
පාර දිගේ නාට්‍යයේ ‘මානවි‘ එහෙමත් නැත්නම් නානායක්කාරගේ ලොකු දුව ලෙසින් ප්‍රේක්ෂක ආදරේ, ආකර්ෂණය දිනා ගත් සප්නා පාදුක්ක මේ දිනවල අපට දකින්න ලැබෙන්නේ ‘රට පවුලේ‘ සහ ‘ආලවන්ති‘ තුළින්. රසඳුන මේ කතාබහ සප්නා පාදුක්ක සමඟ.
සප්නා කොහොමද ජිවිතේ?
ජීවිතේ කාර්යබහුලයි. පසුගිය අවුරුද්දක කාලයක් මම පොඩි විවේකයක් ගත්තා. මොකද යාපනයේ වැඩ වගයක නිරත වුණු නිසා. නිතරම ට්‍රැවල් කරන්න අමාරු නිසා මෙහෙ වැඩවලින් පොඩි විවේකයක් ගත්තා. දැන් මම ආයෙම වැඩ ටිකක් කරගෙන ඉන්නවා.
රට පවුලේ – නිශානිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ එක්කම නිශානිව පෙන්නන්න බැහැ කියලත් කියනවා. එහෙම කියන්නේ මම නිශානිට සාධාරණයක් ඉෂ්ට කරන නිසානේ. මේ දිනවල මඟ තොටේදී හමුවන අයත් රට පවුල ගැනම තමයි අහන්නේ.
චරිතේ භාර ගනිද්දී හිතුවද මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා?
ඇත්තටම මේ නිර්මාණය භාර ගනිද්දී නම් ලොකු අදහසක් තිබ්බේ නැහැ. කොහොමද මේක වෙන්නේ කියන එක. මොකද හදිසියේ මට ලැබුණු වැඩක්. නාට්‍ය කරගෙන යද්දී තමයි දැනුණේ වෙනස් විදියේ ලස්සන වැඩක් කියන එක. හසුන් සමීර අයියාගේ වැඩ වෙන රහක තියෙන්නේ. ඒ නිසා මේ තුළත් තියෙන්නේ වෙනම රහක්. මෑතකාලයේ ඉතා කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන් වැලඳ ගත්ත කතාවක්. මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා මුලින්ම හිතුවේ නැහැ. ඉතින් හරිම සතුටුයි.
ආලවන්ති නාට්‍යය ගැනත් කතා කරමු?
මම වැඩ කරලා නතර කරලා ආයේ වැඩ පටන් ගත්තේ ආලවන්ති නාට්‍යය තුළින්. සිවගුරුනාදන් සර් සහ චාමර අයියාගේ පාර දිගේ නාට්‍යය තුළින් තමයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ. ඒකත් එක්ක ආලවන්ති නාට්‍යය ලැබුණම මම බොහොම සතුටින් භාර ගත්තා. ඒ එක්කම ආලවන්ති නාට්‍යයේ මගේ චරිතයටත් මෙච්චර ප්‍රතිචාර ලැබෙයි කියලා මම හිතුවේ නැහැ. නමුත් ඒ චරිතේ මම වෙනස් විදියට ගොඩනඟපු නිසා මේ දවස්වල ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.
මේ එකිනෙක නාට්‍යයවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
එකිනෙක නාට්‍යය වලට ලැබෙන ප්‍රතිචාර වෙනස්. ආලවන්ති නාට්‍යයට පොසිටිව් ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි රට පවුලට ලැබෙන්නේ වෙනස්ම ප්‍රතිචාර. ලංකාවේ වැඩි හරියක් ඉන්නේ නිශානි වගේ අය කියන එකත් ලැබෙන ප්‍රතිචාරවලින් දැනෙනවා. දැන් අපේ රටේ ඉන්නේ නිතර රණ්ඩු වෙවි ආදරේ කරන කෙල්ලෝ කොල්ලෝ. ඒ නිසා එහෙම අයට සමීප චරිතයක්. මට පෞද්ගලිකව ගත්තම මගෙත් එක්කම තරහ යනවා මෙහෙම රඟපාද්දී. හේතුව මේක මගේ චරිතෙට හාත්පසින්ම වෙනස් චරිතයක්.
ඉරගිනි මද්දහනේ ජයංගා කියන්නේ සප්නාට ලැබුණු අභියෝගයක් නේද?
