නිර්මාණවල චරිතම කරලා මට මාවත් අමතක වෙලා -චතුරංග කොඩිතුවක්කු

gossiplanka image 2
මේ දිනවල ස්වාධින රූපවාහිනී නාළිකාවේ විකාශය වන වීදුරුතිර ටෙලි නිර්මාණය ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් සාර්ථකව විකාශනය වෙයි. සංස්කෘතිය නමැති රාමුව තුළ ගොඩනැඟෙන අසම්මත බැඳීමක් පාදක කරගනිමින් නිර්මාණය වන වීදුරුතිර ශාන් ජයරත්නගේ අධ්‍යක්ෂණයකි. එය නොබියව විකාශය කිරීමේ අභියෝගය භාර ගත් ස්වාධීන රූපවාහිනී නාළිකාව ද මෙහිදී ස්තුතිපූර්වකව සිහිපත් කළ යුතුය. එහි සචිත්‍ර නමැති සමරිසි භූමිකාවට පණ පොවන චතුරංග කොඩිතුවක්කු සිය අභියෝගාත්මක රංගනය පිළිබඳව අප හා පැවසුවේ මෙවන් අදහසකි.


සචිත්‍ර නිසා චතුරංගට මේ දිනවල ගොඩක්ම ප්‍රතිචාර ලැබෙනවා නේද?


ඔව්. ඔව්. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක්ම ලැබෙන්නෙ හොඳ පැත්තට. සාමාන්‍යයෙන් ඕනෙම දේක වැරැදි පැත්ත දකින පිරිසකුත් මේ සමාජයේ ඉන්නවා. ඒ වගේ අය මේක දිහා වැරැදි කෝණයකින් බලන අවස්ථාත් තියෙනවා. සමස්තය ගත්තම හොඳයි කියන පිරිස වැඩියි.


සචිත්‍ර කියන්නේ සමරිසි චරිතයක්. ඒ වගේ චරිතයක් භාරගනිද්දි මොනවගේ හැඟීමක් ද දැනුණේ?‍


වීදුරුතිර කියන්නේ ශලනි තාරකාගේ කන්සෙෆ්ට් එකක්. තිරපිටපත ගයනී අශිංසලා. අධ්‍යක්ෂණය ශාන් ජයරත්න. ශලනි අක්කා තමයි මුලින්ම මට කතා කළේ. මල්ලි, මේ වගේ වැඩක් තියෙනවා. මොකද කියන්නේ කියලා. ඒ වෙලාවෙ නම් පොඩි චකිතයක් ඇති වුණා. කොහොමද මං මේ චරිතය කරන්නේ? ප්‍රේක්ෂකයින් මාව කොහොම පිළිගනීද? මීට පස්සේ මා දිහා මොන විදිහට බලයිද? ආයෙම මට වැඩ නැති වෙයිද? මේ වගේ දහසක් ප්‍රශ්න හිතට ආවා. ඒත් රංගන ශිල්පියෙක් විදිහට මට ඕනෑම චරිතයක් නිරූපණය කිරීමේ හැකියාව තියෙන්න ඕන. ඒ චරිතය සමරිසි ද? ස්ත්‍රී දූෂකද? මත්ලෝලී ද? ලෝකයේ නරකම මිනිහ ද කියන එක මට අදාළ නැහැ. ඒක චරිතයක්. ඒකට සාධාරණයක් කිරීම තමයි මගේ වගකීම. අනිත් අතට චරිතයකට අනුගත වුණහම එතැන ඉන්නේ චතුරංග කොඩිතුවක්කු නොවෙයි. ඒ මං රඟදක්වන චරිතය. මං චරිත තෝරා ගැනීමක් කරන්නෙ නැහැ. ඕනෙම චරිතයක් භාරගන්නවා. කොහොමත් මං කැමැතියි අත්හදා බැලීම් කරන්න. මට හිතුණා මේකත් අත්හදා බලන්න. මං ඒ අභියෝගය භාරගත්තා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක බලද්දි මට හිතෙනවා මං සාර්ථකයි කියලා.


චතුරංගට කොහොමද සචිත්‍රව දැනුණේ?


