
නයෝමි, ‘රාග’ ගැන රසිකයො මොකද කියන්නෙ?
රාග පටන්ගත්ත දවසෙ ඉඳන් දවසින් දවස ප්‍රතිචාර වැඩිවුණා. අදටත් ඒක ඒ විදිහටම තියෙනව.
වින්ඩිගෙ චරිතය ඔබට දැනුණෙ කොහොමද?
වින්ඩිට සිදුවෙලා තියෙන දේවල් එක්ක ඇය ජොබ් එකට යන එක, ඒකෙන් ඉවත්වෙන එක, පත්තර මහත්තවරුන්ගෙන් එන පීඩනය, මේ දේවල් එක්ක මට ඇය ගැන දැනුණෙ අනුකම්පාවක්.
පැබ්ලෝ ගැනත් කතා නොකරම බැහැ?
ඔව්, ඇත්තටම පැබ්ලෝ කියන්නෙ ඉතාමත් හොඳ නිර්මාණයක්. හොඳ පිටපතක්. එහි මට ලැබිල තියෙන්නෙත් මෙතෙක් මට නොලැබුණ වෙනස් චරිතයක්.
මේ චරිත දෙක අතරින් වැඩි ප්‍රතිචාර ලැබෙන්නෙ?
රාග ටෙලි නාට්‍යය විකාශය වෙන්න පටන් අරගෙන දැන් කාලයක් ගතවෙන නිසා එහි චරිතයට ලැබෙන ප්‍රතිචාර වැඩියි.
නයෝමි මේ දවස්වල වැඩිපුරම ජනප්‍රිය ‘මල්’ නිසා?
ඔව්, අපි ගොඩක් පරීක්‍ෂණ පවත්වල තමයි මේ නිෂ්පාදනය එළිදක්වන්නෙ. අපි හොයාගත්ත විදිහට ඊජිප්තු කාලෙ ඉඳන්ම මිනිස්සු බොහෝ දේවල්වලට නිල් මානෙල් පාවිච්චි කරල තියෙනව. ඒ පරීක්‍ෂණවල පතිපලයක් විදිහට අපි නිල්මානෙල්වලින් තේ, හෙයාර් ඔයිල්, ෆේෂ් වොෂ් වගේ නිෂ්පාදන කිහිපයක්ම සකස්කරගෙන තියෙනව. තව නොබෝ දිනකින් අපි ඒක එළිදක්වනව. මේ දවස්වල ෂුටිංවලට අමතරව එහි වැඩකටයුතුත් එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නෙ.
නයෝමි රංගන ශිල්පිනියකට අමතරව දැන් ව්‍යාපාරික කාන්තාවක්?
රංගන ශිල්පිනියක් වෙනව කියන දේ මම පුංචි කාලෙ ඉඳන්ම ආසාවෙන් හිටපු දෙයක්. නමුත් දැනට රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක රංගනයෙන් පමණක් අපිට ජීවත් වෙන්න අපහසුයි. ඒ නිසා බොහෝ දෙනෙක් අමතර වෙනත් යමක් කරනව. මමත් ඒ දේ කලින් ඉඳන්ම කරගෙන ආවා. නමුත් මේ ව්‍යාපාරය ලංකාවට පමණක් නෙවෙයි, ලෝකෙටම ගෙනියන්න තමයි මම උත්සාහ කරන්නෙ.
කොහොමද මේ අදහස එන්නෙ?
ඇත්තටම මේක මගේ අම්මගෙයි තාත්තගෙයි පුංචි වැඩක්. අම්මා පූජා කරන්න හදාගත්ත මල් ටික තාත්තා -වැඩිදියුණු කරල ගත්තා. දැන් අක්කර දහයක් විතර තියෙනව. නමුත් මේ අක්කර දහයටම අපිට එන ඕඩර්ස් අඩුයි. ඊට වඩා අපේ වියදම වැඩියි. ඒ අතර මම කල්පනා කළා මේවායින් නිෂ්පාදනයක් කළොත් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේද කියල. ඒ අනුව තමයි මේ ව්‍යාපාරය බිහි වෙන්නෙ.
ඔබේ තාත්තාට වගාව අලුත් දෙයක් නොවෙයි?
ඔව්, තාත්තා ඉස්සර වගාවන් වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. කුඹුරු හාන, කුල්ලෙන් වී හුළංකරන කාලෙ ඉඳන්ම මම මේ දේවල් අත්විඳල තියෙනව. ඒක හරි සුන්දරයි. ඉතිං ඒ සුන්දරත්වයට මම හරි ආසයි. ඇත්තටම මට මේ දේවල් අමුතු අත්දැකීමක් නෙමෙයි.
