අපේ රටේ බහුතරයක් ඉන්නේ මූණවල් ඇද කරගෙන-කේ. සුජීවා




තරු රෑනක සිට ඉඟිමරමින් ප්‍රසංග වේදිකාවට පැමිණි ඇය, දශක ගණනක කලා ජීවිතය තුළ තම ජනප්‍රියත්වය එක ලෙසම රඳවා තබා ගන්නට හැකිවූ ගායිකාවකි. පසුකාලීන ගායිකාවක් ලෙසින් මෙන්ම ව්‍යාපාරිකාවක් ලෙසින්ද සාර්ථකත්වයට පත්වූ ඇයට, ඇගේ හැකියාවන් එලෙසින්ම දායාද කර ගත් දියණියන් දෙදෙනෙක්ද සිටියි. මෙවර හදගැස්ම සමඟින් හෘදයාංගම කතාබහක නියැළෙන අෑ නමින් කේ. සුජීවාය.


මේ දවස්වල කලා කටයුතු ගැන කියලම කතාව පටන් ගමු?


මේ දවස්වල කලා කටයුතු කියන්නේ ප්‍රසංග වේදිකාවේ ෂෝස් තිබෙනවා. ඊට අමතරව මමයි මගේ දුවලා දෙන්නයි අලුතෙන් සින්දුවක් කළා. ඒක බොහෝ දුරට මේ මාසයේ අවසානයේ රිලීස් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම මගේ පොඩි දුවගේ පළමුවැනි ගීතය පසුගිය දිනක රිලීස් වුණා. ඒ වගේම පහුගිය කාලයේ  හැම නාළිකාවකම වගේ විශේෂ අවුරුදු ප්‍රෝග්‍රෑම්ස් තිබුණා. ඒවටත් සහභාගි වුණා. එතකොට ප්‍රසංගවලත් සහභාගි වුණා. ඒ හැමදේම එක්ක පොඩ්ඩක් විතර කාර්යබහුලයි. හැබැයි ඒ කියන්නේ කිසි දෙයක් කරන්න වෙලාවක් නැති තරම් මේ මම බිසී නැහැ. ඔය අතරතුර මම සැලොන් එකෙත් වැඩ ටික කරනවා. රෑට ෂෝස් ටිකටත් යනවා. මගේ බිස්නස් වැඩ ටිකත් හරියට බලනවා.


ඔබ බොහොම කලාතුරකින් තමයි අලුත් නිර්මාණයක් එළියට දෙන්නේ. ඇයි ඒ?


නිතරම ගීත රිලීස් කරන කට්ටිය ගැන මම මොකුත් වරදක් කියන්නේ නෑ. ඒ එයාලගේ විධිය. හැබැයි මම හිතන්නේ නොමැරෙන ගීතයක් එක වරක් හදපු මනුස්සයෙක් ඊට පස්සේ ගීත කීයක් හැදුවත් ඒ මනුස්සයව හ¾දුනාගන්නේ අර පළමුවැනි ගීතයෙන්. මම අවුරුද්දකට පාරක් හරි ගීතයක් නිර්මාණය කරන්නේ මොකක් හෝ හේතුවක් නිසා. මගේ නිකුත් වෙන්න තිබෙන අලුත්ම ගීතයටත් හේතුවක් තිබෙනවා. අන්න එහෙම හේතුවක් අනුව තමයි මම ගීතයක් නිකුත් කළොත් නිකුත් කරන්නේ. ඇත්ත ආර්ටිස් කෙනෙක් වුණාම මේ ක්ෂේත්‍රයේ රැ‍ෙ¾දන්න හැමදාම සින්දු කරන්න ඕනෑ නැහැ. නොමැරුණු, මතකයේ සිටින, යම්කිසි පණිවුඩයක් දෙන සින්දු හදන්න පුළුවන් නම් අවුරුද්දකට එක සින්දුවක් හැදුවත් ඇති.


අලුත් ගීතය හැදෙන්න බලපෑ හේතුවත් කියමු එහෙනම්?


