
මේ දිනවල අතිශය කතාබහට ලක්වෙන කොල්ලෝ කෙල්ලන්ගේ සිත් වසඟ කරගත් චරිතයක් තමයි චතුරංග කොඩිතුවක්කු. ඔහුගේ හැකියාවන් රිදී තිරයෙන් වගේම පුංචි තිරයෙනුත් දැකගන්න පුළුවන්. ඒ අතුරින් වැඩිපුර කතාබහට ලක්වෙන චරිතයක් තමයි වීදුරු තිර හි සචිත්‍ර. ඒ වගේම ඔහුගේ මංගල සිනමා ගමන ආරම්භ වෙනවා මේ දිනවල තිරගත වන මදර් ලංකා සිනමා නිර්මාණයත් එක්කම. ඉතිං අපි චතුරංග එක්ක පොඩි චැට් එකක් දැම්මා එයාගේ වැඩ ගැන.
චතුරංග කොඩිතුවක්කු මේ දිනවල පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන් නිතර දකින අතිශය කාර්යබහුල නළුවෙක් වෙලා. මොකද හිතෙන්නේ?
ඇත්තම කිව්වොත් මේ ටිකේ සෑහෙන කාර්යබහුලයි. පසුගිය මාස තුන ඇතුළත කාලයේදී එක දවසක් නෑර එක දිගටම වැඩ. එක පැත්තකින් විඩාවකුත් තියෙනවා. අනෙක් පැත්තෙන් සතුටකුත් තියෙනවා. මේ කාලය වෙනකොට මගේ හොඳ කාලයක් ලැබිලා තියෙන්නේ. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි මගේ උත්සාහය.
ක්ෂේත්‍රයට එන්න හීන දැකපු කාලයේ හිතුවාද මේ වගේ වැඩ ගොඩකින් දකින්න ලැබුණොත් හොඳයි කියලා?
නැහැ. කවදාවත් නැහැ. මම මුලින්ම හිතුවේ පොඩි සෙසු චරිතයක් කරලා කොහොම හරි ගේමක් ගහලා එන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මම හිතුවාට වඩා හාත්පසින්ම වෙනස් විදිහට තමයි ක්ෂේත්‍රයට එන්න ලැබුණේ. සමහර කාලවලට හැම නාලිකාවකම වගේ එක දිගට මම රඟපාන ටෙලිනාට්‍ය විකාශනය වෙනවා.
මේ දවස්වල ඔබව රිදී තිරයෙනුත් දකින්න ලැබෙනවා නේද?
ඔව්. මේ දිනවල තිරගතවන අනූෂ එදිරිමුණි අධ්‍යක්ෂණය කළ මදර් ලංකා සිනමා නිර්මාණයෙනුත් මාව දැකගන්න ලැබෙනවා. එහි සහාය අධ්‍යක්ෂවරයාගෙන් තමයි මට මේ ආරාධනවා ලැබුණේ. මදර් ලංකා මගේ පළමු සිනමා නිර්මාණය.
රිදී තිරයෙන් ඔබ ඔබව දකිද්දී මොනවාද හිතුණේ ?
ඇත්තටම ගොඩක් සතුටුයි. මම ගොඩක් ආසයි රිදී තිරයට එන්න. ඒ සඳහා ක්‍රීඩකයකුගේ චරිතයක් කරන්න පොඩි අවස්ථාවක් ලැබුණා.
පාසල් යන කාලේ ක්‍රීඩාවට දක්ෂයි කියලත් ආරංචියි?
ඔව්. පාසල් යන කාලේ ක්‍රිකට් ක්‍රීඩා කළා. මෑතක් වනතුරුම ක්‍රිකට් ක්‍රීඩා කළා.
ජාතික කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන හීනය තිබුණේ නැතිද?
එහෙම හීන තිබුණා. හැබැයි මට තිබුණ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒ සිහිනය සැබෑ කරගන්න බැරිවුණා.
චතුරංග කියන්නේ කට්ටක් කාපු කොල්ලෙක් ?
ඔව්. කට්ටක් කාලා තියෙනවා. නැත්තේ නැහැ. මම හිතන්නේ අපි හැමෝම වගේ තමන්ගේ හීන සැබෑ කරගන්න කට්ටක් කනවානේ. ඉතිං මමත් මට හරියන කට්ටක් කාලා තියෙනවා.
මේ දවස්වල සචිත්‍ර ගැන සමාජ මාධ්‍යවල හරියට කතාබහ වෙනවා නේද?
