වේදිකාව, සිනමාව වගේම පුංචි තිරයෙත් බොහෝ ප්‍රේක්ෂක ආදරය ලබන නයනා හෙට්ටිආරච්චි කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රවීණ, දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල පුංචි තිරයේ විකාශය වන මන්දාරම් කතාවේ ටෙලි නාට්‍යයේ මෙන්ම අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යවලට රංගනයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන නයනා හෙට්ටිආරච්චි සිය කලා ජීවිතය තුළ ලැබූ අත්දැකීම් සහ අදහස් මෙවර අප සමඟ බෙදාගත්තේ මෙලෙසින්.
මේ දිනවල මොකද වෙන්නෙ?
බොහොම නිදහසේ ඉන්නවා. ඒ අතර මගේ කලා වැඩකටයුතුත් කරගෙන යනවා.
ඔබේ රංගන වැඩකටයුතු ගැනත් කතා කළොත්?
මම රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණයක් වන සිහින සමීකරණ සිනමා පටය මැයි දාහත්වැනිදා තිරගත වීමට නියමිතයි. ඉතින් එහි වැඩකටයුතුත් මම මේ දිනවල කරගෙන යනවා. ඒ වගේම අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායක වනවා. මේ දිනවල බොහෝ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන මන්දාරම් කතාවේ ටෙලි නාට්‍යයේත් මවු චරිතයකට මම රංගනයෙන් දායක වනවා. ඒ වගේම වේදිකා නාට්‍ය කිහිපයක වැඩකටයුතු කරගෙන යනවා.
ඔබ දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක්. ඉතින් ඒ ගැනත් කතා කළොත්?
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ එලොව ගිහින් මෙලොව ආවා වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ වැඩකටයුතු මේ වන විට කරගෙන යන්නේ ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය. ඉතින් මම එලොව ගිහින් මෙලොව ආවා නිර්මාණයේ නව නිෂ්පාදනයට මේ දිනවල රංගනයෙන් දායක වනවා. ඒ වගේම වෙල්ලවැහුම් වේදිකා නාට්‍යයේත් වැඩකටයුතු කරගෙන යනවා. කැලණි පාලම වේදිකා නාට්‍යයේ මැටිල්ඩාගේ චරිතයට මෙතෙක් කල් රංගනයෙන් දායක වුණේ රම්‍යා වනිගසේකර මහත්මිය. රම්‍යා මහත්මිය අසනීප වූ නිසා ඒ චරිතය කරන්න මට ආරාධනාවක් ලැබුණා. ඒ නිසා කැලණි පාලම වේදිකා නාට්‍යයේ මැටිල්ඩාගේ චරිතයටත් මම මේ දිනවල රඟපානවා.
ඔබ රංගනයට පැමිණි මුල් කාලයේ පටන්ම මවු චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඒ සඳහා විශේෂ හේතුවක් තිබෙනවාද?
මට අවුරුදු විසි අටේ පමණ ඉඳලා මවු චරිතවලට රඟපෑවා. අපේ කලා ක්ෂේත්‍රය ඇතුළේ කලාකරුවෙක් එක් චරිතයක් හොඳින් සිදු කළාම ඒ චරිතයටම නැවතත් කතා කරනවා. මම මවු චරිතවලට සීමා වෙන්න එයත් එක් හේතුවක්. ඒ වගේම මගේ පෙනුමේත් ගම්බද බවක් පෙනෙන නිසා බොහෝවිට මට ආරාධනා ලැබෙන්නේ ගැමි, මවකගේ චරිතවලට.
රංගන ක්ෂේත්‍රය ඇතුළේ කලාකරුවකුට රාමුගත නොවී වැඩ කරන්න බැරිද?
වෙනත් චරිතවලට ආරාධනා ලැබෙන්නේ නැතිනම් මේ පිළිබඳව අපට කෙතරම් අවශ්‍යතාවක් තිබුණත් වැඩක් නැහැ. මොකද අපි කරන පළමුවැනි නිර්මාණය ඇතුළේ අපි කෙතරම්දුරට සාර්ථක වනවාද යන කරුණ මත තමයි අපට අධ්‍යක්ෂවරුන්ගෙන් මීළඟ නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ. රාමුගත නොවී වැඩ කරන කලාකරුවන් ඕනෑ තරම් සිටිනවා. නමුත් බොහෝ කලාකරුවන් තම පළමුවැනි රංගනය තුළින්ම එකම වර්ගයක චරිතවලට සීමා වනවා.
කලාකරුවකුට වේදිකාවෙන් ලැබෙන පන්නරය කලා ක්ෂේත්‍රයේදී බොහොම වැදගත්. නමුත් නවක කලාකරුවන්ට මේ අවස්ථාව නොලැබී යෑම ගැන ඔබ මොකද හිතන්නේ?
