
ද ලේක් හි චරිතෙ ගැන කෙටියෙන් කිවුවොත්?
ද ලේක් හි මම සඳුනි. අක්කා සහ නංගි කියන චරිත දෙක තමයි මම සහ චමත්කා ලක්මිණි කරන්නේ. හැබැයි බොහෝදෙනෙක් වරදවා තේරුම් අරන් ඉන්නවා මෙතන තියෙන්නේ සම ලිංගික සම්බන්ධයක් කියලා. ඒක ඇත්තටම වැරදි වැටහීමක්. මම දන්නේ නැහැ ප්‍රේක්ෂකයා කොහොම ඒක අල්ල ගත්තද කියන්න. ඇත්තටම මෙතන ඉන්නේ එකම පවුලේ අක්කයි නංගියි. අක්කා කෙනෙක් නංගි කෙනෙක්ව, අයියා කෙනෙක් මල්ලි කෙනෙක්ව ආදරෙන් වැළඳ ගන්න අවස්ථා. ඔවුනොවුන්ට ගරු කරන අවස්ථා සමාජයේ පෙන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අක්කා නංගිට කිස් එක දෙද්දී, අක්කා නංගිව ආදරෙන් බදා ගනිද්දී මිනිස්සු වරදවා හිතන්නේ පවුලක් ඇතුළේ වෙන ආදරේ සමාජ ගත වෙන්නේ නැති නිසා. අපි දකින්නේ රණ්ඩු වෙන ඒවානේ. ඒ නිසා තමයි මේ ලස්සන සෙනෙහස මිනිස්සු අතරට වැරදි විදියට සමාජ ගත වෙන්නේ.
ද ලේක් හි චරිතෙට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
චරිතේට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. හැමෝම කියන්නේ එහි මගේ රංගනය තාත්විකව දැනෙනවා කියලා. මේ කතාව බැලුවොත් එක එක මානසික මට්ටම්වල ඉන්න අය චරිත නිරුපණය කරන්නේ. මගේ චරිතය සාමාන්‍යය ජිවිතේ ඉන්න සාමාන්‍ය කාන්තාවක්. අක්කගේ වැඩවලට උපරිම සහයෝගය දෙන ජීවිතේ ගැන බයකින් ඉන්න කටුක අත්දැකීම් එක්ක ජීවත් වෙන කෙනෙක්. සති අන්තයේ විකාශය වුණත් මඟ තොටේදී ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.
චරිතයක් භාර ගන්න කලින් මුලින්ම බලන්නෙ මොනවද?
දැන් එහෙම තෝරා බේරාගෙන නිර්මාණ කරන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. අද කාලේ නළු නිළියන් ඉතා ඉක්මනින් බිහිවෙනවා. ඒ නිසා හොඳ පිටපතක් හොඳ චරිතයක් ලැබෙනකම් බලාගෙන ඉන්න ඕන කාලය ඉතාම වැඩියි. ඒ අතරින් කිවුවොත් මම මුලින්ම බලන්නේ මට ඒ චරිතය කරන්න පුළුවන් ද කියලා. සමහර චරිත තියෙනවා මට ඒ චරිතෙට හොඳ සාධාරණයක් කරන්න බැහැ. හොඳම උදාහරණය මගේ අක්කාගේ චරිතය කරන්න සුදුසුම කෙනා චමත්කා ලක්මිණි. එතකොට ඒ චරිතේ මට කරන්න බැහැ. ඒ නිසා ඒ වගේ චරිතයක් මට ලැබුණොත් මම භාර ගන්නේ නැහැ.
චතූට රඟපෑමේදි සීමාවන් තියෙනවද?
අනිවාර්යයෙන්ම තියෙනවා. මම විසින්ම මගේ පෞද්ගලික ජීවිතේට සහ රංගන ජීවිතේට සිමාවන් දාගත්ත කෙනෙක්. චතු රාජපක්ෂ කියන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක්, වැඩසටහන් නිවේදිකාවක්, බිරිඳක්, රංගන ශිල්පිනියක් කියන හැම භූමිකාවම නිරුපණය කරන්න ඕනේ. මම මෙතෙක් ආව ගමන් මඟේ දී මම චරිත භාර ගත්තේ මගේ සීමාවේ මට කරන්න පුළුවන් ද බැරිද කියන එක අනුව. ඉදිරියටත් ඒක එහෙම්ම තමයි.
ඉදිරියට එන්න තියෙන ටෙලි නිර්මාණ තියෙනවද?
