මගේ හීනයක් හැබෑ වුණා වගේ හැඟීමක් මට තියෙනවා -සබීතා පෙරේරා

gossiplanka image 2
පත්තරවල මුල් පිටුවලින් කාමරවල බිත්ති සැරසූ යුගයක් තිබුණා මතක නම් ඒ අතරින් ඇයගේ සේයාරූ ද බහුල වූ බව වත්මනේ සිහි වනු ඇත. ළා දුඹුරුවන් ඇයගේ දෑස්වලටත්, මුව පිරුණු අවිහිංසක සොඳුරු සිනහවටත් වශී වූයේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරවයි. බොහෝ චරිත අතර විරාගයේ බතීත්, සරසවි දියණියෝ චිත්‍රපටයේ ඇය රඟපෑ අයුරුත් මගේ මතකයෙන් නොමැකෙනු ඇත. අහේතුවකට සරසවි දියණියෝ නරඹන්නට වරම් නොලද නමුත් එහි රූගත කිරීම් කළ දර්ශනතලයක ඇය රඟපාන අයුරු පැය ගණනක් මම බලා උන්නෙමි. එහෙයින් ඒ චරිතය මගේ හද ගැබෙහි නිදන්ගත වුණි. ඒ මීට වසර තිහකටත් එහා අතීතයේ දිනයකදී ය. කාලය බොහෝ ගෙවී ඇති නමුත් ඇයගේ රූප සෞන්දර්යයත්, ආදරණීය සිනහවත් එදා ලෙසින් ම නොවෙනස් ව පවතී.

වර්ණකුලසූරිය උස්වත්ත ලියනගේ ස්ටැන්ලි පෙරේරා අපගේ පරපුරේ වැඩිහිටි පරපුරට හමු වන්නේ කැළෑ හඳ, අයිරාංගනී, දුප්පතාගේ දුක, සැපත සොයා, ළා දළු, අක්කා නගෝ, චණ්ඩාලි, සසර වැනි චිත්‍රපට බොහෝමයක රඟපෑ රංගන ශිල්පියෙකු ලෙසිනි. සඳා, ඉවසන දනා, හතර කේන්දරය වැනි චිත්‍රපට කිහිපයක් ඔහු අධ්‍යක්ෂණය ද කළේය. ඔහුගේ බිරිඳ ගර්ලි ගුණවර්ධන ද රංගන ශිල්පිනියක වූවාය. මේ දෙදෙනාගේ ආදරණීය තෙවැනි දියණිය සැබෑ ජීවිතයේ පියාගේම දියණිය ලෙසත්, මවගේම දියණිය ලෙසත් සිනමා රංගනයට පිවිසෙන්නේ වයස අවුරුදු තුනක දැරියකව සිටියදී ය. ඇය වර්ණකුලසූරිය උස්වත්ත ලියනගේ සබීතා පෙරේරා නම් වන්නීය. මවුපියන් ඔසවා තැබූ සිනමා මඟෙහි නිම්වළලු පුළුල් කර දෙස් විදෙස් ආදර ගෞරව සම්මානයට පාත්‍ර වූ ඇය සිනමා ප්‍රේක්ෂක හදවත්හී ලැඟුම් ගත් මතක කන්දරාවකි. එසේම ඇය පාකිස්තානු සිනමා නිර්මාණවල ද විශිෂ්ට රංග කෞෂල්‍යයන් විදහා පෑමෙන් ජාත්‍යන්තර ගෞරවයට පත් වූවා ය. 1986 පාකිස්තානයේ පැවති අල්සකර් සිනමා උලේළේදී හොඳ ම නිළිය ලෙස ඇය සම්මාන දිනා ගත්තා ය. පාකිස්තානු චිත්‍රපට 16ක පමණ රංගනයෙන් දායක වී‍ ඇති සබීතා එහිදී ජනප්‍රිය නිළිය සම්මාන ද හිමි කර ගත්තා ය.


සබීතා පෙරේරා නම් ප්‍රතිභාපූර්ණ රංගවේදිනිය සිංහල සිනමාව ද අවස්ථා කිහිපයකදී උඩු යටිකුරු කරවූවා ය. අසහාය සිනමා රංගවේදිනිය දෙනවක හාමිනේ ද ප්‍රධාන චරිතයක් රඟපෑ ‘දෙවැනි ගමන’ චිත්‍රපයේ ප්‍රබල සමාජ සංසිද්ධියක් හා ගැටෙන අලුත ගෙනා මනාලියකගේ භූමිකාව කෙතරම් විශිෂ්ට අයුරින් රඟපෑවේ ද යත් එයට 1985 සරසවිය සම්මාන උලෙළේදී හොඳම රංගන ශිල්පිනිය සම්මානය ද ඇය වෙත පිරිනැමිණි. ‘විරාගය’ චිත්‍රපටය ද ඇයගේ සිනමා රංගන ජීවිතයේ ඇය ලද සුවිශේෂ අවස්ථාවකි. එවැනි සංකීර්ණ චරිත මෙන්ම රංගන ශිල්පිනියක ලෙස විවිධ වූ අත්දැකීම් ලබන්නට ද ඇය වාසනාවන්ත වූවාය.


