
සරසවිය සම්මානයක් කියන්නෙ ඕනෑම රංගන ශිල්පියකුගේ හීනයක්. මෙවර ඔබට එහි විශිෂ්ටතම සම්මානය හිමිකර ගන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම ලොකු වගකීමක් පැවරුණා කියලත් හිතෙනවා. සරසවිය සම්මාන උලෙළේ හොඳම නළුවා වෙනවා කියන්නෙ ලොකුම භාග්‍යයක්. ඒක ඕනෑම රංගන ශිල්පියකුගේ හීනයක්. මගේ හීනය තමයි ඒ සැබෑ වුණේ. මේ තරම් ඉක්මනින් මගේ හීනය සැබෑ වුණා කියන එක මට තාමත් අදහගන්න බැහැ.
මෙවර ඔබ හොඳම නළුවා ලෙසින් සම්මානිත වන්නේ මංජු කියන මැර චරිතය නිසා. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?
මංජු කියන්නේ ගිනිඅවි සහ ගිනිකෙළි -2 සිනමාපටයේ එන පාතාල ලෝකයේ පවුලක තරුණයෙක්. එහි අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය සර් තමයි මට ආරාධනා කරන්නේ. මං ඔහුත් එක්ක වැඩ කරන පළමු අවස්ථාව වගේම මේක මගේ දෙවැනි සිනමා අත්දැකීම. ගිනිඅවි සහ ගිනිකෙළි -2 සත්‍ය කතාවක් ඇසුරින් කළ නිර්මාණයක්. මංජු කියන්නේ මේ සමාජයේ ජීවත් වුණු චරිතයක්. ක්‍රියාදාම චිත්‍රපටයක රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්. මෑත ඉතිහාසය ගත්තොත් මං දන්න තරමින් රවීන්ද්‍ර රන්දෙණිය සර් විතරයි මැර චරිතයකට හොඳම නළුවා විදිහට සම්මානයට පාත්‍රවෙලා තියෙන්නේ. මේ චරිතය සාර්ථක කරගන්න උදයකාන්ත සර්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. උදයකාන්ත සර්, ඩොනල්ඩ් අයියා, චාපා ඇතුළු කණ්ඩායම එක්ක දවස් 45ක් හරිම ආසාවෙන් වැඩ කළා. මාව මේ චරිතයට තෝරගැනීම සම්බන්ධයෙන් උදයකාන්ත සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කණ්ඩායමේ හැමෝමවත් සිහිපත් කරනවා.
ධනුක දිල්ෂාන් කිවුවම ඕනෑම කෙනෙකුගෙ මතකයට එන්නේ තණමල්විල කොල්ලෙක්. කොහොමද ඔබ තණමල්විල කොල්ලෙක් වුණේ?
එහි අධ්‍යක්ෂ රොෂාන් රවීන්ද්‍ර අයියාගෙන් තමයි මට ඒ සඳහා ආරාධනා ලැබෙන්නේ. ඔහුගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔහු තමයි මගේ රංගන ජීවිතේට ශක්තිමත්ම අඩිතාලම දැම්මේ. දීප්තගේ චරිතයට මාව තෝරාගත් රොෂාන් රවීන්ද්‍ර අයියවත් මං මේ වෙලාවේ ස්තුතිපූර්වකව සිහිපත් කරනවා. තණමල්විල කොල්ලෙක් ලංකාවේ වගේම ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රියාව වගේ රටවලත් රූගතකිරීම් කළා. ඒ වගේම ලංකාවේ බලහරුව, තණමල්විල, කොළඹ, තිස්සමහාරාමය වගේ පැතිවල රූගත කළා. ලොකේෂන් ගණනාවක ලද ඒ අත්දැකීම් මට අදටත් වටිනවා.
ඔබ මීට කලින් හොඳම කැටගරියෙන් සම්මානිත වෙන්නෙත් දීප්තගේ චරිතයට. ඒ ගැන මතක් කළොත්?
ඔව්. එදා සිග්නීස් OCIC සම්මාන උලෙළේ තණමල්විල කොල්ලෙක් ටෙලි නිර්මාණයේ දීප්තගේ චරිතයට මට සම්මානය හිමි වන්නේ ලංකාවේ ළාබාලතම හොඳම නළුවා විදිහට. මට යමක් කරන්න පුළුවන් වගේම වගකීමක් පවරගන්න පුළුවන් කියන උත්තේජනය ලැබුණේ එදා. ඒක මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිවුවත් හරි. ඒ ලැබුණු උද්දීපනය තමයි ධර්ම යුද්ධය චිත්‍රපටයේ පොඩි චරිතයක් සඳහා මට අවස්ථාව ලබාදෙන්නේ. ඒක ඉන්දියානු නිෂ්පාදනයක් වුණත් ඒ පොඩි චරිතය සඳහා මට ජූරියේ විශේෂ සම්මානයක් හිමිවුණා. දෙවැනි සිනමා නිර්මාණය මට හොඳම නළුවා වෙන්න අවස්ථාව ලබාදුන්නා. ඒක මට ලොකු සතුටක්.
