
එමෙන්ම නිහාරි සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් නොදන්නා තවත් රහසක් ඇත. ඒ ඇය ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු කණ්ඩායමේ සාමාජිකාවක් වීමයි. පැසිපන්දුවෙන් ජාත්‍යන්තරයට ගිය නිහාරි රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් කතාව කියන්න ඇයට ආරාධනා කළා. රටක් වසඟ කළ සිනහවෙන්ම ඇය කතාව ආරම්භ කළා.
ඇත්තටම මටම හිතාගන්න බැහැ මම ඉපදිලා තියෙන්නේ රඟපානන්ද ක්‍රීඩා කරන්නද කියලා. හැබැයි ඒ අංශ දෙකෙන්ම මම ඉස්සරහට ඇවිත්. ඒ නිසා රංගනයට වගේම ක්‍රීඩාවටත් මම හරිම ආදරෙයි.
මම පාසල් යන්නේ නුගේගොඩ ශාන්ත ජෝෂප් බාලිකා මහා විද්‍යාලයට. ඉස්කෝලේ කාලේ ඉඳලම මගේ ජීවිතේ වුණේ පැසිපන්දු ක්‍රීඩාව. පැසි පන්දු ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන තැනටම එන්න මට අවස්ථාව ලැබුණේ මගේ උත්සාහය නිසාමයි. මොකද මම ඉලක්කයක් තියාගෙන ඒ අභියෝගය පසුපස හඹා යන්න කැමැතියි. පැසිපන්දු ක්‍රීඩිකාවක් හැටියට ජාතික ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන්න ලැබීම මම ලබපු ජයග්‍රහණයක්. ක්‍රීඩා කරන අතරේ 2016 වර්ෂයේ අපේ පවුලේ හිතවතෙක් වුණ ජානකී ආන්ටිගේ පුතා මෙතුන් SKගේ ‘කලාතුරකින්’ කියන මියුසික් වීඩියෝ එකේ රඟපාන්න අවස්ථාව ලැබුණා. හැබැයි පාසල් අධ්‍යාපන කටයුතු හා ක්‍රීඩාව නිසා එතනින් එහා මට රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් සිනමා තිරය මත මගේ මුහුණ දකින්න ආසාවක් යටි සිතේ තිබුණා.
ඔය අතරේ ක්‍රීඩාවෙන් ඉහළට එන්න අවස්ථාව ලැබුණා. බොහෝ ජාත්‍යන්තර තරග වෙනුවෙන් ක්‍රීඩා කළා. දේශීය තරගවලදී කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම හා සෙලාන් බැංකු කණ්ඩායම නියෝජනය කළා.
ජීවිතයේ බොහෝ ජයග්‍රහණ ලද නිහාරිගේ ජීවිතයේ පරාජයට පත්වූ දවස ගැනත් ඇය කතා කළේ කදුළු පිරි දෙනෙතින්.
මම හිතන්නේ ඒක අක්කා කෙනෙක් ලබපු දරුණුම පරාජයක් සහ ඉවසාගත නොහැකි වේදනාත්මක සිදුවීමක්. අපේ පවුලේ උන්නේ අම්මයි, මායි, නංගියි, මල්ලියි. හරිම සතුටින් එකට ගුලිවෙලා උන්න පවුලක් මට තියෙන්නේ. නමුත් හදිසියේම මගේ මල්ලි අපිව දාලා සදහටම අපේ ජීවිතවලින් යනවා. ඒක අපිට දරාගන්න හරිම අමාරු වෙනවා. මොකද පවුලේ හිටපු එකම කොල්ලා අහිමිවීම අපි හැමෝටම දරාගන්න බැහැ. විශේෂයෙන් මම නිළියක් වෙනවා දකින්න මල්ලි හරිම කැමැත්තෙන් උන්නේ. මල්ලි මට වඩා අවුරුදු අටක් බාලයි. අක්කලා දෙන්නම තමා එයාගේ ජීවිතේ වුණේ. මම රඟපාපු ක්ලැරන්ස් චිත්‍රපටය බලන්න මල්ලි ආශාවෙන් උන්නේ. මම රූපගත කිරීම්වලට ගිහින් ඇවිත් කියන කතා ඔහු හුඟාක් ආසාවෙන් ඇහුවා. චිත්‍රපටයේ රූපගතකිරීම්වල වීඩියෝ මම මල්ලිට ෆෝන් එකෙන් පෙන්නුවා. මේ චිත්‍රපටය බලන්න එයා ගොඩාක් ආශාවෙන් උන්නා. නමුත් ඒ හැම දෙයක්ම හීනයක් කරලා මල්ලි අපේ ලෝකයෙන් යන්න ගියා. මේ මොහොතේ මට ඒ වේදනාව තදින් දැනෙනවා.
