මෙරට ජනප්‍රියම රංගන ශිල්පිනියන් අතර ඉදිරියෙන්ම සිටින ඇය තුළ දක්ෂ රංගන ශිල්පිනියට අමතරව, අති දක්ෂ නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක්ද සිටිනවා. පිය පාර්ශවයෙන් උරුම කරගත් හැකියාවන් ඔස්සේ අතිශය ළාබාල වියේදීම කලාවට අත්පොත් තැබූ ඇය, තමා සතු නිරහංකාර ගති පැවැතුම් නිසාම අද වන විට ලක්ෂ සංඛ්‍යාත රසික පිරිසක් තමා වටා ගොඩනැඟීමට සමත්ව සිටිනවා. මේ දිනවල ආදායම් වාර්තා තබමින් තිරගත වන විසල් ආදරේ චිත්‍රපටයේ ප්‍රධාන භුමිකාවකට රංගනයෙන් දායක වන ඇය ඔබ කවුරුත් හ¾දුනන දිනක්ෂි ප්‍රියසාද්.
විසල් ආදරේට ලැබෙන ප්‍රතිචාර ගැන කියලම කතාව පටන්ගමු?
විසල් ආදරේ කියන්නේ අපි හැමෝම ආසාවෙන් වැඩ කරපු චිත්‍රපටයක්. පවුලක් වගේ අපි සියල්ලම එකතු වෙලා වැඩ කළා. මුල ඉඳලම සමාජ මාධ්‍ය හරහා චිත්‍රපටය ගැන ගොඩක් දෙනා කතාබහ කළා. ගොඩක් අය චිත්‍රපටය බලන්න නොඉවසිල්ලෙන් ඉන්න බවක් තමයි දැනුණේ්. මුලින්ම එහි ගීත නිකුත් කළාම ඒ ප්‍රතිචාර තවත් වැඩි වුණා. දැනටමත් ගොඩාක් දෙනෙක් චිත්‍රපටය නරඹලා තියනවා. අපි හිතුවා වගේම මේ වෙද්දි විසල් ආදරේ නරඹන්න චිත්‍රපට ශාලාවලට ප්‍රේක්ෂකයන් නොකඩවා ඇදී එමින් සිටිනවා.
විසල් ආදරේ අධ්‍යක්ෂ වාසව බදුගේගේ පළමු සිනමා නිර්මාණය වගේම මෙයත් අති සාර්ථක වෙයි කියලා බොහෝ දෙනා මත පළ කරලා තිබෙනවා. ඒ ගැන මොන වගේ අදහසක්ද තිබෙන්නේ?
කතා තේමාව ගත්තොත් ඒ චිත්‍රපට දෙක එකිනෙකට වෙනස්. ආදරණීය ප්‍රාර්ථනා කියන්නේ ගොඩාක් සංවේදී චිත්‍රපටයක්. නමුත් විසල් ආදරේ කියන්නේ ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයට වඩා හැපි වයිබ් එකක් දෙන නිර්මාණයක්. තාරුණ්‍යයට වගේම පවුලේ හැමෝටම එකට ඉඳල නරඹන්න සුදුසු චිත්‍රපටයක් තමයි විසල් ආදරේ කියන්නේ. එහි කතා තේමාව ඇතුළේ, ආදරය, විරහව, මවුපියන් හා දරුවන් අතර තිබෙන සම්බන්ධතා සියල්ලම අඩංගු වෙලා තිබෙනවා. චිත්‍රපට දෙක සංසන්දනය කරන්න බැහැ. ආදරණීය ප්‍රාර්ථනා තරමටම මේ චිත්‍රපටයටත් ඉතාමත් හොඳ රසික ප්‍රජාවක් සිටිනවා.
විසල් ආදරේ පසුතල හා රංග වස්ත්‍රාභරණවල කැපිලා පෙනෙන වර්ණවත් බවක් තිබෙනවා. ඒ ගැන කතා කළොත්?