ධනුක කියන්නෙ නිතරම දකින්න ලැබෙන නළුවෙක් නොවෙයි. චරිත තෝරාගැනීමක් කරනවද?
සාමාන්‍යයෙන් මං වැඩක් භාරගනිද්දි තිරපිටපත ගැන හොඳ අධ්‍යයනයක් කරනවා. ඊට පස්සේ අධ්‍යක්ෂවරයා එක්ක ඒ ගැන කතා කරලා ඊට පස්සේ තමයි ඒක භාරගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ. අධ්‍යක්ෂවරයා එක්ක කතා කිරීම තමයි ප්‍රධානම කාරණය. ඊටත් පස්සේ මං හදාරලා තියෙන රංගන වින්‍යාස කොහොමද ඒකට යොදාගන්නෙ කියන එකත් බලනවා. සම්පූර්ණයෙන්ම මං ඒ වෙනුවෙන් කැපවෙනවා. ඒ හැමදේම එකතුවෙලා තමයි මගෙන් හොඳ රංගනයක් එළියට එන්නේ.
මංජු වගේ මැර චරිතයක් තාත්විකව නිරූපණය කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. රූගත කිරීමේදී අමතක නොවන තැන් ඇති?
ඔව්. මංජුව එල්ලලා හොඳටම පහරදෙන තැනක් තියෙනවා. එතැන එල්ලෙන්න ගාංචුවක් තිබුණා. ඒත් ඒකෙ එල්ලිලා යටින් පුටුවක් තිබ්බොත් ඒක කැතට පේනවා. වෙන කරන්න දෙයකුත් නැහැ. ඒ වෙලාවේ උදයකාන්ත සර් මගෙන් ඇහුවා ටික වෙලාවක් ගාංචුවේ එල්ලිලා ඉන්න පුළුවන් ද කියලා. එහෙම එල්ලිලා ඉන්න ගමන් තමයි මට ගුටිකන්න වුණේ. එදා ගෙදර ගිහිල්ලත් ඇඟට අමාරුයි. දවස් දෙක තුනක් යනකල් ඇවිදගන්නත් බැරි වුණා.
හොඳම නළුවාට ලැබෙන සුබ පැතුම් එක්කම සමාජ මාධ්‍යවල ඔබට පුංචි දෝෂාරෝපණයකුත් එල්ල වෙනවා නේද?
ඔව්..ඔව්… “බබල්ගම් එකක් කාගෙන, ස්ටේජ් නැඟලා, මාර පොරක් වගේ සම්මානය ගත්තා“ කියලා කතාවක් ගියා. මම සාමාන්‍ය මනුස්සයෙක්. ඇත්තටම මේක මගේ ජීවිතේට ලැබුණු මාරම අවස්ථාවක්. ඒකත් හීනෙකින්වත් හිතපු මොහොතක නෙවෙයි. මම ආවේ සම්මාන ගන්න නෙවෙයි. මම ආවේ සිනමා උලෙළ බලන්න. මම චුයිංගම් එකක් කකා හිටපු බව ඇත්ත. ඒත් ඒ වෙලාවේ මගේ නම කියවෙද්දි මට ඉන්නෙ කොහේද කියලත් අමතක වුණා. මම කවුද? මම කියන්න ඕන මොනවද? තියා මම එතැනට ගියේ කොහොමද කියලවත් මට මතක නෑ. මම ඒ වෙලාවේ හිටියේ සිහියෙන්ද අවසිහියෙන්ද එහෙම නැත්නම් උද්දාමයට පත්වෙලාද ඒ කිසිදෙයක් මට තේරුණේ නෑ. ඒ අවස්ථාවේ චුයිංගම් එක අයින් කරන්න තියා මගේ කටේ චුයිංගම් එකක් තිබුණ කියලවත් මට මතක නෑ. ඒක මගේ හිතේ තිබුණු මාරම හීනයක්. ඒ නිසා ඒ වෙලාවෙ මං ගොඩක් ටෙන්ෂන් වුණා. ඒ වෙලාවේ ඒක බලන් ඉන්න අයට අශෝභන විදිහට පේන්න ඇති. එහෙම හැඟීමක් ඇති වුණානම් මට සමාවෙන්න. මං දැන් හොඳම නළුවා, මං දැන් මාර පොරක් කියල හිතාගෙන නම් මං චුයින්ගම් කෑවෙ නැහැ.
ඔබේ නවතම සිනමා බලාපොරොත්තුවක් ළඟඳීම ඉටුවෙනවා කියල ආරංචියි?