ඉගෙනීම හා ක්‍රීඩාව නිසා නතර කරපු රංගන දිවියට නිහාරි ආයෙමත් එන්නේ අහම්බෙකින් වගේ. නිළියක් වෙන්න ඕන කියලා හිතේ කොනක හැංගිලා තිබුණු හීනයට ආයෙමත් පණ එනවා.
ඉස්කෝලෙන් අයින් වෙනකොට වගේ මට ජැට් එකේ වෙළෙඳ දැන්වීමක රඟපාන්න අවස්ථාව ලැබෙනවා. එතනදී තමා තේජා ඉද්දමල්ගොඩ සර්ව මට මුණගැහෙන්නේ. තේජා සර් මාව දැකලා කියපු කතාව මට තාමත් මතකයි. ‘මීට කලින් ඔයාව දැකලා තිබුණනම් මගේ ෆිල්ම් එකකට ගන්නවා.’ ඒ කතාවට මට හරිම සතුටු හිතුණා. කුමක් හෝ විශේෂත්වයක් මගේ තියෙනවා කියලා මට එදා හිතුණා. ඔය අතරේ මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්න ඉන්දුනීසියාවට ගියා. ඉන්දුනීසියාවේ ඉන්නකොට තමා නිහාරිට ක්ලැරන්ස්ගේ චිත්‍රපටය සඳහා ආරාධනා ලැබෙන්නේ. තේජා ඉද්දමල්ගොඩ නිහාරිට පණිවිඩයක් තබනවා ලංකාවට පැමිණ විගහට තිර පරීක්ෂණයක් සඳහා සහභාගි වන්න කියලා.
ලංකාවට ආ විගසම මම තේජා සර්ව මුණගැහුණා. ඒ වෙනකොටත් මම දන්නේ නැහැ මේ සහභාගි වෙන්නේ රිදම් ඔෆ් ද ගිටාර් චිත්‍රපටයේ තිර පරික්ෂාවට කියලා. මමත් බලාගෙන උන්නේ සිනමාවේ අවස්ථාවක් උදාවෙනකම්. කොහොම හරි ප්‍රථම තිර පරීක්ෂණයෙන්ම මට අවස්ථාව ලැබෙනවා ක්ලැරන්ස් චිත්‍රපටයේ ශීලා විජේවර්ධන කියන චරිතය රඟපාන්න.
ක්ලැරන්ස් ජීවත්ව නොසිටියත් ශීලා විජේවර්ධන කියන්නේ ජීවත්වන චරිතයක්. ජීවමාන චරිතයක් නිරූපනය කිරීම නිහාරිගේ සිනමා ගමනේ මුල්ම අභියෝගය වුණා.
‘හැබැයි ශීලා විජේවර්ධන ගැනනම් මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ.කොහොම හරි මට ඇයත් සමග දුරකථනයෙන් කතා කරන්න තේජා සර් අවස්ථාව අරගෙන දුන්නා.
ඇත්තටම ඇය නිරහංකාර කාන්තාවක්. ඇය හරිම ආදරණීයයි. අහිංසකයි. ඇය ඉතා සුහද ලෙස මාත් එක්ක කතා කළා. ඒ කාලේ සිදුවීම් මට කිව්වා. ඇය ඒ කාලේ ඔසරිය ඇන්දා කිව්වා. ඒ නිසා මටත් චිත්‍රපටයේ ඔසරිය අඳින්න සිද්ධ වුණා.
මේක සීයට සීයක්ම ක්ලැරැන්ස් විජේවර්ධනගේ ජීවිත කතාව නොවන නිසා ඇගේ හැසිරීම් හා ඇගේ ස්වභාවය ගැන පමණයි අවබෝධයක් ලබාගන්න තිබුණේ. තේජා සර් තිර රචනය ගැන හා මගේ චරිතය ගැන ලොකු අවබෝධයක් ලබාදුන්නා. මේ නිසා ශීලා විජේවර්ධනගෙන් ලබාගත් දැනුම හා තේජා සර්ගේ අධ්‍යක්ෂණය යටතේ ශීලා විජේවර්ධනගේ චරිතයට උපරිම සාධාරණයක් ලබාදුන්නා කියලා මම විශ්වාස කරනවා.