“ඇත්තටම මම සෑම ආකාරයකම වගේ චරිත රඟපාලා තියෙනවා. වාණිජ සිනමාවත්, කලාත්මක සිනමාවත්, ටෙලි නාට්‍ය රංගනය ගත්තාම විවිධ චරිත, සමහර ‍ඒවා දැඩි අභියෝගාත්මක, ලොකු කැපකිරීම් කරලා රඟපාන්න සිදු වුණු චරිත මට ලැබිලා තියෙනවා. ඒ හැම චරිතයකටම මගේ උපරිම සාධාරණය ඉටු කළා. සමහර චරිත ඇගයීමට ලක් වුණා මදි කියලාත් මට හිතෙනවා. නමුත් ඒ චරිතවලට ප්‍රේක්ෂකයින්ගෙන් මට අසාමාන්‍ය ප්‍රසාදයක්, ආදරයක් ලැබුණා. ටයිටස් තොටවත්තයන්ගේ ‘රන් කහවනු’, තිස්ස අබේසේකරයන්ගේ ‘පිටගම්කාරයෝ’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අකාල සන්ධ්‍යා’, අශෝක හඳගමගේ ‘ඇසළ කළුවර’, සුදත් මහාදිවුල්වැවගේ ‘දණ්ඩේ ලූ ගිනි’ වගේ ටෙලි නාට්‍යවල මම වෙනස් ම චරිත රඟපෑවා. ‘අකාල සන්ධ්‍යා’ ටෙලි රංගනය වෙනුවෙන් මම අංගම් සටන් ක්‍රම ගැන විශේෂයෙන් ඉගෙන ගත්තා. ඒක අමාරු, අසීරු, අවදානම් රඟපෑමක් සහිත චරිතයක්. ඊළඟට මම රඟපෑ ‘එළිවෙන දවස’, ‘සහන් එළිය’, ‘සරසවි දියණියෝ’, ‘යක්ෂාවේශය’ වගේ චිත්‍රපට කිහිපයක්ම නොයෙකුත් හේතු මත අදටත් තිරගත වෙලා නැහැ. රංගන ශිල්පිනියක් හැටියට එවැනි සිදුවීම් අපි කාටත් සාධාරණයක් නෙවෙයි. අඩුම තරමේ අපි ලොකු කැපකිරීමක් කරලා රඟපෑ චරිතයවත් අපට දැක ගන්න නැති වීම අසාධාරණයි. ඒක ලොකු පාඩුවක් වුණා. ඒ වගේම හරි දුකයි.”


ඇයගේ රංගනයන් අගයමින් පාකිස්තානයෙන් සම්මාන කිහිපයක් ද ශ්‍රී ලංකාවේ සරසවිය, ජනාධිපති, දෙරණ සිනමා ආදි වශයෙන් සම්මාන කිහිපයක් ද හිමි විය. ඒ අතර ජනප්‍රිය සම්මාන මෙන්ම හොඳම නිළිය සම්මාන ද සහාය නිළිය සම්මාන ද ඇත. ඇය රඟපෑ වාණිජ සිනමා නිර්මාණ ද අතිශය ජනප්‍රිය විය. ඒ ඇයගේ රඟපෑම් මෙන්ම ඇයගේ නර්තන ඉදිරිපත් කිරීම්වල තිබුණු නැවුම් බව ද නිසාය.


