ඕනෑම කෙනෙකුට තවත් කෙනෙකුගේ දෙනතට කඳුළක් දිය හැකියි. නමුත් මුවගට සිනහවක් දීම අසීරූ කටයුත්තක්. ඒ කියන්නේ හැමෝම හිනස්සන්න හැම කෙනෙකුට ම බැහැ,. පුංචි තිරයෙත් සිනමාවෙත් ඇගේ විහිළු කතාවලට බොහෝ දෙනෙකු සිනාසෙන්නේ ඈ දක්ෂ ලෙස රංගනයේ යෙදෙන නිසයි. රූපයෙන් කට හඬින් වගේම නමින් දන්න ඈ නිල්මිණී කොට්ටෙගොඩ. ඈ මුලින්ම කතාබහ ආරම්භ කළේ, “ හැමෝම මගේ නම වැරදියට පාවිච්චි කරන්නේ, හරිම අමාරුවෙන් හදාගත්ත නම හරියට ලියන්න ..” කියලයි. ඈ කෝට්ටේගොඩ නෙමෙයි කොට්ටෙගොඩ. මේ කතාබහ ඇය ගැනයි
කොහොමද නිල්මිණි, පුංචි තිරය එක්ක එදා වගේම අදටත් ඔබ කාර්‍යබහුලයි නේද ..?
සතුටින් සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා . ඒක නම් ඇත්ත. පටන් ගත්ත කාලේ ඉඳලම අද වෙනකල් මට නම් වැඩ ලැබෙනවා. මාව තවම ප්‍රතික්ෂේප වෙලා නැහැ. ඒ ගැන හරිම සතුටුයි. ඒ නිසා නිර්මාණ එක්ක තවම මට ගැටෙන්න පුළුවන්. මම හරිම ආදරෙන් කලාව එක්ක ජීවත් වෙනවා
සංසාරේ නාට්‍යයේ ගංගානි ගැන බොහෝ දෙනෙක් කතා කරනවා, කලාකරුවන්ගේ ඇත්ත ජීවිතේ ගංගානි ඔස්සේ එළියට ඇවිත්..?
ඔව්. ගංගානිටයි දුවටයි හොඳට සිංදු කියන්න පුළුවන් , හතලිස්ටාර් කියන වැඩසටහනක් එක්ක බිහි වෙන ගංගානි සංගීතය එක්ක හැප්පෙන්නෙ කොහොමද කියලා කියන්නේ ජීවිතේ ගැට ගහ ගන්න. සංගීත ප්‍රසංගවලට ගියාම අපිත් ඔය වගේ හොර බොරු වංචාකාරයින්ට අහු වෙනවා. යථාර්ථය මගේ හරහා පිට වෙනවා. මම සමහර අවස්ථාවන්ට මුහුණ දුන්නා ප්‍රසංගවලට සම්බන්ධ වෙලා ස්ටේජ් එක ළඟදි කීයක් හරි අතමිට මොළවලා දෙන ගාණ ගත්තා. පොරොන්දු වෙන ගාණ ලැබෙන්නේ නැහැ.
ගංගානි කියන්නෙත් ඔබේ සුපුරුදු කොමඩි රාමුව ඇතුළේ වෙනස් චරිතයක් ..?
බැලූ බැල්මට ඒ චරිතය පිස්සුවක් වගේ. නමුත් ඒ චරිතය කොමඩිවලින් එළියට ගන්න තමයි නිර්මාණකරුවන් උත්සාහ ගන්නේ. නමුත් ඒ චරිතය දිහා මොළෙන් බැලුවොත් හරි වේදනාත්මක ජීවිතයක් ගැන කියන්නේ. ඒ අම්මා තනියම දරුවෙක් හදාගෙන මහපොළොවේ අසාධාරණ එක්ක ජීවිතේ වීරියෙන් ගැට ගහගන්න හැටි කතා කරන්නේ. මට නම් ඒ අම්මාව හරියට දැනුණා.
ඔබ දක්ෂ රංගන ශිල්පිණියක්. ඇයි ඔබ කොමඩි ගණයට රාමු වෙන්න ඉඩ හැරියේ. ඒ ගැන දුකක් නැද්ද ..?