එකපාරම කලාවට ඇවිත් නොපෙනී යන නවක කලාකරුවන් අතරේ සිය දක්ෂතා හොඳින් හ¾දුනාගෙන දක්ෂතා පෙන්වන කලාකරුවනුත් ඒ අතර සිටිනවා. වර්තමානයේදී බොහෝ නවක කලාකරුවන්ට වේදිකාවෙන් කලාවට එන්න අවස්ථාව උදාවන්නේ නැහැ. ඉතින් ඕනෑම කලාකරුවකුට කලාව ගැන හොඳින් හදාරා මේ ක්ෂේත්‍රයට එන්න පුළුවන්. මනා හැදෑරීමකින් යුතුව කලා ක්ෂේත්‍රයට එන කලාකරුවන්ට හොඳ පැවැත්මක් තිබෙනවා. හැදෑරීමක් නැතිව කලා ක්ෂේත්‍රයට පැමිණෙන කලාකරුවන් තමයි හතු පිපෙනවා වගේ ඉක්මනින් පිපී පරවී යන්නේ.
ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙස ඔබට නවක කලාකරුවන් සමඟ වැඩ කරන එක මොන වගේ අත්දැකීමක්ද?
ඇත්තටම යම් යම් ගැටලු මතුවෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මම නම් දකින්නේ ප්‍රවීණ කලාකරුවන්ගේ සහයෝගය ඒ අයට ලැබෙන්න ඕනෑ. මොකද අපටත් එහෙම කාලයක් තිබුණා. අපට එදා ප්‍රවීණ කලාකරුවන්ගේ සහයෝගය ලැබුණු නිසා තමයි අපි කලා ක්ෂේත්‍රය තුළ මේ තරම් දුරක් ආවේ. නවක කලාකරුවන්ගෙන් බොහෝ පිරිසක් ප්‍රවීණ රංගන ශිල්පීන් ඇසුරෙන් තම චරිත හොඳින් ගොඩනඟා ගන්නවා. අලුත්ද පරණද කියලා ප්‍රතික්ෂේප කරනවාට වඩා සහයෝගයෙන් මේ ගමන යන්න පුළුවන්නම් එය තමයි වැදගත්. ඒ වගේම නවක කලාකරුවන්ට තමන්ගේ ගමන ගොඩනඟාගන්න ප්‍රවීණ කලාකරුවන් ලෙස අපිත් ඔවුන්ට සහයෝගය දක්වන්න ඕනෑ.
ඔබ පුරහඳ කළුවර වැනි විශිෂ්ට සිනමා නිර්මාණවලට පවා රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඉතින් ඔබ වර්තමාන සිනමා ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?
එදා සිනමා කර්මාන්තයට වඩා අද සිනමා කර්මාන්තය මුහුණදෙන්නේ බොහොම අභියෝගාත්මක කාල පරාසයකට. සිනමා පටයක් නිර්මාණය කරනවා කියන එකම අද කාලයේ බොහොම දුෂ්කර වැඩක්. නමුත් නිර්මාණාත්මක හැකියාව තිබෙන බොහෝ පිරිසක් වර්තමානයේ සිටිනවා. බොහෝ අධ්‍යක්ෂවරුන්ට ප්‍රතිපාදන නොලැබීම නිසා වර්තමානයේ හොඳ නිර්මාණ බිහි වෙන එක අඩුවෙලා තිබෙනවා. ඒ වගේම සිනමා නිර්මාණයක් කරලා බොහෝ කාලයක් එය තිරගත කිරීමට බලා ඉන්නත් සිදුවෙලා තිබෙනවා. අපේ රටේ දක්ෂ අධ්‍යක්ෂවරුන් නැහැ කියන්න බැහැ. ඔවුන්ට ලැබෙන සම්පත් ප්‍රමාණයේ හිඟකම නිසා මේ බොහෝ ගැටලු නිර්මාණය වී තිබෙනවා. වර්තමානයේ සිනමාව යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙනවා නම් ඒ මේ හේතු නිසා කියලයි මට නම් හිතෙන්නේ.
ඔබත් එක්ක ක්ෂේත්‍රයට පැමිණි බොහෝ දෙනා අධ්‍යක්ෂණයට යොමු වෙලා. ඔබට අධ්‍යක්ෂණයට යොමුවන්න අදහසක් නැද්ද?
කිසිසේත්ම නැහැ. අධ්‍යක්ෂණයට යොමු වෙන්න නම් මගේ කිසිම අදහසක් නැහැ. රංගන ශිල්පිනියක් ලෙස ඉදිරි කලා ජීවිතයත් ගත කරන එක තමයි මගේ බලාපොරොත්තුව.
ඔබේ අනාගත බලාපොරොත්තු ගැන කතා කළොත්?
මම කලා ක්ෂේත්‍රයට ආවේ මහා ලොකු ගමනක් යන්න බලාගෙන නෙවෙයි. එදා වගේම අදත් මට කලා ජීවිතය ඇතුළේ ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. මගේ දරුවන් දෙදෙනාත් එක්ක සතුටින් හොඳින් ජීවත් වෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.
.png)
.png)