මම හිතුවෙවත් නැති විදිහට තමයි සචිත්‍රට මේ තරම් ප්‍රතිචාරයක් ලැබෙන්නේ. මොකද මම මුලදී හිතුවේ නැහැ සචිත්‍ර කියන චරිතයට මිනිස්සු මේ තරම් ආදරය කරාවි කියලා. මේ වෙනකොට සෑහෙන පිරිසක් හොඳ ප්‍රතිචාර දක්වනවා. සමහර වෙලාවට අපි හිතන්නේ නැති චරිත තමයි පත්තු වෙන්නේ. ඉතිං මේකත් ඒ වගේ අවස්ථාවක්. ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනෑ ශාන් ජයරත්න අයියාටත් ශලනි තාරකා අක්කටත්. ඒ දෙන්නා තමයි මට ඒ අවස්ථාව ලබාදුන්නේ.
සචිත්‍ර කියන්නේ සමරිසි චරිතයක්නේ. පිටපත අතට හම්බවුණහම බයක් හිතුණේ නැතිද මේ වගේ චරිතයක් කරලා බැනුම් අහන්න වෙයි කියලා?
මුලදී නම් පොඩි බයක් ආවා. හැබැයි මම හිතුවා මම ඒ අභියෝගය භාරගන්නවා කියලා. සමහර වෙලාවට අපිට දෙයක් කරන්න පුළුවන් කියලා පෙන්වන්න ලැබෙන අවස්ථා අඩුයිනේ. ඉතිං ඒ වගේ අවස්ථාවක් ලැබුණහම ඒ අවස්ථාව මම මඟහැර ගත්තේ නැහැ.
මගතොටේදී යනකොට බැණුම් අහපු අවස්ථා එහෙම තියෙනවාද?
අනේ නැහැ. මට තවම එහෙම අවස්ථාවලට මුහුණදෙන්න සිද්ධවෙලා නැහැ.
මේ වෙනකොට සචිත්‍රට ලැබුණ හොඳම ප්‍රතිචාරය මොකක්ද?
අම්මෝ තවමත් ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍යවලදී කියවාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. සෑහෙන හොඳ තමයි කියන්නේ.
වීදුරු තිර මේ දිනවල පුංචි තිරයේ ලොකු කැළඹීමක් කරපු නිර්මාණයක්. ඒ සඳහා සම්බන්ධ වෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ?
ඇත්තටම ඒකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටුවෙනවා. අපේ ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට අලුත් අත්දැකීමක් ලබාදෙන්න පුළුවන් වුණා. අපි මෙහිදී කතාබහ කරන මාතෘකාවක් කවුරුවත් කතා කරන්නේ නැති මාතෘකාවක්නේ. එයින් සමාජයට යම්කිසි පණිවුඩයක් දෙන්න පුළුවන් වුණ හින්දා ඒ ගැන ඇත්තටම සතුටුයි.
සචිත්‍ර වගේ චරිත ඔබට සැබෑ ජීවිතයේදී මුණගැසිලා තියෙනවාද?
ඔව්. සෑහෙන මුණගැසිලා තියෙනවා. මගේ යාළුවොත් ඉන්නවා එවැනි චරිත. මම එහෙම කාවවත් කොන්කරලා ආශ්‍රය කරන චරිතයක් නෙමෙයි. මම ඕනෑම මනුස්සයෙක් ආශ්‍රය කරනවා. මොකද ඒක රංගන ශිල්පියෙකුට ගොඩාක් වැදගත්. අපි සමාජයේ ජීවත්වන චරිත නිරූපණය කරන හින්දා ඒ චරිතවල තියෙන අත්දැකීම් ලබාගන්න ඕනෑ. ඒ චරිතයේ තියෙන ස්වභාවය තේරුම් අරගන්න ඕනෑ. සචිත්‍ර වගේ ගොඩක් චරිත ආශ්‍රය කරලත් තියෙනවා. හම්බවෙලාත් තියෙනවා. මට සචිත්‍රගේ චරිතය කරන්න ගොඩක් උදව්වක් වුණා ඒ චරිතවල තියෙන ස්වභාවයන් සහ අත්දැකීම් මම දැකලා තිබුණ හින්දා.
මේ චරිතයට ඔබේ නම යෝජනා කරලා තිබුණේ කවුද?
මම හිතන්නේ ශලනි අක්කා තමයි මගේ නම යෝජනා කරලා තිබුණේ.
ශලනිගේ හිතට ප්ලොට් එක එනකොට චතුරංගව මතක් වෙලා තියෙනවා. එහෙමද?
ඔව්. මතක් වෙලා තියෙනවා. ශලනි අක්කා කතා කරපු පළමු වැඩේ තමයි මේක. ශලනි අක්කා තමයි මට මේ චරිතයට මුලින්ම ආරාධනාත් කළේ.
ජහුටා ටෙලිනාට්‍යයේ රඟපාන්නත් අවස්ථාවක් ලැබුණා නේද?
ඔව්. ඒ ආරාධනාව ලැබුණේ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාගෙන්. පසුගිය සතියේ තමයි ජහුටා විකාශනය වීම ආරම්භ කළේ. ඉදිරියේදී ඒකත් ජනප්‍රිය නාට්‍යයක් වේවි කියලා විශ්වාසයක් තියෙනවා.
දිනේෂ් විතාන