ලේබල් කිරීම වැරදියි. නමුත් මට බොහෝ වැඩ ලැබෙන්නේ කොමඩි පැත්තට. නමුත් මම හොඳ චරිත නිරූපණය කරලා තියෙනවා. ඒකට අධ්‍යක්ෂවරු මාව විශ්වාස කරලා චරිත දෙන්න ඕන. එහෙම මාව වෙනස් කළ චරිතයක් තමයි 2010 වර්ෂයේ මහේන්ද්‍ර පෙරේරා අධ්‍යක්ෂණය කළ ස්ටාර් ශ්‍රී ලංකා නාට්‍යය. ඔහුගෙන් ඇතැම් අය අහලා තිබ්බලු නිල්මිණීට මේ චරිතය දීලා එයාට කරගන්න පුළුවන් වෙයිද?…. ඇයි එයාට ඒ චරිතය දුන්නෙ කියලා. නමුත් මහේන්ද්‍ර මාව විශ්වාස කරලා චරිතය දුන්නා. ඒ චරිතය මම හොඳටම කළා. ඒක සාර්ථක වුණා. ඔහු සතුටු වුණා මගේ රංගනය ගැන. මම ඒකේ රඟපෑවේ දසුන් පතිරණ ගේ අම්මට. ඔහු ඒ චරිතයට සම්මානත් ගත්තා. මට ශිල්පිනියක් විදිහට ඕනෑම වර්ගයේ චරිත කිරිමේ හැකියාවක් තියෙනවා . ලේබල් කිරිම ගැන දුකක් නැත්තේමත් නැහැ .
රංගන ජීවිතයට ඔබ පන්නරය ගන්නේ පාසලෙන් හා වේදිකා නාට්‍යවලින්..?
මම ඉගෙන ගත්තේ කළුබෝවිල මහා විද්‍යාලයෙන් . පාසලේ හැමෝම මට කතා කළේ ශිරෝනිකා කියලා. සිංහල උගන්නපු ගුරුතුමිය පංතියේ කලා කටයුතු හැම වැඩකටම මාව තමයි මූලික කර ගන්නේ. පාඩම්වල තියෙන කවි ගායනා කරන්නත් මට තමයි කතා කරන්නේ. මම ජන ගායනා, විරිඳු ආදි අංශවලින් සාහිත්‍යය තරගවලට සම්බන්ධ වෙනවා. දවසක් තරගයකට සම්බන්ධ වුණු අතරතුර දුටුගැමුණු වේදිකා නාට්‍යය නිර්මාණය කළ අයිරාංගනි කළුතන්ත්‍රි මිස් මට කිව්වා ඒ නාට්‍යයේ රඟපාන්න එන්න කියලා. අපි ප්‍රින්සිපල් සර්ට හරි බයයි. මම කිව්වා සර්ගෙන් අහන්න කියලා. සර් අවසර දුන්නා මම දක්ෂ ළමයෙක් කියලා. ඒ විදිහට තමයි මම රංගන ජීවිතේ පටන් ගන්නේ. එතකොට මම 9 වසරේ ඉගෙන ගන්නවා. එදාමෙදාතුර ටෙලිනාට්‍ය සීයකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. සංගීත ප්‍රසංග එක්ක රටවල් 17කට විතර ගිහින් තියෙනවා.
ඔබේ දියණියත් දක්ෂ නිවේදිකාවක්. ඇය උදේ පාන්දර නැඟිටලා කෑම බීම පිළියෙල කරන ආකාරය ගැන සඳහන් කළ හාස්‍යජනක වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යයේ විකාශය වුණා,..?
දුව බිනෝලි ජයමාලී. එයා සිරසෙ වැඩ කරන්නේ. එයා නිවේදිකාවක් . සින්දු කියන්න වගේම රඟපාන්නත් දක්ෂයි. ඒ විඩියෝ එකේ කියපු විදිහට උදේ පාන්දර හතරට නම් නැඟිටිලා හැම වැඩක්ම කරන්නේ නැහැ. හාස්‍යජනක වීඩියෝවක් කරලා සමාජ මාධ්‍යට එයා දාලා තිබ්බා. දුව විවාහකයි. විවාහ ජීවිතේ වගේම පවුල් ජීවිතේ බැලන්ස් එකේ ගෙනියන්න එයා දක්ෂයි. පුතා මලිඳු . එයා කලාවට සම්බන්ධ නැහැ. ජොබ් එකක් කරනවා. මට දරුවෝ ගැන හරිම ආඩම්බරයි. එයාලා පුළුවන් විදිහට සතුටින් ජීවිතේ ගෙවනවා කාටවත් බරක් නොවී. දෙමාපියන් වුණ අපට එයාලා නිසා පීඩනයක් නැහැ. අපි සමාජයට පේන්න ෂෝ එකට ජීවත් වෙන්නෙත් නැහැ .
