රංගනය යනු ඇයට අලුත් දෙයක් නොවේ. සහජයෙන්ම එය ඇයට උරුම වූවකි. ඇය උපත ලබන්නේම කලා පවුලකට නෑකම් කියමිනි. හෙළයේ නිළි රැජන මාලිනී ෆොන්සේකා ඇයගේ නැන්දණියයි. කලාවට සමීපම සබඳකම් තිබුණ ද ඇයට තිබුණේ විද්‍යාඥවරියක් වීමේ සිහිනයයි.
ඒ අතරේම රංගනය කෙරෙහි ආසාවක් නොතිබුණාම නොවේ. එය හොඳින්ම පැහැදිලි වූවේ පුවත්පත් දැන්වීමක් ඔස්සේ රංගනයට අයදුම්පතක් යොමු කරන්නට ඈ සිත පෙලඹීමයි. කුලුඳුල් රංගන අත්දැකීම ලෙසින් සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය විසින් නිර්මාණය කරනු ලැබූ සිරි පැරකුම් සිනමාපටයේ සිරිමල් එතනා වන්නට ඇයට අවස්ථාව ලැබෙන්නේ එලෙසිනි. පසුගියදා පැවැති සරසවිය සම්මාන උලෙළේ 2019 වසරේ ජනප්‍රියම නිළියට හිමි සරසවිය සම්මානයෙන් පිදුම් ලැබූ ඇය සෙනාලි ෆොන්සේකායි.
තම ජීවිතයේ ලැබූ කුලුඳුල් සිනමා සම්මානය ගැන අදහස් පවසමින් ඇය කියා සිටියේ එය තම ජීවිතයට අමතක නොවන මතකයන් රාශියක් එක්කිරීමට සමත් වූ සම්මානයක් බවයි.
“සරසවිය සම්මානය කියන්නේ කලාකරුවකුට හෝ කලාකාරිනියකට ගොඩක් වැදගත් සම්මානයක්. කාලෙකට කලින් කරපු නිර්මාණයකට කාලෙකට පස්සෙ මේ වගේ ඇගැයීමක් ලැබීම ලොකු සතුටක්. ප්‍රේක්ෂක ආදරය තවමත් ඒ විදිහටම තියෙනව කියන එක හොඳින්ම දැනුණා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විජයබා කොල්ලය කියන්නේ මගේ ජීවිතේට මතකයන් ගොන්නක් ඉතිරි කළ සිනමා නිර්මාණයක්. ජනප්‍රියම නිළියට සම්මානිත වුණා වගේම තවත් අතකින් ඒක මට විශේෂයි. මං වසර 9ක් 10ක් තිස්සේම හැම නිර්මාණයකටම සහභාගී වුණේ මගේ අම්මත් එක්ක. ඇය මගේ හෙවණැල්ල වගේ හැමදාම හිටියා. විජයබා කොල්ලය තමයි අම්මත් එක්ක සම්බන්ධ වුණු අවසන් නිර්මාණය. ඒ නිසා මට ඒකත් එක්ක මතකයන් ගොඩක් තියෙනවා. ඒ මට ජීවිතේ අමතක නොවන සම්මානයක්.
විජයබා කොල්ලයේ නීලමනී විදිහට සම්මානය හිමිවුණාට නීලමනී ගොඩනඟන්න වෙහෙසුණු තවත් පිරිසක් හිටියා. එයාලගෙන් ලැබුණු සහයෝගයෙන් තමයි නීලමනි සාර්ථක චරිතයක් බවට පත්වුණේ. චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වගේම කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය ඇතුළු විජයබා කොල්ලය කණ්ඩායමම මෙහිදී සිහිපත් කළ යුතුයි.
ජනප්‍රියම මාලාව වගේම මගේ ලොකුම හීනය තමයි හොඳම කියන කැටගරි එක යටතේ සම්මානයක් ලබා ගැනීම. ඉදිරියේදී තිරගත වීමට නියමිත නිර්මාණ වගේම ඉදිරියේදී සහභාගී වන නිර්මාණ එක්ක ඒ හීනය සැබෑ කරගන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා.
මා මත පැවරුණු වගකීම් වෙනුවෙන් මට විෙටන් විට විදෙස්ගත වෙන්න සිදු වුණත් මං වැඩිපුරම කැමැති මගේ රංගන කටයුතුත් කරගෙන ලංකාවෙ ජීවත් වෙන්න. තව ඉගෙන ගන්න දේවලුත් තියෙනවා. ඒ වගේම මං ඉගෙන ගත්ත දෙයින් රටට සේවයක් කරන්නත් අදහසක් තියෙනවා. වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවීමේ බලාපොරොත්තුවකුත් තියෙනවා. මොනවද ඉදිරියට තව කරන්නෙ කියන එක ලොකුවටම ප්ලෑන් කරල නෑ. මේ මේ දේවල් වෙන්න ඕන කියන දළ අදහසක් තියෙනවා. මට අවශ්‍ය දේවල් ඒ විදිහටම වේවි කියලා හිතනවා. කාලෙකට කලින් මම ආදරය කළා. රැවටුණා. දුක්වින්දා මේ හැම අත්දැකීමක්ම අද ඉන්න මේ සෙනාලිව ගොඩනඟන්න රුකුලක් වුණා. ඉස්සර මං ආදරය විදිහට දැක්කේ ආදරය, රැකවරණය, විශ්වාසය, ගෞරවය, ආකර්ෂණය වගේ දේවල එකතුවක්. ඒත් අද මං ඒක දකින්නේ මානසික නිදහස, ගරුත්වය, සතුට, සුන්දර වචන වගේ දේවල්වල එකතුවකින් විදිහට. මං දන්නව හොඳම දේවල් ලැබෙන්නෙ පරක්කු වෙලා හෙමින් හෙමින් කියලා. මටත් හැමදේම හොඳම විදිහට ලැබේවි කියන විශ්වාසය මා තුළ තියෙනවා.“
නාමලී ගමගේ
.png)
.png)
.png)