ඇත්තටම මම ඒ ගීතය හදන්න හේතුව මිනිස්සු හිනා නොවීම. මට ඒක ලොකු ප්‍රශ්නයක්. මට ජීවිතයේ කොච්චර ප්‍රශ්න තිබ්බත් අනෙක් මිනිස්සු එක්ක මූණ ඇද කරගෙන ඉන්නේ නැහැ. ඕනෑ කෙනෙක් එක්ක හොඳට හිනා වෙලා කතා කරනවා. ඒ වගේම සින්දු කියන්න එන්න කලින් ලොකු ආයතනවල වැඩ කරලා තිබෙනවා. මම මනෝවිද්‍යාව ප්‍රැක්ටිස් කරපු කෙනෙක්. ලොකු තනතුරුවල වැඩ කරලා තිබෙනවා. ඒත් ඒ කිසිම වෙලාවක මම සිංගල් පේරන්ට් කෙනෙක් වුණත් මගේ ප්‍රශ්න අනෙක් මිනිස්සුන්ට පෙන්නලා නැහැ. විශේෂයෙන් ගත්තොත්, බැංකුවල, ෆාමසිවල,


ඉස්පිරිතාලවල ඉන්න මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හිනා වෙලා ඉන්න ඕනෑ. නමුත් බහුතරයක් මූණ ඇද කරගෙන ඉන්නේ. ඒ වගේම සුපර් මාර්කට්වල ඉන්න ළමයින්ටත් හිනා වෙන්න පුරුදු කරන්න ඕනෑ. මොකද අපි බඩු හොරකම් කරන්න නෙවෙයිනේ යන්නේ. මනුස්සයෙක්ට දෙවියෝ දීලා තිබෙන දෙයක් තමයි හිනාව. ඇයි එහෙනම් හිනා වෙන්නේ නැත්තේ. හිනා වුණා කියලා අපෙන් මොකුත් අඩු වෙන්නේ නැහැ. ඒත් මිනිස්සු හරි හොරයි හිනාවෙලා ප්‍රියමනාපව ඉන්න. ඒ නිසා ඒක මාතෘකාවක් කරගෙන තමයි මම මේ සිංදුව හැදුවේ. ඒකේ ටයිටල් එක ‘හිනාව’.


අද වෙද්දී ලංකාවේ ගීත බොහෝමයක් ඉන්දියානු  රසිකයන් ඉලක්ක කරගෙන නිර්මාණය වෙනවා. ඔබට ඒ හැකියාව හොඳටම තිබිලත් ඇයි එහෙම උත්සාහයක් නොගන්නේ?


මම ඇත්තටම එහෙම දෙයක් උත්සාහ නොකළේ, මම ඉන්නේ මේ පුංචි ලංකාවෙනේ, මගේ ටාර්ගට් එක වෙන්නේ මේ ලංකාවේ හැම මනුස්සයෙක්ටම අහන්න පුළුවන් විධියට සින්දු කියන එක සහ මේ ලංකාවේ හැම මනුස්සයෙක්ම මාව හ¾දුනාගන්න එක. ඇත්තටම මම කැමැතියි ලංකාවේ රසිකයන්ව අරමුණු කරගෙන නිර්මාණ කරන්න.


ඉන්දියානු වෙළෙඳපොළ තුළ අපේ නිර්මාණවලට ලැබෙන ඉඩ හැමදාම තිබේවිද?


