
නටාෂා, චාපාට කොතරම් සමීප චරිතයක් ද කියල ඇහුවොත්?
එක පාරටම දකිද්දි ඕනෙම කෙනෙකුට හිතෙන්නේ නටාෂා කියන්නේ හරිම සරල සැහැල්ලු චරිතයක් කියලා. නමුත් මරණය කියන එක දැන දැනම එදිනෙදා ජීවිතයේ කිසිම බරක්පතළක් නැතුව එදා ගැන විතරක් හිතලා සැහැල්ලුවෙන් ජීවත් වන කෙනෙක්. චාපාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. මුලින්ම මම මේ චරිතය භාර ගන්න කැමැති වුණෙත් නැහැ. මට කරගන්න පුළුවන් වෙයි ද කියලා බය හිතුණා. ඒ මම සාමාන්‍ය ජීවිතෙත් අහිංසක චරිතයක් නිසා. ඒ වගේම මං මෙතෙක් දායක වෙලා තිබුණෙත් අහිංසක චරිතවලට. නටාෂා කියන්නෙ ජීවිතය ගැන හරිම සැහැල්ලුවෙන් හිතන හරිම සෙල්ලක්කාර චරිතයක්. අද ඇයට පිරිමි ළමයෙක් හමුවුණොත් හෙට ඔහුත් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන විනෝද වෙන්න ඇය දෙපාරක් හිතන්නෙ නෑ. මේ චරිතය සාර්ථක කරගන්න අධ්‍යක්ෂ සේනාන් විමලවීර, කවීෂ ඇතුළු කණ්ඩායමෙන් පුදුමාකාර සහයෝගයක් ලැබුණා. අපි ඔක්කොම සම වයසේ වීමත් ඒකට රුකුලක් වුණා. ඔවුන් තමයි මාව මෝටිවේට් කළේ. ඔයාට පුළුවන්. අපි මේක කරමු. මේ ඩයලොග් මෙහෙම කියන්න කිය කියා හැමෝම මට ලොකු සහයෝගයක් දුන්නා. ඒ හැමෝම මං මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. මං හිතනවා මං නටාෂාට සාධාරණයක් කරල ඇති කියලා.
කොහොමද ආරාධනා ලැබෙන්නේ?
මං මීට කලින් මල්පිට මල් කියලා ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙලා හිටියා. ඒකේ සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණු මල්ලි කෙනෙක් තමයි මගේ ෆොටෝ එකක් මාරක සර්කස් අධ්‍යක්ෂ සේනාන් විමලවීරට පෙන්නලා මෙයා තමයි ඔය චරිතයට ගැළපෙන්නේ කියලා නිර්දේශ කරල තිබුණේ. ඒ විදිහට තමයි මට මේ චරිතයකට පණ පොවන්න අවස්ථාව ලැබෙන්නේ.
නටාෂාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මාරක සර්කස් තාම ගොඩක්ම ජනතාව අතරට යන්න කාලයක් වුණේ නැහැ. ඒක පටන් ගෙන බොහොම ටික කාලයයි. ඒත් මං ගැන දන්න අය නම් බලලා කියනවා ඔයාව වෙනස්ම විදිහකට දැක්කා කියලා. හොඳට චරිතය කරනවා කියලා. ගෙදර අයට වගේම මගේ යාළුවන්ටත් ගොඩක් සතුටුයි මාව ටීවී එකෙන් දැක්කම. මේක මගේ පළමු රංගන අත්දැකීම නොවුණට විකාශය වන පළමු නිර්මාණය මේක. ඒ නිසා පළමු වතාවට තිරයෙන් දකින්නේ ‘මාරක සර්කස්’ හරහා.
එතකොට ඔබේ පළමු රංගන අත්දැකීම කොහොම එකක් ද?
මං ITN අවුරුදු කුමරිය වීමත් එක්ක ස්වාධීන රූපවාහිනියෙන්ම තමයි මාව තිර පරීක්ෂණයකට යොමු කළේ. ධනුෂ්ක රත්නායක එදා නළු නිළියෝ තෝරගන්න ආවේ. එතැනදි තමයි ඔහුගේ මල් පිට මල් කියන ටෙලි නිර්මාණයට මාව තෝර ගත්තේ. ඒක තමයි මගේ පළමුවැනි රංගන අත්දැකීම. නමුත් ඒක තාම විකාශය වුණේ නැහැ. ඊට පස්සේ මට අජිත් ධර්මසූරිය සර්ගේ සිහින සේයා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒකේ සේයා කියන ප්‍රධාන චරිතයට තෝරගත්තේ මාව. විශේෂම කරුණ වෙන්නේ ඔහු මාව තෝරගත්තේ පින්තූරයකින් විතරක් දැකලා. ෂූටින් පටන් ගන්න කලින් දවසේ තමයි ඔහු මාව සජීවීව දැක්කේ. මා ගැන තැබූ විශ්වාසය පිළිබඳව මං අජිත් සර්ට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තාරක අධිකාරිගේ අළුපාට මිනිස්සු කියන ටෙලි නිර්මාණයටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එයත් තාම විකාශය වුණේ නැහැ.
රංගනය ගැන අත්දැකීම් අඩු ඔබට සිනමාවේ ප්‍රධාන භූමිකාව අභියෝගයක් වුණේ නැද්ද?
ඒක ලොකු අභියෝගයක්. එතැනදී කණ්ඩායමම මට ලබාදුන් සහයෝගය නොවෙන්න මට එය සාර්ථකව කරගන්න බැරි වෙනවා. ලක්ෂ්මන් මෙන්ඩිස්, සේමිණී ඉද්දමල්ගොඩ, විශ්ව කොඩිකාර, චමත්කා ලක්මිණී, ධනංජි තාරුකා. ඉඳුනිල් අතපත්තු වැනි ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල පිරිසක් එක්ක මට සම්බන්ධ වෙන්න ලැබුණා. මං නවකයෙක් කියලා නොහිතා ඔවුන් මට ගොඩක් උදව් කළා. විශේෂයෙන්ම ලක්ෂ්මන් අංකල් සහ සේමිණී අක්කා අම්මා තාත්තා වගේ මට හැමදේම කියලා දුන්නා. මේ ක්ෂේත්‍රයේ ඉදිරියට ඉන්න ඕන කොහොමද කියන එකත් ඔවුන් කියලා දුන්නා.
ඔබේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කියමු?
මගේ ගම කුරුණෑගල ගල්ගමුව. මට ඉන්නේ අම්මයි, අප්පච්චියි, අයියලා දෙන්නයි. ඔවුන් හැමෝම හැමදාම මගේ සෙවණැල්ල වගේ හිටියා. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිධාරිනියක්. ඒ සම්බන්ධයෙන් රැකියාවක් කරන අතරේ රංගනයට සම්බන්ධ වෙන්නයි මගේ බලාපොරොත්තුව. මගේ පවුලේ උදවිය වගේම මට සහෝදරියක් වගේ හැම වෙලේම මගේ ළඟින් ඉන්න මගේ යාළුවා අයේෂා හංසිනීවත් මේ වෙලාවේ ආදරෙන් සිහිපත් කරන්න ඕන.