ශීලා විජේවර්ධනගේ චරිතය නිහාරි භාරගන්න කොට අනිත් පැත්තෙන් ඇගේ ආදරය ලබන නළුවා වෙන්නේ දමිත් විජේතුංග. නෙහාරා වගේම දමිත්ටත් එය සුවිශේෂී අවස්ථාවක් බවට පත්වෙන්නේ දෙදෙනාගේම ප්‍රථම සිනමා අත්දැකීම රිදම් ඔෆ් ද ගිටාර් නිසා.
ශීලා විජේවර්ධනගේ චරිතයට මාව තෝර ගත්තට පස්සේ ක්ලැරැන්ස්ගේ චරිතය වෙනුවෙන් නළුවන් කීප දෙනෙක්ම යෝජනා වුණා. අවසානයේ දමිත විජයතුංග ඒ චරිතය වෙනුවෙන් තෝරගත්තා. දමිත අයියා මගේ හොඳ යාළුවෙක්. අපි දෙන්නම නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරලා තිබුණා. දමිත අයියා මේ චරිතයට තෝරා ගත්තාම මට හරි පහසුවක් දැනුණා. මොකද ඔහු කෙතරම් හොඳ කෙනෙක්ද කියලා මම දැනගෙන උන්නා. හොඳම යාළුවෙක්ම සිනමාවේ ප්‍රේම කරන්න ලැබීම මගේ වාසනාව කියලා මම හිතනවා.
ප්‍රථම චිත්‍රපටය රූපගත කිරීම ජීවිතයේ සුන්දරම දින හැටියට ඇය දකිනවා. ඒ සෑම දිනයක්ම තාමත් ඇගේ මතකයෙන් ඉවත්වී නැහැ.
චිත්‍රපටය රූපගත කරලා අවසන් කරන්න අවුරුදු තුනක් විතර ගියේ තේජා සර් විටින් විට අසනීප වෙච්ච නිසා. මම හිතන්නේ මාස තුනක් වගේ රූපගත කිරීම් කළා හපුතලේ, නුවර, හෝර්ටන් ප්ලේස්, හන්තාන වගේ හුඟාක් ලස්සන ස්ථානවල තමයි රූපගත කිරීම් කළේ. පළවෙනි චිත්‍රපට අත්දැකීම් සෑම දිනයකම අමතක නොවන දින හැටියට මගේ මතකයේ තාමත් ඉතිරිවෙලා තිබෙනවා. ෂූටින් කරලා හවසට තේජා සර් ගිටාර් ගහනවා. දමිත අයියා සාරංග, දිනක්ෂි සින්දු කියනවා. හිතේ කිසිම පීඩනයක් නැතිව ලස්සනට ගෙවුණු දවස් තමා චිත්‍රපටය පුරා ඉතිරිවෙලා තියෙන්නේ.
චිත්‍රපටය අතර තුර නිහාරිට තවත් ආරාධනා ලැබුණත් ඇය වෙනත් කිසිදු වැඩක් බාර නොගත්තේ චිත්‍රපටයට තිබුණු දැඩි ළෙන්ගතුකම නිසාමයි.
මම වැඩ දෙක තුනක් බදාගෙන ප්‍රෙෂර් එකේ වැඩ කරන්න කැමති කෙනෙක් නෙමේ. චිත්‍රපටයට අවුරුදු දෙකකට වැඩි ප්‍රමාණයක් ගියත් මට රිදම් ඔෆ් ද ගිටාර් වෙනුවෙන්ම බලාගෙන උන්නා. මම ශීලා විජේවර්ධන කියන චරිතය එක්ක බැඳිලා උන්නා. චිත්‍රපටය නිමා උනාට පස්සේ තමා මම අනිත් වැඩ භාරගත්තේ.
ක්ලැරැන්ස් තිරගත වන විට නිහාරි තවත් චිත්‍රපට පහක ප්‍රධාන චරිත නිරූපණය කර අවසන්. මේ ඇගේ සිනමාවේ සාර්ථක ගමනක ආරම්භය නෙවේද.
ප්‍රථම චිත්‍රපටය රූපගත කිරීම් අවසන් වන විට ගොඩාක් දෙනෙක්ට මා ගැන විශ්වාසයක් ඇති වුණා. ප්‍රියන්ත කොළඹගේ, මහේෂ් මුණසිංහ, ඩිලාන් වික්‍රමකීර්ති, කපිල සූරියආරච්චි වගේ අති දක්ෂ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට 5 ක ප්‍රධාන චරිත රඟපෑවා. ඇත්තටම මාව නිළියක් හැටියට විශ්වාස කළාට මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.
