ක්ලැරන්ස්ගේ දිල්හානී දුවනී මමයි

gossiplanka image 1
 


මේ දිනවල අතිසාර්ථක ව තිරගත වන ‘ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්’ චිත්‍රපටය සමඟින් ක්ලැරන්ස් විජේවර්ධනයන් පිළිබඳ මතකය යළි අවදි වී ති‍බේ. තම සහජ කෞශල්‍ය ඉස්මතු කර ගනිමින් ස්වයං නිර්මාණ විස්සකට වැඩි ප්‍රමාණයක් බිහිකර සංගීත ශිල්පියෙක් ලෙස සමාජගත වීමට වෙර දරමින් සිටි කාලයේදී ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත දිවියේ පෙරමඟ සනිටුහන් කර දෙන්නට අතීතයේ එක් සන්ධිස්ථානයකදී අහඹු ලෙස හමුවන ශ්‍රී සඟබෝ කොරයා මහතාට හැකිවීම භාග්‍යයකි. කොළඹ පෞද්ගලික නිෂ්පාදන ආයතනයක ඉහළ නිලධාරියකු ලෙස සේවය කරමින් සිටි ඔහු රත්නපුරට ස්ථාන මාරු ලබන්නේ සේවා ආයතනයේ නිෂ්පාදන ප්‍රවර්ධනය වැඩිදියුණු කිරීම සඳහා යි. ඔහු ඒ සඳහා දක්ෂයෙකි.


ගීතයක් නිර්මාණය කළ පමණින් ජනප්‍රිය විය හැකි වාතාවරණයක් හෝ පුළුල් මාධ්‍ය වපසරියක් හැටේ දශකයේදී නොවුණි. තිබුණේ ගුවන්විදුලිය පමණි. එහි ද ගීතයකට ඉඩක් ලබා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක්ම විය. එවැනි පසුබිමක ක්ලැරන්ස් විජේවර්ධනයන් සමාජගත වීම සහ ‘මූන්ස්ටෝන්’ සංගීත කණ්ඩායම බිහිකරලීම කෙරෙහි බාරදූර වගකීම කරට ගත්තේ ශ්‍රී සඟබෝ කොරයා ය. තම හිතමිතුරකුගේ මාර්ගයකින් ක්ලැරන්ස් ඔහුව හමුවන විටත් ක්ලැරන්ස් ගීත බො‍හොමයක් තනිවම නිර්මාණය කර තිබිණි. එහෙත් ඒවා මිනිසුන් අතරට ගෙන එන්නට මඟක් කලැරන්ස් සතුව නොතිබිණි. ශ්‍රී සඟබෝ කොරයා ඒ වනවිටත් ඉතාම දක්ෂ වෙළෙඳ ප්‍රවර්ධකයකුව සිටි නිසා රත්නපුර ප්‍රදේශයේ ඔහු දන්නා හඳුනන වෙ‍ෙළඳසල් විශාල ප්‍රමාණයක් විය. ඔවුන්ගේ ද සහාය ඇතිව මූන්ස්ටෝන් සමඟ ක්ලැරන්ස් සමාජගත කිරීමට ශ්‍රී සඟබෝ කොරයාට හැකි විය. ක්ලැරන්ස් නිර්මාණය කළ ගීත ඇසීමෙන් ක්ලැරන්ස් සතු ගායන වාදන සංගීතඥානය කෙබඳුදැයි සැණෙකින් වටහා ගත් කොරයා ක්ලැරන්ස්ගේ ඉල්ලීම පරිදි ඔහුට අත හිත දීමට නොපැකිළව පෙරමුණ ගත්තේය. ක්ලැරන්ස් ද කොරයාගේ යෝජනා සහ සැලසුම්වලට අවනතව දිනපතා පුහුණුවීම් සඳහා නියමිත වේලාවට කොරයාගේ නි‍ෙවසට ගොස් ඉතාම කැපවීමෙන් පුහුණුවීම් කටයුතුවල නිරත විය. ‘මූන්ස්ටෝන්’ සංගීත කණ්ඩායමේ කළමනාකරු බවට ශ්‍රී සඟබෝ කොරයා පත් වූවත් ඔහු එම කටයුතුවලින් කිසිදු මුදලක් තමා සතු කර නොගෙන කණ්ඩායමේ ප්‍රවර්ධනය සඳහාම වෙහෙස වී ය.