අපේ හොඳ නිර්මාණයක් ඉන්දියානු මාර්කට් එකට දාලා බූස්ට් කරගන්න පුළුවන්. ඉන්දියාව ලංකාව වගේ නෙවෙයි ඔවුන්ගේ රටට ඇවිත් ඕනෑම කෙනෙක් කරන නිර්මාණයක් වැලඳ ගන්නවා. ඒ වගේම අපේ ලංකාව වගේ නෙවෙයි ජනගහනය වැඩියි. ඒ නිසා හොඳ අගය කිරීමක් එක්ක එළියට දාන වැඩක් පත්තු වෙනවා. නමුත් ඒක එක පාරයි. හැමදාම එහෙම වෙයි කියලා හිතන්න බැහැ. ඉන්දියාව කියන්නේ ශ්‍රෙයා ගෝෂාල්, හරිහරන්, අනිරුද් වගේ මිනිස්සුව කරේ තියාගෙන සිංදු කියන්න පුළුවන් පිරිසක් ඉන්න රටක්. එතකොට වෙළඳපොළ තරගකාරිත්වයත් වැඩියි. අපිට ඉන්දියාවට ගිහින් අපේ සින්දුවක් ජනප්‍රිය කරන්න පුළුවන්. නමුත් ඒක සදාකාලික නැහැ. හැබැයි ලංකාව ඇතුළේ ජෝතිපාල මහත්මයාව නොදන්න ලාංකිකයෙක් නැහැ. ඒ මම ඒක දකින විධිය. එහෙමයි කියලා ඉන්දියාවේ ගිහින් සින්දු කියපු, සම්මාන දිනපු අයව මම අවතක්සේරු කරන්නේ නැහැ. ඔවුන්ගේ හැකියාව, උනන්දුව සහ වාසනාව තිබුණු නිසා ඔවුන් ඒ තැනට ගියා.  මට ඒ සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් නැහැ. මගේ වැඩිම අවධානය තිබෙන්නේ මගේ ව්‍යාපාරවලට.


තනි මවක් විධියට ඔබ රටක් හ¾දුනන දුවලා දෙදෙනෙක්ව හදලා තිබෙනවා. ඒ ගැන මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ?


මම හැමදාම කියන දෙයක් තමයි, මම හොඳ බිරියක්, හොඳ පෙම්වතියක්, හොඳ යාළුවෙක් නෙවෙයි වෙන්න ඇති. සමහර වෙලාවට හොඳ සහෝදරියක්, අම්මා තාත්තට හොඳ දුවෙක් කියන තැන මට මිස් වෙන්න ඇති. හැබැයි මම අම්මා කෙනෙක් වෙච්ච දවසේ ඉඳන් අද වෙනකම් මම හොඳ අම්මා කෙනෙක්. ඒ ගැන මම හරියට ආඩම්බර වෙනවා. තනි මවක් කියන්නේ සියලුම දේ තනියම කරන කෙනාට. සිංගල් මාම් කියන කන්සෙප්ට් එක කියන්නේ තනි ගැහැනියක් තනියම ජීවිතයේ සියලු දේ දරුවන් වෙනුවෙන්  කැප කරන එකට. ඒ අනුව මම ආඩම්බර වෙනවා මම ගැන. මොකද මම ඉතා සාර්ථක මවක්.


ඔබයි දුවලා දෙන්නයි අතර හරි අපූරු බැඳීමක් තිබෙනවා. ඒ ගැනත් ටිකක් කතා කරමු?


ඒ බැඳීම ඇත්තටම අපි කාටවත් පෙන්නන බොරුවට හදපු එකක් නෙවෙයි. ඒක හැමදාම ඒ විධියම තමයි. අපේ බැඳීම අපේ ජීවිත තුළ ඉබේම හැදුණු දෙයක්. ඇත්තටම මට යාළුවෙක් නැහැ. නමුත් ඒක මට කවදාවත් දැනිලා නැහැ. මොකද මගේ දුවලා දෙන්නා නිසා. ඉතිං ඒ බැඳීම නිසා මම හරි ශක්තිමත්ව ඉන්නවා.


අවසන් වශයෙන් ඉදිරි කලා කටයුතු ගැනත් මතක් කරමු?


විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ. මම අලුතෙන් ව්‍යාපාර ආයතනයක් ආරම්භ කළා “K Entertainment” කියලා. එතැන මියුසික් ලේබල් කෙරෙනවා. කාලයක් අපේ රටේ මියුසික් ලේබල් එක නැතිවෙලා තිබුණනේ. ඉතිං මගේ ආයතනය යටතේ මියුසික් ලේබල් සහ මියුසිකල් ඉවෙන්ට් කෙරෙනවා. එතැනින් පළමුවැනි ඉවෙන්ට් එක ජූලි මාසයේ 6 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ පවත්වන්න කටයුතු සූදානම් කරලා තිබෙනවා.


අක්ෂි මාපා වීරසිංහ



Previous Post Next Post