ලැබෙන්න තිබුණ අවස්ථා මගෙ ඇස් ඉස්සරහම නැති වෙනවා මම දැක්කා-රශිප්‍රභා

gossiplanka image 1
 

දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය හිමිකරගත්තේ ‘‘විසල් ආදරේ’’ චිත්‍රපටයේ රඟපෑ රශි ප්‍රභා සංදීපනීය. ප්‍රථම වරට හොඳම නිළිය වූ රශිප්‍රභාගේ මේ සම්මානිත අත්දැකීම ගැන දැනගන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන් සිටින මොහොතක් අපි ඇයව සම්බන්ධ කර ගත්තා. හොඳම නිළිය හිමි සම්මානය ලැබීම ගැන ඇයට ඇත්තේ විශාල සතුටක් සහ තෘප්තියක්.




රංගන ක්ෂේත්‍රයට පිවිසෙන නිළියන් අතරින් ගොඩක් දෙනෙකු ජනප්‍රිය නිළිය විදිහට සම්මානයෙන් පිදුම් ලබන්න හීන මැව්වට මම හීන මැව්වෙ කවදාහරි හොඳම නිළිය විදිහට සම්මානයෙන් පිදුම් ලබන්න. නමුත් මට ඒ හීනය සැබෑ කරගන්න රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 13 ක් ගියා. මේ අවුරුදු 13 ක කාලය ඇතුළත මම විවිධ සම්මාන උළෙලවල්වල සම්මාන සඳහා නිර්දේශ වුණත් කවදාවත් සම්මානයක් හිමිවුණේ නැහැ⁣. ඒ ගැන දුක්වෙන්නෙ නැතුව දිගටම රංගන ක්ෂේත්‍රයේ වැඩකරගෙන ⁣යනකොට වාසව බදුගේ අධ්‍යක්ෂණය කරපු විසල් ආදරේ චිත්‍රපටයේ තාදිගේ චරිතය හරහා මට ප්‍රබල රංගනයක් ඉදිරිපත් කරන්න හැකි වුණා. විසල් ආදරේ තාදිගේ චරිතය වෙනුවෙන් මම ඉදිරිපත් කරපු රංගනය තමයි Derana Lux Film Awards 2025 උළෙලේ ජූරිය විසින් විනිශ්චයට ලක්කරලා හොඳම නිළියට හිමි සම්මානය මට ලබා දුන්නෙ. ඉතින් අවුරුදු 13 ක් ඉවසීමෙන් කැපවීමෙන් සහ උත්සාහයෙන් සියලු දේවල් දරාගෙන රංගන ක්ෂේත්‍රය තුළ ආපු ගමනේදි වසරේ හොඳම නිළිය විදිහට සම්මානයෙන් පිදුම් ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.








අවුරුදු දහතුනක ප්‍රතිඵලය මේ ආකාරයෙන් ලැබෙන කොට මේ ගමනට එහි අත්තිවාරම් දැමූ සමය රශි ප්‍රබාව කොහෙත්ම අමතක කරන්න බැහැ.


නිළියක් වෙන්න මූලික අඩිතාලම දැමුවෙ පාසල් කාලයේ ගුරුතුමියක් වන ගංගා පරණවිතාන විසින්. ඇයගෙන් නාට්‍ය හා රංගකලාව ගැන හදාරලා මම රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ තරගවලට ගිහින් ජයග්‍රහණ ලැබුවා. ඉන් අනතුරුව එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ සිහංබාහු වේදිකා නාට්‍යයේ සිංහ සීවලී චරිතය රඟපාමින් ජාතික තලයේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබුණා. මට චතුර විදිහට භාෂාව හසුරවන්න හැකියාව තිබුණ නිසා ITN නාළිකාවෙ ළමා නිවේදිකාවක් විදිහටත් පාසල් යන කාලෙදි සම්බන්ධ වුණා. ඒ අතරෙදි ITN වැඩසටහන් නිෂ්පාදකවරියක්වන චංචලා බුලත්සිංහල හරහා අහම්බෙන් ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණා. පාසල් කාලෙදි ඒ විදිහට අහම්බෙන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍ර⁣ට පිවිසුනාට පස්සෙ දිගින් දිගටම රංගනයට ආරාධනා ලැබිලා ක්ෂේත්‍රය තුළ ස්ථාවරය ගොඩනගාගෙන වෘත්තිය ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක් බවට මම අද පත්වෙලා ඉන්නවා. පාසල් කාලයේ රංගනය පැත්තට නැඹුරු වෙනකොට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න ගත්තා.