තමා නිළියක් ලෙස ඉපදෙන ක්ලැරැන්ස්ගේ රිදම් ඔෆ් ද ගිටාර් චිත්‍රපටය මුලින්ම නැරඹූ දවසේ ඇතිවූ හැඟීම තාමත් හදවතට එක්කරන්නේ තිගැස්මක් බවයි නිහාරි පවසන්නේ.
මට මුලින්ම චිත්‍රපටය නරඹන්න ලැබුණේ අහම්බෙන් වගේ. තේජා සර් අසනීප වෙලා ඉන්නකොට මම ඔහුව බලන්න ගියා. මාව දැක්කාම සර්ට හරිම සතුටුයි. ඔහු මගෙන් ඇහුවා තාම චිත්‍රපටය දැක්කෙ නැහැ නේද කියලා. මම කිව්වා නැහැ කියලා. කාටවත් කියන්න එපා මම චිත්‍රපටයේ කොටසක් පෙන්නම් කියලා ඔහු කිව්වා. එදා තමා ප්‍රථම වතාවට මම මගේ රසිකාවියක් වුණේ. ඒ දර්ශන කීපය බැලුවේ මමත් රසිකාවියක් වෙලා. මගේ සිත සතුටින් පිරුණා. ඇත්තටම මට ලොකු තෘප්තියක් දැනුණ.
දැන් නිහාරි පෙරේරාගේ සෑම බලාපොරොත්තුවක්ම ඉටුවී ඇත. චිත්‍රපටය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගෙන ඇත. චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා ඇය සහභාගි වන්නේ දැඩි වේදනාවකින් යුතුවය. ඒ පසුගිය දිනවල ඇය චිකුන් ගුන්යා රෝගයට ගොදුරු වූ නිසාය. නමුත් හිතේ හයියට ඇය ප්‍රේක්ෂයන් ඉදිරියට පැමිණියා.
ඇත්තටම රසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලට හරිම ලෝභයි. චිත්‍රපටය තිරගත කිරීම් අරඹනකොට මට චිකන් ගුන්යා හැදිලා තිබුණේ. ඉතා අපහසුවෙන් තමයි මම නුවර මංගල දර්ශනයට සහභාගි වුණේ. මොකද තුසිත විජයසේන මහතා චිත්‍රපටය වෙනුවෙන් විශාල වියදමක් හා කැපවීමක් කළා. කොච්චර අසනීප වුණත් මමත් ඒ වෙනුවෙන් කෘතගුණ දක්වන්න ඕනේ. හිටගෙන ඉන්න අමාරු තරමට මම රෝගී වෙලා උන්නේ. නමුත් ප්‍රේක්ෂකයන්ගේ මේ ආදරය ලැබෙනකොට මට ලොකු ශක්තියක් දැනෙනවා.
නිහාරි සුන්දරයි. ඇගේ හදවතත් ඒ තරමටම සුන්දර ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ හදවතේ ඇඳුන සැබෑ ආදරය ගැන කතා නොකර ඉන්නේ කොහොමද?
ආදරය ගැන එක එක්කෙනා දකින විදිය වෙනස්. මම විශ්වාස කරන හැටියට ආදරය කියන දේ වචනයෙන් විස්තර කරන්න අමාරුයි. ඒක විස්තර කරලා කියන්න පුළුවන් හැඟීමක් නෙවෙයි. ඒක හදවතේ ඇතිවන හැඟීමක්. ඒ තරමටම මමත් ලෝභ නැතිව ආදරයට ආදරය කරන යුවතියක්.
පැසිපන්දු, රංගනය හා නිහාරි කියන්නේ එකට බැඳුන බැම්මක්. මේ බැම්ම කඩලා දාලා එක දෙයක් තෝරගන්න කියලා කිව්වොත් ඇය කුමක් කියයිද?
මගේ ජීවිතේ තරමටම මම මේ වෘත්තීන් දෙකටම ආදරෙයි. ක්‍රීඩාවෙන් කෙනෙකුට තම මවුබිම නියෝජනය කරන්න ලැබෙනවා කියන්නේ පිනක්. ඒ වගේම සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂකයන්ට සනසවන්න ලැබෙනවා කියන්නේත් තවත් පිනක්. ඒ පින්කම් දෙකම මම කරගත්තා. දිගටම රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා. මේ නිසා මම ක්‍රීඩාව අත්හරින්නේත් නැහැ. රංගනය අත්හරින්නෙත් නැහැ.
