කලාකරුවන් වෙනුවෙන් පෙරට එන සේනක විජේසිංහ

gossiplanka image 1
ජනප්‍රිය නළු සේනක විජේසිංහ මේ දිනවල අලුත් වැඩකට අතගසා තිබෙනවා. ඒ ගැන තොරතුරුත් ඔහුගේ තොරතුරුත් දැන ගන්න අපි ඔහුට කතා කළා. සේනක මේ දවස්වල Ceylon Artist Council යන නමින් කලා සංගමයක් ආරම්භ කර තිබෙනවා. මෙහිදී සිදුවන්නේ සාම්ප්‍රදායිකව පැවති කලාකරුවන් ඇගයීමේ ක්‍රියාවලියෙන් එහා ගිය දෙයක්. කලාකරුවෙක් මියගිය විට පමණක් නොව ඔවුන් ජීවත්ව සිටියදී ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට නොහැකි අවස්ථාවලදී ඔවුන්ට අනුග්‍රාහකයින් සොයා දී එම නිර්මාණ එළිදක්වන්න උදව් උපකාර කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.


“ලංකාවේ බොහෝ කලාකරුවන් ගීතයක්, පොතක්, නවකතාවක් ලියාගෙන බලාගෙන ඉන්නවා. ඒක සමාජයට එළිදක්වන්න විදිහක් නෑ.”


මේ වගේ උදවු අවශ්‍ය අයට ඒ සඳහා මඟ පෙන්වීම මෙම සංගමයේ අභිප්‍රාය වන අතර ඒ සඳහා තනිවම සංගමයක් වශයෙන් කටයුතු කිරීමට නොහැකි බැවින් චීනය, තුර්කිය, ඉන්දියාව, ඩුබායි වැනි රටවල්වල කලාවට සම්බන්ධ ආයතන සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ සහයෝගයද ඇතිව මෙය සිදු කරන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.


“ඊට අමතරව ලංකාවේ කලාවට සම්බන්ධ වෙලා කටයුතු කරන අවස්ථාවේදී ඔවුන්ව ඇගයුමට ලක් කළත්, කලාවෙන් ඈත් වන විට ඔවුන්ව සම්පූර්ණයෙන්ම අමතක කරන්න පුරුදු වෙලා ඉන්නවා. තව මේ වෙනකොට ඇගයීමට ලක් විය යුතු වුණත් ඇගයුමට ලක් නොවුණු කලාවට සේවය කරපු ගොඩක් අයත් ඉන්නවා. අපට ඕනේ ඒ අයගෙන් කලාවට වූ සේවය නැවත මතක් කරන්න.”


මෙම සංගමයේ එක් අදියරක් ලෙස අගෝස්තු 29 වැනි සිකුරාදා BMICH හිදී සම්මාන උ‍ෙලළක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත. එහිදී සිනමාව හා සංගීතය යන ප්‍රධාන ක්ෂේත්‍රයන් දෙක පමණක් මෙවර මූලික කරගන්නා බවත් සම්මාන ලාභියාට හා සම්මාන ලාභියා වෙනුවෙන් අනුග්‍රාහකත්වය ලබා දෙන පුද්ගලයාටද සම්මානයක් ලබාදෙන බව ප්‍රකාශ කළා. එකවර සම්මාන දෙකක් ලබාදෙන අවස්ථාවක් ලෙසද මෙය පෙන්වා දෙන්න පුළුවන්. ලංකාවේ මෙතෙක් කලා ක්ෂේත්‍රයේ නියැළී සිටි කලාවට විශාල සේවයක් කළ කලාකරුවන් 21 දෙනෙක් මෙවර සම්මාන උලෙළ සඳහා තෝරාගෙන සිටින බවද ඔහු පැවසුවේය. ඒ අතර මෑතකදී අප අතරින් සමුගත් සිංහල සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකා, ඊට අමතරව වර්තමානය වන විට කලාවට අඩුවෙන් සම්බන්ධ වුවත් කලාවට ඔවුන්ගෙන් සිදු වූ සේවය අගයනු වස් රවීන්ද්‍ර රන්දෙණිය, සෝමපාල ලීලානන්ද, ධර්මසිරි බණ්ඩාරනායක වැනි අය මෙවර සම්මානයට පාත්‍ර වෙනවා.


මෙම සංගමයේ අනුශාසකයින් වශයෙන් චන්දන උපාලි, බෙනට් රත්නායක, සොහාන් වීරසිංහ, නිලේන්ද්‍ර දේශප්‍රිය ද, ජාතික සංවිධායක වශයෙන් චම්පික විජේසූරිය ද, උප සභාපති ලෙස රොජර් සෙනෙවිරත්න, මහේෂ් රන්දෙණිය ද භාණ්ඩාගාරික ලෙස වසන්ත විජේන්ද්‍ර ද වර්තමානය වන විට කටයුතු කරනවා.


ප්‍රභාෂලී රත්නායක

gossiplanka image 2
Previous Post Next Post