දරුවෝ පුංචි කාලෙත් ඔබ කාර්‍යබහුල රංගන ශිල්පිනියක්. ඔවුන්ට අම්මගේ සෙනෙහස අහිමි වෙලා තියෙනවා කියලා චෝදනා කරලා නැද්ද ..?
චෝදනා නම් කරලා නැහැ. නමුත් දැනිලා ඇති. මොකද මුල් කාලේ අපිට වාහන තිබ්බේ නැහැ. උදේ පාන්දර ෂූටිං යද්දී දරුවෝ නිදි. සමහර දවස්වලට වැඩ ඉවර වෙලා ගෙදර එද්දී දහය එකොළහ වෙලා. සමහර දවස්වලට පාන්දර දෙන ට්‍රාන්ස්පෝට් එකේ ගෙදර එන්නේ. මඟ දිගට නළු නිළියෝ බස්සලා එද්දී පරක්කු වෙනවා. ඒක ලොකු කට්ටක්. ඒ කාලේ ෆෝනුත් නැහැ අද වගේ. දරුවෝ ඔහේ එයාලට පුළුවන් විදිහට වැඩ තනියම කරගෙන ජීවත් වුණු කාල තිබ්බා. බොහෝ වෙලාවට අපේ අම්මා තාත්තා ඔවුන්ට දෙන කෑම බීම කාලා ගෙවුණ දවස් තිබුණා. මම ගෙදර ඇවිත් ගෙදර වැඩ කරනවා. උයනවා. දරුවන්ගේ පාසල් වැඩ බලනවා. නමුත් ළඟින් හිටපු කාලේ ටිකක් අඩුයි. ඒත් මගෙ දරුවෝ දෙන්නා හරි ලස්සනට හැදුණා. ඉගෙන ගත්තා. එයාලා කැමති මාර්ග තෝරා ගත්තා.
සැමියාගේ උදව් නොතිබ්බා නම් විවාහයෙන් පසුව ඔබේ රංගන හැකියාව හැංගිලා යන්න ඉඩ තිබ්බා නේද ..?
ඒක නම් ඇත්ත. මගේ සැමියා ඩී. ඩබ්ලිව් නන්දසිරි. ඔහු ඔහුට පුළුවන් විදිහට පවුල් ජීවිතේ අරන් යන්නත් මගේ කලා ජීවිතේ නිදහසේ මට ගෙනියන්නත් උදව් කළා. සියයට සියයක්ම උදව් කළා කියලා බොරුවට කියන්න බැහැ. දරුවෝ පොඩි කාලේ සමහර දවස්වලට මම ගෙදර යද්දී එයාල හෝදලා ඇදුම් මාරු කරලාවත් නැහැ . ඒ වගේ ලොකුවට නොහිතා වැඩ කරලා තියෙනවා . නමුත් ඔහුගෙන් වගේම දෙමාපියන්ගෙනුත් උදව් තිබ්බා. ඒ නිසා තමයි මම තවම රඟපාන්නේ . ඒ වගේම මට හොඳට උයන්න පුළුවන්. මගේ පුතාට හදිසි අවස්ථාවක් ආවොත් සම්බෝලයි බතුයි හරි හදාගෙන කන්න දන්නවා. ඔහු තේ එකක් මට හදලා දෙනවා. ඒ තරම් රසම රස තේ මම වෙන කොහෙන්වත් බීලා නැහැ . හැමෝම මට උදව් කළා කියන්න පුළුවන්.
රූපවාහිනී තිරයේ දකින නිල්මිණි ගේ කටකාර විහිළුකාර ජීවිතේ පවුල් ජීවීතේටත් පොදු එකක්ද. සමහරු හිතන්න පුළුවන් ඔබ විනෝදෙන්ම කාලේගත කරන කෙනෙක් කියලා ..?