“මම රඟපෑ කාලයේ සිනමාවට ලොකු තැනක් තිබුණා. හොඳ චිත්‍රපටි තිබුණා. විශාල ප්‍රේක්ෂක පිරිසක් හිටියා. ඉතා ම දක්ෂ නිර්මාණකරුවන් පිරිසක් හිටියා. අපි හැමෝම එකිනෙකාට ආදරය, ගෞරවය කරමින් සාමූහික ව වැඩ කළා. අප්‍රමාණ කැප කිරීම් කළා. පුදුමාකාර විදිහට වෙහෙසුණා. රංගන ශිල්පිනියක් ලෙස යමක් දිනුවා නම් ඒ සියල්ලම ඊට හේතු වුණා. වර්තමානයේත් සිනමාවේ ඉතාම දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් ඉන්නවා. එයාලාට හොඳ නිර්මාණ, හොඳ සිනමා ශාලා, හොඳ ප්‍රේක්ෂක පිරිසක් අවශ්‍ය යි. අද බොහෝ අය ගෙදර ඉඳගෙන පුංචිම පුංචි තිරයකින් චිත්‍රපට නරඹන්න යොමු වෙලා තියෙනවා. නමුත් සිනමා ශාලාවකට ගිහින් පුළුල් තිරයකින් සිනමාව දකිනවා වගේ රසයක් මට නම් නැහැ. මම අදටත් අලුතෙන් එන චිත්‍රපටි සිනමා ශාලාවට ගිහින් නරඹනවා. විවේක ලැබෙන විදිහට අපි තුන්දෙනා ම ගිහින් චිත්‍රපටි බලනවා. එන හැම චිත්‍රපටයක්ම බලන්න කියලා මට කිවුවේ තිස්ස අබේසේකර මහතා. එතුමා කිවුවේ අපේ රටේ චිත්‍රපට විතරක් නෙවෙයි හැම රටකම හැම වර්ගයකම චිත්‍රපටි වැඩි වැඩියෙන් නැරඹීමෙන් අපේ රූපණ හැකියාවන් වැඩිදියුණු කර ගන්න පුළුවන් වෙනවා කියායි. එතුමා වැනි ඉතාම වටිනා ගුරුවරු මගේ හැකියාවන්වලට මඟ හෙළි කළා. ඒ වගේම මම දර්ශනතලයකදී රංගනය ගැන විතරක් නෙවෙයි කලා කටයුත්තක් සිදු කරන්නේ කොහොමද කියලා නිරතුරුවම නිරික්ෂණයේ යෙදෙනවා. එහෙම වෙන්න තවත් හේතුවක් වුණේ සිනමාවේ දැවැන්ත රංගන ශිල්පියෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙක් වුණු ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘සක්විති සුවය’ චිත්‍රපටයේ ඔහුගේ නංගි ලෙස මම රඟපාමින් සිටියදී රූගත කිරීමක නියමිත අවස්ථාවට කැමරාව ඉදිරියට එන්න මට බැරි වුණා. ඒ වෙල‍ාවේ ගාමිණි ෆොන්සේකා මහතා ඉතා තදින් මට කෑගැහුවා. හැමෝම තැති ගත්තා. මම හොඳටම බයේ මූණ බිමට හරවාගෙනම හිටියා. එදා එතුමාගෙන් ඉගෙන ගත්ත ඒ පාඩම නිසා එදා ඉඳලා කිසි දවසක දර්ශනතලයකදී එතැන කෙරෙන කාර්යය ගැන අවධානයකින් තොරව ඉඳලා නැහැ. මගේ දර්ශනයක් රූගත කළත්, නොකළත් මම හොඳ කල්පනාවෙන් ඉන්නවා.”


සබීතා ‍මේ දිනවල තරු සම්මාන නර්තන වැඩසටහනක විනිසුරුවරියක් ලෙස කටයුතු කරමින් සිටින්නීය. අගෝස්තු මස අවසනට මත්තෙන් එම අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.