ක්ලැරන්ස්ට හාපුරා කියා ගුවන්විදුලියේ ගීතයක් ඉදිරිපත් කිරීමට මඟ සලසා දෙන ලද්දේ ද කොරයා ය. එම වැඩසටහන ගුවන්විදුලියෙන් අහන්න කියා තම අත්අකුරුවලින්ම පෝස්ටර් ලි‍යූ කොරයා ඒවා ඔහු දන්නා හඳුනන සෑම කඩයකම ඉදිරිපස ප්‍රදර්ශනයට තැබීය. රත්නපුරයේ විශාල පිරිසක් ගුවන්විදුලියේ ඉංග්‍රීසි ගීත වැඩසටහනකින් විකාශය වුණු ක්ලැරන්ස්ගේ සිංහල ගීත ශ්‍රවණය කර තිබුණි. පසුව මංගල අවස්ථාවලට, විවිධ උත්සව අවස්ථාවලට මූන්ස්ටෝන් සමඟ ක්ලැරන්ස්ට සම්බන්ධ වන්නට හැකි වූයේ කොරයාගේ දැන හැඳුනුම්කම් සහ පූර්ව සම්බන්ධීකරණයන් නිසාය. ඔහු තම මිතුරන්ට කතා කරමින් හෝටල්වල මංගල උත්සව සංගීතවත් කිරීමට ක්ලැරන්ස් සමඟ මූන්ස්ටෝන් සංගීත කණ්ඩායමට අවකාශ සලසා දුනි. ඒ අනුව ක්ලැරන්ස් සමඟ මූන්ස්ටෝන් සංගීත කණ්ඩායමට හාපුරා කියා මහනුවර තරු හෝටලයක මංගල උත්සවයක ගීත ගයන්න වයන්න අවකාශ සැලසිණි. සංගීතයට බෙහෙවින් ප්‍රිය කළ කොරයාත්, ක්ලැරන්ස් සහ මූන්ස්ටෝන් සංගීත කණ්ඩායමත් අතර තිබුණු බැඳීම තව තවත් වර්ධනය වූයේ ක්ලැරන්ස් ‘දිල්හානි දුවනී’ ගීතය නිර්මාණය කිරීමෙන් අනතුරුව ය.


ක්ලැරන්ස් දිනපතා කොරයාගේ නි‍ෙවසට ගොස් සංගීත පුහුණුවීම් කරමින් සිටියදී ඔවුන් අසල තිබූ තොටිල්ලේ කොරයා පවුලේ දෙවැනි දියණිය වූ සිඟිති ‘දිල්හානි‘ මේ ගැයුම් වැයුම් අසමින් නැළවෙමින් සිටියාය. ඇතැම් දිනවලදී ක්ලැරන්ස් මේ සිඟිත්තිය තොටිල්ලෙන් ඔසවාගෙන අවුත් තම සමීපයේ තබා ගෙන පුහුණුවීම් කර තිබිණි. ‘දිල්හානී දුවනී..’ ගීතය ක්ලැරන්ස් නිර්මාණය කරන්නේ මේ සිඟිත්තිය වෙනුවෙනුත්, ශ්‍රී සඟබෝ කොරයා සහ ඔහුගේ බිරිඳය බොහෝ කාලයක් තිස්සේ තමාටත්, සංගීත කණ්ඩායමටත් අසීමිතව අතහිත දෙමින් සිදු කළා වූ දිරිදීම සහ සත්කාර සංග්‍රහ උදෙසා තම කෘතවේදිත්වය දැක්වීමටය.


ශ්‍රී සඟබෝ කොරයා ද දැන් වයස අවුරුදු අනූව ඉක්මවා ඇත. ක්ලැරන්ස්ගේ ‘දිල්හානී දුවනී’ ගීතයට පාදක වුණු ඒ සිඟිති දියණිය වර්තමානයේ විදේශ රටක ගුරුවරියක ලෙස කටයුතු කරන්නීය. ඇයට ශමාරා සහ මනීෂා නමින් දියණියන් දෙදෙනෙකි. පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක දිල්හානී දුවනී නැතහොත් දිල්හානී කොරයා මේ අතීත මතකයන් අප සමඟ ආවර්ජනය කළාය.


“මම ශ්‍රී ලංකාවට ආවේ ‘ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්’ චිත්‍රපටය නරඹන්න. මම ඒ චිත්‍රපටය නරඹලා ගොඩාක් සතුටු වුණා. පුංචි කාලේ ඉඳලා අංකල් ක්ලැරන්ස් මියයනතුරුම අපිත් එක්ක ඔහුගේ තිබුණු බැඳීම, හිතවත්කම මට ආයෙම මතක් වුණා. මට මතකයි කොළඹ නව රඟහලේ ‘දිල්හානි දුවනී’ නමින් දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වූවා. එතකොට මට වයස අවුරුදු හත අටක් ඇති. මට ළමා සාරියක් අන්දවලා, ලස්සනට හැඩ කරවලා අංකල් ක්ලැරන්ස් මාව වේදිකාව මතට අරගෙන තමයි ඒ ප්‍රසංගයේදී ඒ ගීතය ඉදිරිපත් කළේ. මගේ තාත්තා කියලා තියෙනවා මේ ගීතයට ගැහැනු කටහඬක් තිබුණොත් හොඳයි කියලා. කෙනෙක් හමුවනතුරු ඇනෙස්ලි මාලේවන මේ ගීතය මූන්ස්ටෝන් සමඟ ගායනා කර තිබෙනවා. පසුව ඉන්ද්‍රානි පෙරේරා ඉතාම ළාබාල වයසේදී තමයි මේ ගීතය ගැයුවේ. එදා පටන් ඇයගේ ගායන විලාසයේ තිබුණු මිහිර සහ ආකර්ෂණීය බව නිසාම පුදුමාකාර ජනප්‍රියත්වයක් ‘දිල්හානී දුවනී..’ ගීතයට ලැබුණා. ඒ දිල්හානී දුවනී මමයි. ඒ අතීතයට මං හරි ආදරෙයි.”

gossiplanka image 2
Previous Post Next Post