මට නළුවෙක් වෙන්න ඕනේකමක් තිබුණේ නැහැ -විශ්වජිත් ගුණසේකර

gossiplanka image 2
 


විනූෂ කිරිවන්දෙනියගේ ‘Hello from the other side’ චිත්‍රපටය පසුගිය දා එළිදැක්වුණු අවස්ථාවේදී එහි ඉතා කුඩා චරිතයකට රංගනයෙන් දායක වුණු විශ්වජිත් ගුණසේකර අපට හමුවුණි. චරිතය ඉතා කුඩා වුවත් එය සිනමා නිර්මාණය තුළ කෙටි වේලාවක නිරූපණ කාර්යයක් ඉටු කරනවා මිස නිර්මාණයේ පරිපූර්ණත්වයට නම් එය කුඩා චරිතයක් නොවේ. මහාචාර්ය රණබාහු නම් එම චරිතය නොවන්නට කතාකරුවා සිය නිර්මාණය මඟින් ජනගත කරන්නට වෙර දැරූ සන්නිවේදන කාර්යය නිසි ලෙස ඉටු නොවන්නට ඉඩ තිබුණි.


රනිල් කුලසිංහගේ ‘1990’ ටෙලි නාට්‍යයේ ඔහුගේ රංගනය විශිෂ්ට විය. මේ දිනවල විකාශය ආරම්භ කර ඇති රනිල්ගේ ම ‘හිද්දලයෝ’ ටෙලි නිර්මාණයටත් විශ්වජිත් රංගනයෙන් දායක වූයේය.


“රනිල් කුලසිංහගේ ‘1990’ නාට්‍යයේ මං රඟපෑ ඒ ධනවත් කුලවත් පියාගේ චරිතයට මම ගොඩාක් කැමැතියි. නිල්මිණි තෙන්නකෝන් මගේ දුව හැටියට රඟපෑව‍ා. ඇයගේ ප්‍රේම සම්බන්ධයක් මේ පියා විසින් වැළැක්වීම නිසා ඒ දුව මානසික ව්‍යාධි තත්ත්වයකට පත් වෙනවා. අවසානයේ දුව පියාගේ සීමා මායිම් බිඳගෙන ප්‍රේමය සොයා යනවා. ඒක දරා ගන්න බැරුව පියා වෙඩි තියාගෙන මිය යනවා. එම නාට්‍යයට ප්‍රතිචාර ඒ නාට්‍යය යන අතරතුරදී සමාජයෙන් ලැබුණා. ප්‍රධාන චරිතයක් නිසා ප්‍රසිද්ධියකුත් එයින් ලැබුණා. ඒත් එක්කම ඔහුගේම ‘හිද්දලයෝ’ නාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. ඒකෙ ඓතිහාසික චරිතයක් මම රඟපානවා. ඒ නාට්‍යයත් හරිම අපූරු මහා දැවැන්ත නාට්‍යයක්.”


මෙවර රයිගම් සහ සුමති යන සම්මාන දෙකෙහිදීම විශ්වජිත් හොඳම නළුවාට නිර්දේශ වුණි. එම නිර්දේශය ඔහුට ලැබුණේ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ‘සුසුම් රස්තියාදුව’ නම් ටෙලි නිර්මාණයේ භාතියගේ චරිතය උදෙසාය. එමෙන්ම ඔහු ආනන්ද අබේනායකගේ ‘ජීවිතයට ඉඩ දෙන්න’ ටෙලි නාට්‍යයයේ දුෂ්ටයාගේ චරිතය රඟපෑ අතර ඒ සඳහා ද ඉහළ ප්‍රතිචාර ලැබිණි. ‘රළ බිඳෙන තැන’ රංගනය වෙනුවෙන් හොඳම නළුවා, සහාය හොඳම නළුවා සහ විශේෂ දක්‍ෂතා ඇගැයීම රයිගම්, සුමති සහ ඕ. අයි. සී. සම්මාන උලෙළවලදී විශ්වජිත්ට හිමි විය. එසේම ‘චෙස්’ ටෙලි නාට්‍යයේ රංගනය ද ඔහුට හොඳම නළුවා සම්මානය ගෙන දුණි. වේදිකා නාට්‍ය රැසක ද ඔහු සෙසු චරිත සේ ම ප්‍රධාන චරිත ද ගණනාවක් රඟපා ඇති අතර එයින් චරිත කිහිපයක්ම සම්මාන හා ඇගයුමට ලක් වුණි.