පාසල් කාලයෙදි මම රංගන ක්ෂේත්‍රයට පිවිසෙනවට අම්මා අකමැති වුණා. අම්මට ඕන වුණේ මම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන වෙනත් වෘත්තියක් කරනවා දකින්න. නමුත් මගේ තාත්තා කලාවට ගොඩක් ආදරය කරන කෙනෙක්. තාත්තට තරුණ කාලෙ නළුවෙක් වෙන හීනයක් තිබිලා තියනවා. ඒ හීනය තාත්තට සැබෑ කරගන්න බැරිවුණ නිසා මම නිළියක් වෙනවා දකින්න තාත්තට ගොඩක් ලොකු උවමනාවක් තිබුණා. ඉතින් මගේ හැකියාවෙන් ඉදිරියට යන්න ඉඩදෙන්න කියලා ⁣තාත්තා තේරුම්කරලා අම්ම⁣ට කිව්වට පස්සෙ අම්මා ඉඩදුන්නා මට රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න. ඉතින් මම රංගන ක්ෂේත්‍රයට පිවිසිලා රංගන කටයුතු කරගෙන යනකොට අම්මයි තාත්තයි ලොකු සහයෝගයක් මට දුන්නා. අම්මයි තාත්තායි යෝධ සෙවණැල්ලක් විදිහට මගේ පිටිපස්සෙ හිටියෙ නැත්තන් මම රංගන ශිල්පිනියක් වෙන්නෙ නැහැ කියලා මම දන්නවා.




අද සමහරු කෙටි පාරවල් වලින් ඇවිත් නිළියෝ වෙනවා. නමුත් රශි කියන්නේ වෙනස් චරිතයක්. සුන්දර පෙනුමක් හිමි ඇය මේ ගමන ආරම්භ කරන්නේ බින්දුවේ ඉදලමයි. ඒ ගැන හැදෑරීමක් කරමින්. සෑම නිළියකටම ඇය ආදර්ශයක් වන්නේ ඒ නිසාමයි.


අවුරුදු 13 ක් තිස්සෙ ක්ෂේත්‍රයේ ආපු ගමන මට ලේසි පහසු වුණේ නැහැ⁣.කෙටි පාරවල් වලින් ඉස්සරහට යන්න අවස්ථාව තිබුණත් ඒ කිසිම දේකට පාවිච්චි වෙන්නෙ නැතුව පාඩුවෙ නිහඬව මම රංගන ක්ෂේත්‍රයේ වැඩ කළා. මේ අවුරුදු 13 ඇතුළත මට ලැබෙන්න තිබුණ සමහර චරිත මගේ ඇස් ඉස්සරහා නැතිවුණ අවස්ථාවලට මම මුහු⁣ණ දුන්නා. මට පස්සෙ ආපු සහ මගේ සමකාලීන නිළියො විවිධ ක්‍රමවලින් ඉදිරියට යනවා මම බලාගෙන හිටියා. ක්ෂේත්‍රය තුළ සිදුවෙන සමහර සිත්රිදීම් වලින් මම මානසිකව කඩාවැටිලා තවත් නම් ක්ෂේත්‍රයේ ඉන්න බැහැ කියලා හිතුන වාර තිබුණා. ඒ හැම මොහොතකදිම අම්මයි තාත්තයි මට කිව්වෙ සැලෙන්නෙ නැතුව දිගටම ඉස්සරහට යන්න කියලා. ඒ විදිහට ධෛර්යෙන් හැකියාව ගැන විශ්වාස කරලා ඉවසීමෙන් ආපු කටුක ගමන ගැන සෑහෙන්න අත්දැකීම් ගොඩක් මට තියනවා. ක්ෂේත්‍රය තුළ ආපු ගමන කොච්චර කටුක වුණත් මට ලැබෙන නිර්මාණවලට මම උපරිම සාධාරණයක් කලා. සමහර අනිත් නිලියන් වගේ නිර්මාණ භාර අරගෙන අතරමැදදි පොලු තිබ්බෙ නැහැ⁣. අධ්‍යක්ෂවරයාගේ ඉඳලා Tea boy වෙනකන් හැමෝම එක්ක සහයෝගයෙන් මට ලැ⁣බෙන හැම නිර්මාණයකදීම කටයුතු කළා. ඒ විදිහට රංගන වෙනුවෙන් උපරිම ගරුකිරීම සහ සාධාරණය ඉටුකිරීම සාර්ථක නිළියක් වෙන්න සෑහෙන්න බලපෑවා කියලා මම විශ්වාස කරනවා. සමහරු මගෙන් අහනවා වැඩ කරන කොට අයුතු යෝජනා එන්නේ නැද්ද කියලා. ගෑනු ළමයෙක්⁣ට අයුතු යෝජනා රංගන ක්ෂේත්‍රයේදී විතරක් නෙමෙයි වෙනත් ක්ෂේත්‍රවලදි වුණත් එන්න පුළුවන්. කවුරුහරි අයුතු යෝජනා කළාට තමන්ගෙ කැමැත්තක් නැතුව කාටවත් තනි අතින් අත්පුඩි ගහන්න බැහැ. ඒ නිසා ගෑනු ළමයෙක්ට ⁣ශක්තිමත් පෞරුෂයක් තියෙන්න ඕන අයුතු යෝජනා ප්‍රතික්ෂේප කරන්න. ඒ ගැන අවබෝධයක් දෙමව්පියො විසින් දරුවොන්ට ලබාදෙන්න ඕන කියන අදහසේ මම ඉන්නවා. ඉතින් එවැනි තත්ත්වයන්වලට බයවෙන්නෙ නැතුව මුහු⁣ණදෙන්න පුළුවන් ශක්තිමත් පෞරුෂයක් මට තිබීමත් පවුලෙ අය මගේ රැකවරණයට සිටීමත් එක්ක කවදාවත් ඒ විදිහෙ ගැටලුවලට මැදිවෙන්න ලැබුණෙ නැහැ⁣.