“ඒක බොහොම කැමැත්තෙන් කරන්නේ නර්තන වැඩසටහනක් නිසායි. ඊට අමතර ව අත්‍යවශ්‍යයෙන්ම සහභාගි වියයුතු වැඩසටහන්, උත්සව ආදියට මම සම්බන්ධ වෙනවා. මම මෑතකදි රඟපෑ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘විහඟ ප්‍රේමය’ චිත්‍රපටය ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. ඒ චිත්‍රපටයට ජපානයේ ටෝකියෝ සිනමා සම්මාන උලෙළේදී සම්මානයක් ලැබුණා. තව අලුත් නිර්මාණ කිහිපයකට ඇරයුම් ලැබුණා. නමුත් මම ඒවා භාර ගත්තේ නැහැ. සිනමාව නිසා ගොඩාක් කාර්ය බහුල වෙන්න මම දැන් කැමැති නැහැ. නමුත් සුවිශේෂ චරිතයක් ලැබුණොත් මම රඟපානවා. වැඩිපුරම ගෙදර නිදහසේ ඉන්න දැන් ගොඩාක් කැමැතියි. එක්තරා යුගයක් තිබුණා මගේ ජීවිතය පුදුමාකාර විදිහට කාර්ය බහුල වුණා. රංගනය, තිර පිටපත්, අමතර පුහුණුවීම්, රූගත කිරීම් හැර වෙන කිසි දෙයක් තිබුණේ නැහැ. කාන්තාවක් විදිහට මගේ ජීවිතයේ නිළියක් වීම නිසා මඟහැරුණු දේවල් බොහෝමයක් තිබුණා. කොවිඩ්වලින් ගෙදරට කොටුවීමත් එක්ක මම රංගන ශිල්පිනියක් කියන භූමිකාවෙන් අත්මිදිලා ලොකු කාලයක් මවක්, බිරිඳක්, ගෘහිණියක් හැටියට ජීවිතය අත්දැක්කා. ගෘහ ජීවිතයේ සුන්දරත්වය මම වෙනදා‍ට වඩා භුක්ති විඳින්න පටන් ගත්තා. දැන් මම ගෘහ ජීවිතයේ සතුට අත්විඳිනවා. මගේ සැමියා උපාලි ජයසිංහ එයාගේ ව්‍යාපාර කටයුතු එක්ක කාර්ය බහුලයි. එයා වෙනුවෙන් බිරිඳක් විදිහට මගේ කාර්යයන් මම සතුටින් ඉටු කරනවා. මගේ ව්‍යායාම් කටයුතු මම ඉතාම කැමැත්තෙන් හැමදාම කරනවා. ඒ වගේම උදේ සවස මල් පහන් පූජා කරමින් ආගමික කටයුතු ගෙදරදීම වැඩි කාලයක් අරගෙන සිදු කරනවා. ඒ සඳහා මට වෙලාවක් ලැබිලා තියෙනවා. මගේ පුතා පුංචි කාලේ මට එයා වෙන‍ුවෙන් වැඩි කාලයක් ගත කරන්න පුළුවන් වුණේ නැහැ. නමුත් මට දරුවා එක්ක ගත කරන්න මේ කාලයේ ලොකු ඉඩක් ලැබිලා තියෙනවා. පුතා උසස් අධ්‍යාපන කටයුතුවලට විදේශගත වෙලා සිටියා. අද වෙද්දි පුතා උපාධිය නිම කරලා ඉංජිනේරුවෙක් හැටියට ලංකාවේ වැඩ කරමින් අපිත් එක්ක ඉන්නවා. පුතා ජීවිතය ජය ගනී කියන විශ්වාසය මට හැමදාම තිබුණා. නමුත් එයා හොඳින් වැඩ ටික කරගනී ද කියලා බයකුත් මට තිබුණා. මවක් හැටියට ලොකු සතුටක් මට අද පුතා ගැන තියෙනවා. මගේ සිහිනයක් සැබෑ වුණා වගේ හැඟීමක් මට දැනෙනවා.”


අක්කලා දෙදෙනෙක් සමඟ කුඩා කාලය පවුලේ බාලයා ලෙස ගත කළ සබීතාට ටික කාලයක් ගතවී යද්දී සිය මවුපියන්ගෙන් පුංචි නංගියෙක් ද තෑගි ලෙස ලැබුණි. ගැහැනු ළමයින්ම හතරදෙනෙක් වූ මේ පවුලේ මවගේ ගම වූ ගල්කිස්ස ප්‍රදේශයේ කුඩා කල විසු සබීතා කොළඹ විශාකා පෙර පාසලටත්, පසුව කොළඹ විශාකා විද්‍යාලයටත් ඇතුළත්ව අධ්‍යාපන කටයුතුවල නිරත වූවාය. පාසලේ කලා ක‍ටයුතු රංගනයන් ආදියට සම්බන්ධ වෙමින් විවිධ දක්ෂතා පෙන්වූ ඇය කුඩා කළ පටන් සිනමා රංගනයට ද පිවිසියාය. සිය පියාගේ ගම වූ වෙන්නප්පුවට පදිංචියට යාමෙන් ඇය උසස් පෙළ සඳහා වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ගියාය. එහිදී ද ඇයට පාසල් කලා කටයුතුවලින් දුරස් විය නොහැකි විය.


“මගේ ජීවිතයේ මම ගොඩාක්ම කැමැති වුණේ තාත්තාගේ ගම වූ වෙන්නප්පුවේ ගත කළ කාලයටයි. ඒ කාලය හරි ම සුන්දරයි. අපි ඇති තරම් සෙල්ලම් කළා. අද වගේ ජංගම දුරකතන ඒ කාලේ තිබුණේ නැති නිසා ගමේ සුන්දරත්වය අපි හොඳින් අත්වින්දා. ගමේ සාමාන්‍ය මිනිස්සු ඇසුරු කළා. දුක සැප බෙදා ගත්තා. ඒ හැමදෙයක්ම මගේ රංගන ජීවිතයේදී මට හමු වූ රූපණයන් පෝෂණය කිරීමට ඉවහල් වුණා. ජීවිතය දෙස ආපසු හැරිලා බලද්දි සතුටු විය හැකි බොහෝ දේ තිබුණා. ඒ සතුට මම අත්වින්දා. දුක් වුණු අවස්ථාත් ඕනෑ තරම් තිබුණා. ඒ දුකත් මම අත්වින්දා. ජීවිතය කියන්නේ සතුට දුක දෙකම සම වූ ගමනක් සසර කෙළවර දකින තුර අපි ගමන් කරනවා.”

gossiplanka image 1
Previous Post Next Post