විසල් ආදරේ කියන්නේ හරිම සතුටු හැඟීම් උපද්දවන චිත්‍රපටයක්. ඒක ඇතුළේ ඒ කතාව හරිම ලස්සන පාට පාට ලෝකයක් ඉල්ලනවා. ඒ වගේම ප්‍රේක්ෂකයනුත් හරිම කැමතියි ග්ලැමර් කෙනෙක් බලන්න. සිනමා ශාලාවට මිනිස්සු එන්නෙත් ඒ ෆැන්ටසි එක විඳින්න. සාමාන්‍ය ජිවිතයේ අපිට නිතර දකින්න නොලැබෙන, අපිට හිතන්න බැරි විශාල පින්තූරයක් දකින්න ලැබෙනවා නම් ඒක තමයි සිනමාව. මිනිස්සු එන්නෙ ඒක බලන්න. ඉතිං ඒ ආස්වාදය ලබාදීම තමයි ඒ වර්ණ භාවිතය හරහා සිදු කරන්නේ. නමුත් චිත්‍රපටය බලද්දි තේරෙනවා අවස්ථානුකූලව ඒ වර්ණ වෙනස් වෙන විදිහ.
පසුගිය වසරවලට සාපේක්ෂව මෑත වසර දෙකක පමණ කාලයක සිට රසිකයන් සිනමා ශාලා කරා ඇදී එන ප්‍රමාණය වැඩි වෙලා ඒ ගැන කතා කළොත්?
ඔව්. ඇත්තටම ඒක අපිත් අත්විඳිනවා, අපේ සිනමා නිර්මාණවලට වගේම වේදිකා නාට්‍ය නැරඹීම සඳහාත් රසිකයන් විශාල වශයෙන් ඇදී එන ආකාරයක් දකිනවා. දැන් දැන් මිනිස්සු කලාවට ටිකක් වැඩියෙන් නැඹුරුවෙන්න පටන් ගෙන කියලා හිතෙනවා. විවිධ ප්‍රශ්න, ආර්ථික ගැටලු වගේ ගොඩක් අභියෝග මැද තමයි අපේ මිනිස්සු කාලය ගත කරන්නේ. ඉතිං ඒ අභියෝග මැද්දෙන් මිනිසුන්ගේ හිතට පොඩි හරි සහනයක් දෙන්නේ කලාව. ඒ හින්දම වෙන්ම ඇති දැන් දැන් චිත්‍රපට ශාලාවලට, වේදිකා නාට්‍ය බලන්න මිනිස්සු ඇදී එන්නේ. ඊට අමතරව මට හිතෙනවා මෑත කාලයේ හොඳ නිර්මාණ බිහිවෙමින් පවතිනවා කියලා. විශේෂයෙන් ටෙලි නාට්‍ය ගත්තත් දැන් බිහිවෙන නිර්මාණ පරම්පරා සියල්ලම නියෝජනය කරන පිරිස තමන් වෙතට ඇදගන්න පුළුවන් ආකාරයෙන් නිර්මාණය වෙන්නේ. මිනිස්සු කලාව වෙතට නැඹුරු වීමට ඒකත් හේතුවක් විධියට මම දකිනවා.
පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍ය අති සාර්ථකව වේදිකාගත වෙනවා. ඒ අත්දැකීම ගැනත් මතක් කරමු?
පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් අපි 2018දී තමයි මුල්ම වතාවට වේදිකා ගත කළේ. එදා සිට අද දක්වාම නොකඩවාම සාර්ථකව වේදිකා ගත වෙනවා. ඒක හරිම ආසාවෙන් කරන වැඩක්. ඇත්තටම වේදිකා නාට්‍යයක් කියන්නේ ලොකුවටම මුදල් උපයන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ඒකෙන් ලැබෙන ආත්ම තෘප්තිය මිල කරන්න බැහැ. කොච්චර වැඩ තිබුණත් අපි ඒ වෙනුවෙන් වෙන් කරන දිනය ඒ වෙනුවෙන්ම කැප කරනවා.
ඒ වගේම පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් කණ්ඩායම හරිම එකමුතුයි. ඒ හරහා අපි සමාජයට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ගැන පණිවුඩයක් අරගෙන යනවා. ඒ හරහා සමාජයේ තිබෙන විවිධ ස්ටීරියෝටයිප් කඩලා, මෙතනින් එහාට වෙනත් ලෝකයක් තිබෙනවා කියන දේ සමාජයට කාවද්දන්න තමයි උත්සාහ ගන්නේ. ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා අපිට. හැමදාම වගේ අපේ දර්ශන වාර හවුස්ෆුල් වෙනවා. ඒ වගේම බොහොම ස්තූතියි කියන්න ඕනෑ ප්‍රේක්ෂකයන්ට අපිව බලන්න එනවට.