අදවෙනකොට මම හිතන්නෙ ලංකාවේ වන්දනාකරුවො වැඩිපුරම මල් ගන්නෙ අපෙන්.
රඟපෑම් වැඩකටයුතු එක්ක කොහොමද කාල වේලාව වෙන්කරගන්නෙ?
ඇත්තටම ඒකට මගේ අම්මටයි තාත්තටයි තමයි ස්තූතිවන්ත වෙන්න ඕන. මම අදහස් දුන්නට ඔවුන් දෙදෙනා තමයි ඒ දේවල් රැකබලාගෙන වැඩටික කරගෙන යන්නෙ.
සෙට් එකේදි නයෝමිට දැන් ලැබෙන ප්‍රතිචාර වෙනස් ඇති?
මම නෙල්ලිකුලමෙ නිසා නෙළුම් නගා කියල තමයි ගොඩක් දෙනෙක් මට කතාකළේ. ඒක දැන් මේ ව්‍යාපාරයත් එක්ක නිල් මානෙල් වෙලා.
මේ උත්සාහය අතහරින්න හිතුන වාරත් තිබුණද?
ඔව්, ඇත්තටම එහෙම අවස්ථා තිබුණා. තාත්තට අම්මට බ්‍රෑන්ඩ් එකක් නිෂ්පාදනය කරන්න අදහසක් තිබුණෙ නැහැ. ඔවුන්ගෙ අයිඩියා එක වුණේ කම්පැනිවලට දෙන එක. කොරෝනාත් එක්ක කම්පැනි වහල දැම්මට පස්සෙ තාත්තගෙ බලාපොරොත්තු නැති වුණා. මේ නිසාම තමයි මම දිරිගැන්විලා නිෂ්පාදනයක් කරන්න අදහස් කළේ.
ව්‍යාපාර කටයුතු නිසා රඟපෑමට සමුදෙන්න අදහසක් තියෙනවද?
නැහැ නැහැ… දැනටත් මගේ ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙනවා. ඒ වගේම චාලක රණසූරිය අයියගෙ ‘අටවන බුවනෙක’ වේදිකා නාට්‍යයේ පෙර පුහුණුවීම් කටයුතු සිදුකරනව. ලබන මාසයේ 14/15 දිනවල දර්ශනවාර පටන්ගන්නව. අලුත් ටෙලි නාට්‍යයක පළමුවැනි ෂෙඩුල් එක අවසන් කරල තියෙනව.
නයෝමි ගමේ හිටිය නම් මේ වනවිට මොනව කරාවිද?
මම කොළඹ ආවේ ටවර් හෝල් රඟහල පදනමේ නාට්‍ය හා රංග කලා පාසලට, මගේ උපාධිය වෙනුවෙන්. ඒකට අවේ නැත්නම් ඉක්මනින් කසාදයක් බැඳගෙන, දරුමල්ලොත් හදාගෙන ගමට වෙලා ඉඳීවි.
උපාධියේ වැඩකටයුතු කොහොමද?
නාට්‍ය හා රංග කලාව උපාධියේ වැඩකටයුතු මේ වනවිට අවසන් වෙලා තියෙනව. ගුරු වෘත්තියට රජයේ පාසලකින් එන්න බලාපොරොත්තුවක් නැහැ.
නයෝමි තක්‍ෂිලා කියන්නෙ කවුද?
නයෝමි තක්‍ෂිලා කියන්නෙ එක එක තැන්වලට වෙනස් වෙන කෙනෙක්. හරියට වතුර වගේ. ගෙදර ගියාම මම නිළිය නෙමෙයි, හැමෝගෙම බබා. මොකද ගෙදර හැමෝම මට කතා කරන්නෙ බබා කියල. සෙට් එකට ගියාම නිළිය. යාළුවො අතරට ගියාම හොඳ යාළුවෙක්. තැනේ හැටියට ඇණේ ගහගෙන ඉන්නව.
සිනමාවේ වැඩ කටයුතු කොහොමද?
මම සිනමා නිර්මාණ දෙකකට දායක වෙලා තියෙනව. එකක් ඉන්දියන් ඩිරෙක්ටර් කෙනකුගෙ වැඩක්. අනෙක් නිර්මාණය සුරංග අයියගෙ. මේ නිර්මාණ දෙකම ඉදිරියේදී තිරගත වෙයි කියල විශ්වාස කරනව.
මහේෂ් එදිරිසිංහ