අපි මේ සංස්කෘතික රාමුවකට කොටුවෙලා යන ගමනක්නේ. ඒ නිසා මිනිස්සු විවෘතව හිතන්නෙ නැහැ. එහෙම නැතුව මේක අද ඊයෙක සිදුවුණු දෙයක් නෙවෙයි. ඉස්සරත් මේ වගේ සබඳකම් තිබිල තියෙනවා. ඒත් ඒවා සමාජයට විවෘත වුණේ නැහැ. වර්තමානයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී නිසා ඒ වගේ දේවල් වේගයෙන් සමාජය තුළ සංසරණය වන නිසා ගොඩක් දෙනෙක් හිතන්නේ මේක අලුත් දෙයක් කියලා. ඒකයි මේක අමුතු දෙයක් විදිහට දකින්නේ. මේක හැම රටකම වගේ තියෙන දෙයක්. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් එක්ක මේ වගේ දේවලට හැඩගැහෙනවා ඇති. එහෙම පිරිසක් ඕනෙම රටක ඉන්නවා. අපි නිර්මාණයක් හරහා ඔවුන් වෙනුවෙන් හඬක් නැඟුවා. ඔවුන්ගෙන් ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේ චරිතයක් කරන්න ලැබීම ගැන ඇත්තටම මං සතුටු වෙනවා.‍


සචිත්‍ර නිසා ඔබටත් බැණුම් අහන්න ලැබෙන අවස්ථා ඇති. මොකද හිතෙන්නේ?


ගොඩක්ම ප්‍රතිචාර ලැබෙන්නේ හොඳට රඟපානවා කියලා. ඒ අතරේ ඉතින් එක එක චෝදනාත් එනවා. ඒක ඉතින් රංගනයට විතරයි. මං කවුද කියන එක මම හොඳින් දන්නවා. ඒ නිසා මට කිසිම ගැටලුවක් නැහැ. කොහොමත් අපි දෙයක් කරද්දි හොඳ නරක දෙකම බලාපොරොත්තු වෙන්න ඕන. ශලනි තාරකා, ශාන් ජයරත්න කියන්නේ ක්ෂේත්‍රයේ දක්ෂයින්. ඔවුන් ගැන මං හොඳින් දැනන් හිටිය නිසා මේක හොඳ වැඩක් වෙයි කියලා මට හිතුනා.


මෙහි ඔබේ සහායකයා චමීර කියන්නෙත් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්.. ඔහුගෙන් ලැබුණු සහාය ගැන කතා කළොත්?


චමීර ලියනගේ අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි. සුලෝචනගේ චරිතයට ඔහු උපරිම සාධාරණයක් කරනවා. ඒ වගේම මගේ චරිතයටත් ලොකු සහායක් දෙනවා. මගේ චරිතය සාර්ථක වෙන්නත් ඔහු එක හේතුවක් වුණා. වීදුරු තිර ඉදිරියේදී වැඩි වැඩියෙන් කතාබහට ලක්වන ටෙලි නිර්මාණය බවට පත්වේවි කියන විශ්වාසයත් අපට තියෙනවා. ඒ වගේම වගකිවයුතු ආයතනයක් විදිහට ස්වාධීන රූපවාහිනී නාළිකාව වීදුරුතිර විකාශය කරන්න භාරගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඔවුන් භාරගත්තේ ලොකු අභියෝගයක්.


චතුරංග කියන්නේ හැමදාම කාර්යබහුල චරිතයක් කියලයි හිතෙන්නේ?


ඒක තමයි ඇත්තම කතාව. මේ දවස්වල මට සාමාන්‍ය ජීවිතයක් නැති තරම්. ප්‍රතික්ෂේප කරන්න බැරි කමට ඔක්කොම නිර්මාණ භාරගත්තට දැන් හිතෙනවා වැඩිද කියලත්. නිර්මාණවල චරිතම වෙලා දැන් මට මං වෙන්නවත් වෙලාවක් නැති වෙලා. ඉදිරියේදී චරිත තෝරාබේරා ගැනීමක් කරලා, නිර්මාණ භාර ගැනීම සීමා කරලා, පොඩි විවේකයක් ගන්නත් අදහසක් තියෙනවා.

gossiplanka image 1
Previous Post Next Post