ කොළඹ හතේ තොරණ වේදිකා නාට්‍යයෙත් වැඩ කටයුතු කරනවා. ඊට අමතරව විසේකාරී, සින්ටෝ ටෙලි නාට්‍යවලත් වැඩකටයුතු කරගෙන යනවා.
විසේකාරී ටෙලි නාට්‍යයේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඒක ගමක හැදුණු ටිකක් සමාජ දැනුම අඩු ගැහැනු ළමයකුගේ චරිතයක්නෙ. ඒ චරිතයේ ස්වභාවයත් එක්ක බොහෝ දෙනකු ඒ චරිතයට කැමැතියි. ඉතින් ගොඩක් අය මාව හමුවුණාම ඒ චරිතයේ මගේ රංගනය ලස්සනයි කියනවා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
වේදිකාවේ හොඳම නිළිය විධියට කිරුළු දරපු ඔබට පුංචි තිරයේ ඒ කිරුළට තව කොයිතරම් දුරද?
මම හිතන්නේ පුංචි තිරයේ එහෙම ඇගැයීමකට ලක්වෙන්න තරම් සුදුසු චරිතයක් මට තවම ලැබුණේ නෑ. මට එහෙම චරිතයක් කුමන හෝ වෙලාවක ලැබෙයි කියලා විශ්වාසයෙන් ඉන්නවා. ඒ වගේ චරිතයක් ලැබුණට පසුව ඉතින් බලමු.
වේදිකාවෙන් එන රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ රංගන හැකියාව ගැන සමාජයේ ලොකු විශ්වාසයක් තිබෙනවා. ඔබේ අදහස?
ඇත්තටම වේදිකාව කියන්නේ රංගනය පිළිබඳව ඉගෙනගන්න සුදුසුම ස්ථානයක්. වේදිකාවෙන් ලැබෙන හුරුවත් එක්ක ගොඩක් වෙලාවට තවත් තැනක වැඩ කරන්න අපට ටිකක් පහසුයි. නමුත් වේදිකාව එතරම්ම හුරු නැති දක්ෂ නළු නිළියොත් ඉන්නවා. ඉතින් වේදිකාවෙන්ම රංගනයට පිවිසෙන්න ඕනෑ කියලා නැහැ.
සමේ පැහැයේ අනන්‍යතාව රැකගෙන ඉදිරියට ආ රංගන ශිල්පිනියක් විධියට සුදු වීමේ උන්මාදය ගැන ඔබේ අදහස?
මේ ඉතින් මට ලැබිලා තිබෙන පෙනුමනේ. ඒ පෙනුම බලහත්කාරයෙන් සුදු කරගන්න, වෙනස් කරගන්න මට අවශ්‍ය නැහැ. මේ මට ලැබුණු රූපය. මම බලාපොරොත්තු වන්නේ ඒකෙන් ප්‍රේක්ෂකයන් පිනවන්න තමයි. ඉතින් වෙනම රූපයක් මවලා මිනිසුන්ට බොරුවක් කරන්න මට අවශ්‍ය නෑ. ඒ නිසා වෙන්න ඇති ප්‍රේක්ෂකයන් මට කැමැත්තක් දක්වන්නෙත් කියලා හිතනවා.
රංගනයට ඇකඩමික් හැදෑරීමක් අවශ්‍යමද?
ඕනෑම වැඩක් කරගන්න ඇකඩමික් හැදෑරීමක් තිබෙනවා නම් අපට පහසුයි. අපට වැඩකටයුතුවලදී ඒ ඉගෙනගත්ත දේවල් ප්‍රයෝජනවත් වෙනවා. අපිට දේවල් ඉගෙන ගත්තට ඒ දේවල් අත්හදා බලන්න ලැබෙන්නේ ටෙලි නාට්‍යයක හෝ යම් නිර්මාණයක චරිතයකට දායක වෙද්දිනේ. ඉතින් ඇකඩමික් දැනුම අවශ්‍යයි. නමුත් එහෙම ඇකඩමික් දැනුමක් නැති අයත් හොඳට රඟපාන අවස්ථා තිබෙනවා.