මිනිස්සු සතුටු කරන්න මම පට්ටපල් බොරු කියන්නේ නැහැ. අපි දිහා බලන ජනතාව හිතන්න පුළුවන් අපි දිව්‍ය ලෝකෙන් බැහැලා වගේ ජීවිතේ ගෙවන්නෙ කියලා. කලාකරුවෝ කිව්වම එහෙම හිතන අයත් ඉන්නවා. එහෙම නැහැ. දුක් වේදනා සුසුම් මැදින් තමයි මේ ජීවිතේ එදා ඉඳලා ගෙවීගෙන ගියේ. මමත් දුක් විඳපු ගෑනියක්. දුක දැනිලා අඬලා තියෙනවා. කෙනහෙලිකම්වලට මුහුණ දීලා තියෙනව. මම ණය වුණේ වාහනේ ගන්න විතරයි. ඒකත් තිතට ගෙවලා ඉවර කළා. දැන් ඒ ණයත් නැහැ. මහත්තයාගේ ආදායම් හැරුණම මම දුක් මහන්සි වෙලා හම්බ කරපු මුදලින් තමයි ජීවත් වෙන්නේ. නමුත් සතුටින් ඉන්නවා. හිනා වෙන වෙලාවට විහිළු කරලා හිනාවෙනවා .
නිල්මිණි කියන්නේ බොහෝ ප්‍රවීණයින් එක්ක රංගනයේ යෙදෙන්න වාසනාවන්ත වුණු රංගන ශිල්පිණියක්, රඟපාන්න කැමැත්තෙන් හිටපු ඒත් මඟ හැරුණු නළු නිළියෝ ඉන්නවද..?
මම මාලනි ෆොන්සේකා, ජෝ මහත්තයා, විජය , රවින්ද්‍ර වගේ ප්‍රවීණයින් එක්ක වැඩ කරලා අත්දැකීම් ගත්ත කෙනෙක්. ඒත් ලොකු ආසාවක් තිබුණා ගාමිණි ෆොන්සේකා මහත්මයා එක්ක රඟපාන්න. නමුත් මට ඒ අවස්ථාව උදා වුණේ නැහැ. ඒ ගැන නම් හරිම දුකයි.
ඔබත් එක්ක කැසට් පටයක් කරන්න පොරොන්දු දුන් කෙනෙක් විජය කුමාරතුංගයන් කියන්නේ. ඒත් ඒක පොරොන්දුවක් විතරක් වුණා කියලා ආරංචියි ..?
එතුමා හරිම නිහතමානී කෙනෙක්. මධු සිහින චිත්‍රපටයේ නැටුම් කණ්ඩායමේ මම හිටියා. ශූටිංවලදි නිතරම විජය අයියා මුණ ගැහුණා. කෑවේ බිව්වේ අපි හැමෝම එකට. ඔහු මිය යන්න දවස් දෙක තුනකට කලින් පානදුරේ ෂූටිං කරද්දී ඔහු මට කිව්වා බට්ටී මම ඔයත් එක්ක කැසට් එකක් අනිවාර්යයෙන්ම කරනවා. ඒක අපි ළඟදිම කරමු කියලා. එහෙම කියපු ඔහු කොළඹ ගිහිං තිබ්බා. ඊට පස්සේ ආරංචි වුණා එතුමා වෙඩි වැදිලා මිය ගියා කියලා. මගේ කටහඬ ලස්සනයි කියලා තමයි ඔහු එක්ක කැසට් එකක් කරමු කිව්වේ. ඒ වගේ මතක අමතක වෙන්නෙ නැහැ මට
ජනතාවගේ ආදරේ ලබන්න වාසනාවන්ත වූ ඔබ ඔවුන්ගේ ප්‍රතිචාර ගැනත් කියමු..?
මගේ නම මම බොහෝම අමාරුවෙන් ගොඩ නඟාගත් කෙනෙක්. මාව දැක්කත් නොදැක්කට නමින් වගේම රූපයෙන් දන්නවා. මේ ළඟදි දවසක දුර පළාතක ඉඩමක් සම්බන්ධව දුරකතනයෙන් කතා කළා. මම මගේ නම කිව්වේවත් නැහැ . ඒත් ඒ ඇමතුම සම්බන්ධ වුණු තරුණයා ඇහුවා මේ නිල්මිණි කොට්ටෙගොඩ නේද කියලා. මම ඇහුවා නම නොකියා කොහොමද දැනගත්තෙ කියලා කටහඬින් තමයි කිව්වා. ඒක එක උදාහරණය ක් විතරයි. මට අසීමිතව ආදරේ කරන රසික රසිකයින් නිසා තමයි මම මෙහෙම සතුටින් ජීවත් වෙන්නේ. ඔවුන්ගේ ආදරේ මට නිතරම ලැබෙන්න ඕන කියලයි මම හිතන්නේ ,
හර්ෂණී වීරරත්න

.png)
.png)