හර්ෂ තෙන්නකෝන් අයියා අධ්‍යක්ෂණය කළ අලුත්ම ටෙලි නාට්‍යය එන්න තියෙනවා. ඒ එක්කම මම හැමදාම වගේ කිවුව දෙයක් තමයි රෙද්ද හැට්ටේ ඇඳලා ගැමි චරිතයක් කරන්න ආසයි කියන එක. ලංකාවේ ඉතාම ජනප්‍රිය ලේඛකයෙක්ගේ නවකතාවක් ඇසුරෙන් මට අවස්ථාව ලැබුණා එවැනි චරිතයකට පණ පොවන්න. මම හිතනවා සඳුනිගේ චරිතය වගේම ඒ චරිතයත් ප්‍රේක්ෂකයාට ඇඳ බැඳ තබා ගන්න හැකි වෙයි. සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් එක්ක ඉතාම ජනප්‍රිය ලේඛකයෙක්ගේ නවකතාවක් සීමිත කොටස් ගණනින් පුංචි තිරයට ඒවි. ඒ ගැන වැඩි විස්තර ඉදිරියට කියන්නම්.
රංගනයට ලැබෙන ඇරයුම් ගැන තෘප්තිමත් ද?
තෘප්තිමත්. මම මේ ගමන අවුරුදු 8ක් තිස්සේ එන්නේ. ඒ කාලය තුළ මට ලැබුණු චරිත ගැන මට සැහීමකට පත් වෙන්න පුළුවන්. ඒ එක්කම මේ වෙද්දී සිනමාව සහ පුංචි තිරය කියන දෙඅංශයෙම වැඩ කරන කෙනෙක් හැටියට මට රංගනය ගැන ලැබෙන ඇරයුම් ගැන ඉතාම තෘප්තිමත්. මම එදා ඉඳන් මට ලැබෙන දේ ගැන සතුටු වුණු කෙනෙක්. ඒ හැර මට නොලැබුණු දේ ගැන දුක් වෙන්නේ නැහැ. මම හිතනවා මට ඇරයුම් ලැබෙන්නේ මට ලැබිය යුතු හොඳම දේ කියලා විශ්වාස කරනවා.
පවුල් ජීවිතෙ අලුත්ම තොරතුරු මොනවද?
අලුත්ම තොරතුරු කියන්නේ ඉතින්, පසුගිය දවස්වල නම් ලොකු ධාරානිපාත වැස්සක් වැහැලා වැහැලා අද වෙද්දි ජීවිතයට සෞම්‍ය කාලයක් උදා වෙලා කිව්වොත් හරි. ජීවිතේ අපිට විවිධ කාල වකවානුවල විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ජීවිතේ අපි ළඟින් ඉන්නේ කවුද, අපිට ප්‍රශ්නයක් වුණාම අපි ළඟින් ඉන්නේ කවුද සහ අපි ළඟ ඉන්න යාළුවො අපිව ආශ්‍රය කරලා තියෙන්නේ ආදරණීය යාළුවො විදියට ද එහෙම නැත්නම් අවස්ථාවාදී යාළුවො විදියට ද කියන එක තේරුම් ගන්න හොඳ අවස්ථාවක් මට ලැබුණා. නෑදැයෝ සහ අපි ආශ්‍රය කරපු යාළුවො අපිට හොඳක් වෙනකම් බලන් හිටිය අයද නැත්නම් නරකක් වෙනකම් බලන් හිටිය අයද කියන එක තේරුම් ගන්න ලැබුණා. අදටත් ඒ හැම දෙයක් මැද මගේ පවුල් ජීවිතයත් රැකගෙන හස්බ්න්ඩ් එක්ක සතුටින් ඉන්නවා. පෞද්ගලික ජීවිතේ සහ රංගන ජීවිතේ රැකගෙන මේ යන ගමන ගැන සතුටුයි. මට කියන්න තියෙන්නේ මහා කුණාටු එක්ක ආව ධාරානිපාත වැස්සකට පස්සේ ලස්සන සෞම්‍ය කාලයක් දැන් මට උදා වෙලා තියෙනවා.
ප්‍රේකෂක ආදරේට කියන්න දෙයක් ඇති?
අනිවාර්යයෙන්ම. මම මේ තැනට එන්න වගකියන්න ඕනේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයා. මම කරන චරිත තුළ හොඳ දේවල් සහ මගේ අඩුපාඩු දකින්නේ මගේ ප්‍රේක්ෂකයින්. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය මට ගොඩක් වටිනවා. ඒ ලබා දෙන ප්‍රේක්ෂක මතයට මම හැමදාම ගරු කරනවා. ප්‍රේක්ෂක ආදරේ මට හොඳින්ම ලැබෙනවා. ප්‍රේක්ෂකයින්ට බොහෝම ස්තූතියි අපිව මේ තරම් ආදරෙන් අල්ලන් ඉන්නවට.