දක්ෂ රංගන ශිල්පියකුට ශිල්පිනියකට අනු චරිතයක් වුවත් හැකියාව පෙන්වීමට ප්‍රමාණවත්ද?
මමත් අනු චරිත තමයි කරලා තිබෙන්නේ. ඒ අනු චරිතය තුළත් කරන්න යමක් තිබෙන්න ඕනෑ. ඉතින් හොඳ ස්ක්‍රිප්ට් එකක අනු චරිතයක වුණත් තමන්ගේ දක්ෂතාව හොඳට පෙන්වන්න පුළුවන්.
ඔබ චරිත තෝරා බේරා ගැනීමක් සිදු කරනවාද?
ගොඩක් වෙලාවට අපට තෝරා බේරා ගැනීමක් කරන්න වෙනවා. එකම විධියේ චරිත ලැබෙද්දී අපි ටිකක් තෝරා බේරා ගැනීම් කරනවා.
වේදිකාවේ ඉදිරි අනාගතය ගැන ඔබේ අදහස?
මම හිතන්නේ ඉදිරියටත් හොඳ නිර්මාණ බිහිවේවි. ඉස්සර රාජ්‍ය නාට්‍ය උළෙල වගේ උළෙලවල්වලට සමගාමීවනේ නාට්‍ය නිර්මාණය වුණේ. නමුත් දැන් විදේශ රටවල ගිහින් පෙන්වන්නත්, දුර නගරවලට ගිහින් පෙන්වන්නත් බලාපොරොත්තුවෙන් නිර්මාණ කරනවා. ඉතින් ඉදිරියට වේදිකා නාට්‍ය කලාවට හොඳ වෙයි කියලා අදහසක් තිබෙනවා.
නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් කෙටි කලකින් ජනප්‍රිය වුවත් ක්ෂේත්‍රයේ රැඳෙනවා අඩුයි නේද?
ඇත්තටම දෙයක් ළඟා කරගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. ඒ වගේම ඒකට කාලයක් යනවා. කෙනකු කෙටි කාලයකින් පැජන්ට් එකකින් වගේ ආවම එකපාරටමනේ ප්‍රේක්ෂකයන් අතරට යන්නේ. එහෙම වුණාම රැඳෙන්න තිබෙන ඉඩකඩ අඩුයි කියලා මට හිතෙනවා. නමුත් හෙමින් ගමනක් එද්දී මිනිසුන්ට මතකයේ රැඳෙනවා වැඩියි කියලා හිතෙනවා.
ආදරය හා විවාහය ගැන ඔබේ කියැවීම?
විවාහය කියන්නේ ලියවිල්ලකට සීමාවුණු දෙයක් කියලා මම හිතනවා. ආදරය කරන්න විවාහ වෙන්නම ඕනෑ නෑ. නමුත් අපේ රටේ සම්ප්‍රදායක්, චාරිත්‍ර වගේ දේවල් තිබෙනවානේ. ආදරය විවාහයකින් කෙළවර වෙන්න ඕනෑ කියලා මම විශ්වාස කරන්නේ නෑ. නමුත් මියයන තුරාම විවාහ නොවී වුණත් ආදරය කරන්න පුළුවන්.
සමාජ මාධ්‍ය හරහා කලා නිර්මාණ විචාරය හා විවේචනය කිරීම ඔබ දකින්නේ කෙසේද?
එහි හොඳ නරක දෙකම තිබෙනවා. මොකද සමහර විට හොඳ නිර්මාණයක් නරකයි කියලා මිනිස්සු අතරට යන්න ඒ දේවල් බලපානවා. අපි බලලා නැතිව වුණත් එහි විචාර කියවලා හොඳ නෑ කියලා හිතන්න පුළුවන්. ඒක ඉතින් හොඳ නරක දෙපැත්තටම බලපානවා කියලා මම හිතනවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
මේ දවස්වල ලොකු කාර්යබහුලත්වයක් නෑ. ඉතින් වේදිකා නාට්‍යවල හා ටෙලි නාට්‍ය දෙකේ වැඩකටයුතු කරගෙන යනවා.