“මම ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ කෙනෙක්. මගේ තාත්තා ග්‍රාමීය මධ්‍යම පන්තියට අයිති කෙනෙක්. මම ගමක ඉපදිලා, ඇළ දොළවල නාලා, වෙල්වල ක්‍රිකට් ගහලා, ගමේ හරි ලස්සනට පිහිටලා තිබුණු කන්දක හොරා පොලිස් සෙල්ලම් කරපු කෙනෙක්. ගම්පහ ගෝතමී කනිෂ්ඨ විද්‍යාලයෙන් ඉගෙනගෙන ශිෂ්‍යත්වය සමත් වෙලා මම කොළඹ ආනන්ද විද්‍යාලයට එනවා. කොළඹ ජීවිතය මම අත්දකින්නේ ඒ අනුවයි. මුලදී ගණිත අංශයෙන් යම් දුරක් යනවා. නමුත් පසුව ශාස්ත්‍රවේදී පළමු උපාධියත්, ශාස්ත්‍රපති උපාධියත් සඳහා මම ඉංග්‍රීසි විෂයය තෝරා ගෙන මගේ ගමන වෙනත් මානයකට හරවා ගන්නවා. මේ වනවිට මම ඉංග්‍රීසි භාෂා උපදේශකවරයකු හැටියට රාජ්‍ය සංවර්ධන පරිපාලන ආයතනයට සම්බන්ධව මගේ වෘත්තීය කටයුතුත්, පෞද්ගලිකව මා විසින් ම සිදු කරන උපදේශන කටයුතු, මගේ ම ව්‍යාපෘති රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ඉදිරිපත් කිරීමේ වැඩසටහන් සහ ඉංග්‍රීසි භාෂා උපදේශනයට අදාළ ව සමාජයීය කටයුතුත් ඉතා සාර්ථක ව කරගෙන යනවා. ඉගැන්වීම් කටයුතුත් කරගෙන යනවා. මගේ ම කියලා ඉගැන්වීම් ආයතනයක් ආරම්භ කරන්නත් සූදානමක් තියෙනවා.” විශ්වජිත්ගේ ජීවිතයේ කිසිම තැනක රංගන ශිල්පියෙකු වීමේ පෙරනිමිති හමු නොවේ. එහෙත් ඔහුගේ පියා රංගන කලාවට බෙහෙවින් ප්‍රිය කළ කෙනෙකි. ඇතැම් නිර්මාණ නැරඹීමේදී විශ්වජිත් ගෙනහැර පෑ විවේචනවලදී පියා ප්‍රතිචාර දැක්වූයේ “ඔයා එහෙනම් ගිහින් මීට වඩා හොඳට රඟපාලා පෙන්වන්න” කියා යි. ඒ හැර රඟපෑම කෙරෙහි විශ්වජිත් පෙලඹවූ අන් කවරකුදු නොවුණි. නමුත් කලාව, රඟපෑම පිළිබඳ අධ්‍යයනය කිරීමට විශ්වජිත්ට උනන්දුවක් ඇති වූයෙන් පුවත්පතක දුටු දැන්වීමකට අනුව සෝමලතා සුබසිංහයන්ගේ නාට්‍ය වැඩමුළුවකට ඔහු සම්බන්ධ වූයේ ය.


“මට නළුවෙක් වෙන්න ඕනේකමක් තිබුණේ නැහැ. අදටත් මට නළුවෙක් කියලා කියාගන්නවත්, ඒ ප්‍රසිද්ධියවත්, මාධ්‍යවල පෙනී ඉන්නවත් ඕනේ කියලා උනන්දුවක් නැහැ. නමුත් මට රඟපෑමේ නියැළෙන්න ඕනෙකමක් තිබුණා. සෝමලතා සුබසිංහයන්ගේ නාට්‍ය වැඩමුළුවට සම්බන්ධ වෙලා පුහුණුව ලබමින් එතුමියගේ සෑම නාට්‍යයකම වගේ රඟපෑවා. මට අදටත් හිතෙන්නේ එතුමිය මට හමුනොවුණා නම් අපරාදේ කියලා. රඟපෑම, කලාව පිළිබඳ එතුමියගෙන් මම හැදෑරූ සහ ඉගෙන ගත් බොහෝ දේ ඉතාම වටිනවා. මම ගොඩාක් නිර්මාණවල රඟපෑවත් මිනිස්සු මාව නළුවෙක් විදිහට හඳුනාගෙන තිබුණේ නැහැ. මම රඟපෑ චරිත පමණයි එයාලා හඳුනාගෙන තිබුණේ. නමුත් ‘1990’සහ ‘සුසුම් රස්තියාදුව’ කියන නාට්‍යවලින් මාව බොහෝ පිරිසක් හඳුනාගත්තා. මඟතොටදී මාව හඳුනාගෙන කතා කරන්න වුණා. ඒ වගේ චරිත රංගනයන් තව තවත් කරන්න කියලා මිනිස්සු ඉල්ලීම් කළා. නමුත් අද රඟපාන්න පුළුවන් චරිත තියෙන පිටපත් නිර්මාණය වෙන්නේ ඉතාම කලාතුරකිනුයි. අපට වඩා ප්‍රවීණ, පුදුමාකර රංගන හැකියාවන් තියෙන, සම් මස් නහරවලින් පවා රඟපාන අති දක්ෂයින් අදටත් නීරෝගිමත්ව යමක් කිරීමේ හැකියාව සහිතව කිසිවක් නොකර සිටිනවා. ඒකට හේතුව මොකක්දෝ වෙළෙඳ මාෆියාවකින් සැබෑ කලාව අද වැසී නොපෙනී ගොස් තිබෙනවා. ඒක ඇතුළේ හොඳ නිර්මාණයකට මතු වෙන්න අමාරුයි සහ හොඳ දෙයක් කිරීමේ හැකියාව ඇති අයගේත් උනන්දුව බිඳවැටී තිබෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය ජාල හරහා නළු නිළියන්ට සිදු වන නින්දා අපහාස කෙනෙහිලිකම් හරි ම කැතයි. මේවා දකිද්දි හරි ම කනගාටුවක් දැනෙනවා.”

gossiplanka image 1
Previous Post Next Post