මෑතකදි ඔබට 2020 වර්ෂය සඳහා රටේ ජනප්‍රියම නිළියට හිමි සම්මානයත් ලැබුණා. ඒ ගැනත් මතක් කරමු?
ඇත්තටම මම හරි වාසනාවන්තයි. මේ මගේ දෙවැනි සරසවි සම්මානය. මට හරිම සතුටුයි ඒ ගැන. විශේෂයෙන්ම මේ වසරේ මගේ තව චිත්‍රපට කිහිපයක්ම නිකුත් වෙන්න තිබෙන නිසා ප්‍රේක්ෂකයන්ට වෙනදට වඩා වැඩිපුර මාව චිත්‍රපට හරහා දකින්නට ලැබෙයි.
මෑතකදී නිර්මාණයක් සඳහා ඔබ ඇඳ සිටි ඇ¾දුමකට අයහපත් ප්‍රතිචාර හිමිවෙලා තිබුණා. ඇත්තටම ඇ¾දුමෙන්, අම්මා කෙනෙක්ගේ, කාන්තාවකගේ හොඳ නරක මනින්න පුළුවන්ද?
ඇ¾දුම කියන එක ගොඩක් අය අපේ සංස්කෘතිය එක්ක පටලගෙන ඉන්නේ. ඒත් අපි තේරුම්ගන්න ඕනෑ දෙයක් තමයි සංස්කෘතිය කියන්නේ හැම දවසකම, හැම මොහොතකම වෙනස් වෙන යාවත්කාලීන වෙන දෙයක්. අපි තාමත් සංස්කෘතිය කියලා හිතාගෙන ඉන්නේ එක්දහස් අටසිය, නවසිය ගණන්වල පැවැති තත්ත්වයට. ලෝකය වෙනස් විධියට අපේ සංස්කෘතියත් හැඩ ගැහෙන්න ඕනෑ. මම ඉන්නේ එතැන. මම රංගන ශිල්පිනියක්.
එතැනදි මම කරන චරිතයට මම සාධාරණයක් කරන්න ඕනෑ. එතැනදි මගේ සීමාවන්ට අනුව මට ගැළපෙනවා නම් මම ඒ ඇ¾දුම අඳිනවා. ඒ වගේම මගේ වයසත් එක්ක, මට ගැළපෙනවා නම් මම දෙපාරක් නොසිතා ඒ ඇ¾දුම අඳිනවා. මම ඉන්ස්පයර් වෙලා තිබෙන්නේ මගේ අම්මාගෙන්. පොඩි කාලේ ඉඳලම මම දැක්කේ මගේ අම්මා හරිම ලස්සනට අඳින විධිය. ඒ වගේම තමන්ගේ වයසට, විශේෂයෙන්ම ඇඟට ගැළපෙනවා නම් ඕනෑම කෙනෙක්ට ඕනෑම විලාසිතාවක් කරන්න පුළුවන්.
අවසන් වශයෙන් ඉදිරියේදි එන්න තිබෙන නිර්මාණ ගැනත් මතක් කරමු?
තේජා ඉද්දමල්ගොඩ මහත්මයාගේ චිත්‍රපටයක් එන්න තිබෙනවා. ඒ වගේම හර්ෂ උඩකන්ද අයියගේ රෝස ආදරේ චිත්‍රපටයේත් වැඩ කටයුතු අවසන් වෙමින් පවතිනවා. ඒ වගේම මීට වසර කිහිපයකට කලින් මමයි සාරංගයි රංගනයෙන් දායක වුණු විශ්ම කියන චිත්‍රපටයත් මේ වසරේ බොහෝ දුරට තිරගත වෙයි. ඊට අමතරව තවත් අලුත් නිර්මාණ කිහිපයකටම දායකත්වය ලබා දෙනවා.
අක්ෂි මාපා වීරසිංහ
.png)
.png)