මගේ ඊළඟ සිනමාපටය ‘මෝඩ තරිඳු’ මේ වෙද්දිත් වැඩ සියල්ල නිමාවට පත්වෙලා. ක්ලැරන්ස් ෆිල්ම් එකෙන් පස්සේ තිරගත වීමට නියමිතයි. තිසර ඉඹුලාන සහ තිසර මංගල බණ්ඩාරගේ සම අධ්‍යක්ෂණයක්. මේ දිනවල ජනප්‍රිය සිනමාපට රැසක් නිසා සිනමාශාලා ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී ගියා. ඊටත් වැඩි ප්‍රේක්ෂකාගාරයක් මෝඩ තරිඳුට නිර්මාණය වේවි කියලා මට විශ්වාසයි. මං එහි ප්‍රධාන චරිතය නොවුණත් ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් නිර්මාණයක්. ජගත් බෙනරගමගේ නවතම ටෙලි නිර්මාණයටත් රංගනයෙන් දායක වුණා. ඊට අමතරව තවත් ටෙලි නිර්මාණ තුනක් විකාශය වීමට නියමිතයි.
ධනුකට ආදරය කරන ප්‍රේක්ෂකයින් ඔබේ පෞද්ගලික තොරතුරු දැනගන්නත් කැමැත්තෙන් ඇති?
මට ඉන්නෙ අම්මයි, තාත්තයි, නංගියි. තාත්තා මේ දවස්වල ඉන්නේ ඩුබායිවල. අම්මත් ලබන නොවැම්බර් විදෙස්ගත වෙනවා. මගේ නංගි ඉන්නෙත් ඔස්ට්‍රේලියාවේ. ලබන ජනවාරියේ මාත් එයාව බලන්න යනවා. ලබන අවුරුද්දේ ඉඳන් කොහොමත් මට තනියම තමයි ජීවත් වෙන්න වෙන්නේ. මගේ අම්මගෙයි තාත්තගෙයි පවුල්වල පිරිස ගොඩක් විශාලයි. ඔවුන් හැමෝමත් මං ගැන හොයලා බලනවා. මට උදවු කරනවා. එයාලවත් ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම පෙර පාසලේ ඉඳන් මේ දක්වා මට ඉගැන්වූ හැම ගුරුවරයෙක්ම නමස්කාරපූර්වකව සිහිපත් කරනවා.
තනිකමට කවුරුවත් හොයාගන්න අදහසක් නැද්ද ඉතින්?
තනිකමට මට හොඳ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. ගෑනු ළමයෙක් ගැන නම් තාම අදහසක් නැහැ. දැන් ගොඩ කාලෙක ඉඳන් එහෙම සම්බන්ධයක් ගොඩනඟා ගන්න බැරි වුණා. මං මේ දවස්වල මික්ස් මාෂල් ආර්ට් (MMA) ශිෂ්‍යයෙක් විදිහට සතියට දවස් තුනක් ක්ලාස් යනවා. ලංකාවේ හොඳම ෆයිටර් මලින්ද අමරසිංහ තමයි මගේ කෝච්. මේ අවුරුද්දේ මික්ස් මාෂල් ආර්ට් තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ මං. ඒක කික් බොක්සිං, බොක්සිං, මියුතායි කියන කොටස් තුනේ එකතුවෙන් හැදෙන ෆයිටින් ටූනමන්ට් එකක්. මේ දවස්වල ක්‍රීඩකයෙක් විදිහට තමයි කාලය ගත කෙරෙන්නේ.
ධනුක මේ ක්ෂේත්‍රයට පැමිණි ඒ කුඩා වියත් සිහිපත් කරමු නේද?
කොළඹ ලුම්බිණි විද්‍යාලයේ 6 වසරේ ඉගෙන ගන්න කාලේ ලුම්බිණි රඟහලෙන් මගේ කලා ජීවිතේ පටන් ගන්නේ. පාසල් වේදිකාවේ මං හරිම ජනප්‍රියයි. හොඳම නිළිය විදිහටත් මට සම්මාන ලැබිල තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ශ්‍රීමතී ලියනගේ මිස්, වසන්ත ඥානප්‍රිය සර් සහ කුෂාන් අයියා අපේ පාසලට ඇවිත් හොඳට රඟපාන අයව තෝරගෙන අතුරු මිතුරු වගේ රූපවාහිනී ළමා වැඩසටහන්වලට සම්බන්ධ කළා. ඒ විදිහට වෙසක් නාට්‍ය, නත්තල් නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබුණා. රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක අයියලාගේ තූර්යා ටෙලි නිර්මාණයේ ප්‍රධාන භූමිකාවෙන් තමයි මං පුංචි තිරයට පිවිසෙන්නේ. ඒ පටන් ගැන්ම තමයි මේ දක්වා ආවේ.
ඡායාරූප- නිශ්ශංක විජේරත්න