හොඳම නිළිය කියන්නේ නිළියකට ආභරණයක්. නමුත් හොඳම නිළිය වුණාට එතන ඉඳන් තිබෙන්නේ අභියෝගයක්. මොකද ලැබුණ කිරුළ රැක ගැනීම වැදගත් නිසා.


Derana Lux Film Awards උළෙලේ ජූරිය මගේ රංගන හැකියාව දැකලා ක්ෂේත්‍රය වෙනුවෙන් වටිනාකමක් එකතු කරන්න පුළුවන් කෙනෙක් විදිහට සලකලා වෙන්න ඕන හොඳම නිළියට හිමි සම්මානය ම⁣ට ලබා දුන්නෙ. ඉතින් හොඳම නිළිය විදිහට සම්මානයෙන් පිදුම් ලැබුවට පස්සෙ දැන් තියන ඉලක්කය මගේ රංගන හැකියාවෙන් තවතවත් ක්ෂේත්‍රය පෝෂණය කිරීම. නමුත් එය මට තනිවම කරන්න බැහැ. ඒ වෙනුවෙන් මට නිර්මාණ ලැබෙන්න ඕන. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නෙ තවතවත් හොඳ නිර්මාණ ලැබිලා සිනමා ක්ෂේත්‍රය පෝෂණය කරන්න මට අවස්ථාව හිමිවෙන්න කියලා. මම හිතනවා මට ලොකු ගමන් යන්න මේ සම්මානය ශක්තියක් කියලා.




නිළිය කියන භූමිකාව වගේම නිවේදිකාව කියන භූමිකාව තුළත් රශි ප්‍රභා කියන්නේ දක්ෂ යුවතියක්. ඒ වගේම නර්තනයටත් ඇය උපන් හපන් දක්ෂතා පෙන්නුම් කරනවා. මේ සියල්ල මැද ඇය ගෙවන ජීවිතය හරිම සුන්දරයි.