මට ලැබුණු ලොකුම අභියෝගයක්. ඉරගිනි මද්දහන කියන්නේ මගේ දෙවැනි නාට්‍යය. ඒ වටා හිටියේ ප්‍රවීණ රංගන ශිල්පීන්. මට ගොඩක් ගනුදෙනු කරන්න තිබ්බේ අවන්ති අපොන්සු අම්මා එක්ක සහ අනිල් අයියා එක්ක. ඒ දෙන්නා මගේ නැන්දම්මා සහ මාමණ්ඩි. ඒ එක්කම ධනංජය සිරිවර්ධන අයියා තමයි මගේ හස්බන්ඩ්ට හිටියේ. තරින්දි අක්කා හිටියා. ඒ අය එක්ක බැලුවම මම අලුත් කෙනෙක්. ඒ නිසා ලොකු අභියෝගයක් වුණා. ජයංගාට මම සාධාරණයක් කරන්න ඇති කියන එක ලැබෙන ප්‍රතිචාරවලින් මට දැනුණා.
ඉන්දියානු නිෂ්පාදන කිහිපයක වැඩ කළා නේද?
යාපනේ ගිහින් වැඩ කළේ ඉන්දියානු ටැමිල් නිෂ්පාදනවල. මේ මෑතක දී නම් කළා බොලිවුඩ් පැත්තට යන වැඩක්. ඉන්දියාවේ චැනල් එකක රිලීස් වෙන වැඩක්. මම එයාලා එක්ක වැඩ කරද්දී ලොකු අත්දැකීමක් ලැබුවා. මගේ ආසාව තියෙන්නේ කොහොමත් ලංකාව නියෝජනය කරලා වෙන රටක වැඩක් කරන්න. ඒකට මේ වැඩෙත් ලොකු අත්වැලක් වෙයි කියලා හිතනවා. බලාපොරොත්තුවෙන් ඉන්නවා රිලීස් එකට ඉන්දියාවට යන්න. මේ වෙද්දී ඒ ආරාධනාවත් ලැබිලා තියෙනවා.
කොහොමද ඒ අය එක්ක වැඩ කරන්න ලැබුණු අත්දැකීම
ඒ අය එක්ක වැඩ කරන එක ටිකක් අමාරුයි. ඒ අය එක නිර්මාණයක් වෙනුවෙන් සෑහෙන කැප වෙනවා. මේක කළේ නිව්යෝර්ක් ගැන් ප්‍රඩක්ෂන්. (New York Gang Productions-USA ) අධ්‍යක්ෂණය ෆාරුක් ඛාන්. කැමරා අධ්‍යක්ෂණය කබීර් ලාල් සර්. තාල් වගේ ජනප්‍රිය චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂවරයා. ලොකු පිරිසක් ඉන්නවා මේ වැඩේ එක්ක. ඒ අය එක්ක වැඩ කරන්න ලැබීම මාරම ගෞරවයක්.
සප්නා කියන්නේ ඕනෙම චරිතයක් කරන්න සූදානම් රංගන ශිල්පිනියක් ද?
අපි හැමෝටම තියෙනවා තමන්ගේ කියන සීමාවන්. ඒ සීමාවන් ඇතුළේ ඉඳගෙන ඕනෙම චරිතයකට පණ දෙන්න මම ලෑස්තියි.
පෞද්ගලික ජීවිතේ තොරතුරු මොනවද?
තාම තනිකඩයි. අම්මා, තාත්තා, අයියා එක්ක කාලය ගත කරන්නේ. බලමු ඉස්සරහට වෙනසක් වෙයිද කියලා.
කලාවේ මේ ගමන යන්න ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ලොකු සහයෝගයක් ලැබෙනවා. මම හිතන්නේ මේ ඒ දෙන්නාගේ හීනෙ. ඒ නිසා ලැබෙන සහයෝගය වචන කරන්න බැහැ. මගේ අයියා, නෑනා සහ ආච්චි අම්මා, ලොකු අම්මා ඇතුළු හැමෝම මා එක්ක ඉන්නවා.
හෙට දවස ගැන තියෙන බලාපොරොත්තුව?
රටින් එළියට ගිහින් වැඩ කරන එක තමයි අනාගත බලාපොරොත්තුව. මේ දවස්වල වැඩ දෙක තුනක්ම ප්ලෑන් කරන් යනවා. අනාගතයේ ලොකු දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