කාලයක් නිවේදන කටයුතුවලින් විරාම අරගෙන ඉඳලා ආපහු මට සිරස මෙගා ස්ටාර් නර්තන රියැලටි වැඩසටහනෙන් නිවේදන වෘත්තියට එන්න අවස්ථාව ලැබුණා. නමුත් මම නිවේදනනය කරන විදිහ දැකලා සමහරු කියනවා මේක ඔයාගේ ස්ටයිල් එක නෙමෙයිනෙ කියලා. මම නිතර වැඩසහටන් ඉදිරිපත්කරන විදිහට මෙගා ස්ටාර් වැඩසටහන ඉදිරිපත් කළොත් ඒක ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් නොවන නිසයි වෙනස් විදිහෙ ස්ටයිල් එකක් නිවේදනයෙදි පාවිච්චි කරන්නෙ. ඉතින් රංගනයට වගේම මේ දවස්වල නිවේදන කටයුතුවලටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නිවේදනයට අමතර නර්තයට ලොකු කැමැත්තක් තිබෙනවා. මම කතක් නර්තන ශෛලිය හදාරාලා තියනවා සහ free style නර්තනයන් ඉදිරිපත් කිරීමේ හැකියාව මට තියනවා. රංගනයට අමතරව නර්තන හැකියාව රංගන ශිල්පියෙක්ට තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. රංගනය වර්ණවත් කරන්න පුළුවන් නර්තන හැකියාවක් තිබීමත් එක්ක මගේ රංගන ජීවිතය තවත් සාර්ථක වුණා. රංගනශිල්පිනියක්, නිවේදකාවක් විදිහට කටයුතු කරන අතරතුර මේ වෙද්දි මම උසස් අධ්‍යාපනය හැදෑරීම සහ ව්‍යාපාර කටයුතුවල නිරතවෙලා ඉන්නවා. ඒ දේවල් එක්ක මට නිදහසේ ඉන්න කාලය ලැබෙන්නෙ නැති තරම්. අඩුතරමෙ නිදාගන්න හරිහැටි කාලයක්වත් මට නැහැ⁣. ඉතින් විවේකයක් ලැබුණ ගමන් මම කරන්නෙ හොඳට නිදාගන්න එක.


රශි ප්‍රභා කියන්නේ ආකර්ශනීය රූපයක් හිමි නිළියක්. කොයි තරම් කාර්යබහුල වුවත් රූපය රැක ගැනීමත් නිළියට හරිම වැදගත්.




නිළියක් විදිහට කටයුතුකරනකොට රූපය සහ ඇඟේ හැඩය කැතවෙන්න දෙන්නෙ නැතුව ලස්සනට පවත්වගෙන යන්න ඕන කියන අදහසේ මම ඉන්නවා. ඉතින් කොච්චර කාර්යබහුල ජීවිතයක් ගෙව්වත් මං වෙනුවෙන් කාලය වෙන්කරගෙන ජිම් ගිහින් ව්‍යායම කරලා ඇඟේ හැඩය සිහින් විදිහට හදාගෙන රූපය වෙනුවෙනුත් රූපලාවණ්‍ය සත්කාරකරගෙන නිතරම ලස්සනට ඉන්න වගබලා ගන්නවා. ඇඟේ හැඩය සහ මම කරන විලාසිතා මත සමහරු මාව සරාගී විදිහට හඳුන්වන අවස්ථා තියනවා. නමුත් සරාගීවෙන්න ඕන කියලා හිතලා මම ඇඟ නඩත්තු කරන්නෙවත් විලාසිතා කරන්නෙවත් නැහැ⁣. ඕනෑම කෙනෙක්ට අයිතිය තියනවා ඇඟ වැහුන විලාසිතා සහ ඇඟ පේන විලාසිතා කරන්න. මමත් ඉතින් අවස්ථාවට සුදුසු විදිහට ඇඟ වැහුන විලාසිතා සහ ඇඟ පේන විලාසිතා කරනවා. වයසට ගිහින් වැහැරුනහම නිතරම ඇඟ වැහුන විලාසිතා කරන්න වෙන නිසා තරුණ කාලේ ලස්සනට ඉන්නකොට ඇඟ පේන විලාසිතා කරන එක වැරැද්දක් නැහැ කියලයි මම විශ්වාස කරන්නෙ.




ඉතාමත්ම පිළිවෙළට ආපු ගමනක රශි ප්‍රභා සාර්ථක චරිතයක් වී අවසන්. බොහෝ දේ ජීවිතයට ලැබෙන කොට ආදරය වගේ දේවල් බැහැර කරන්නේ කොහොමද. මේ නිසා ඉතා ඉක්මනින් ජීවිතය පිළිවෙළක් කරගෙන සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න තිබෙන්නේ කොයි වගේ කැමැත්තක්ද කියා අපි අවසාන වශයෙන් ඇයගෙන් විමසුවා.








මම මේ වෙද්දි ආදරය සුන්දර විදිහට විදින ගමන් ඉන්නෙ. මගේ පෞද්ගලික ජීවිතයට සහ රංගන ජීවිතයට පෙම්වතාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අපි විවාහ වෙන්නෙ කවදාද කියලා නම් තවම තීරණය කරළා නැහැ⁣. විවාහය ගැන තීරණය කළාම ඔහුගේ විස්තර එක්ක පිනිපලසට කියන්නම්. 

gossiplanka image 2
Previous Post Next Post