රසිකා දෙල්වල කියන්නෙ මහ මුහුදක් වගේ විශාල කලාව ඇතුළේ ඉඩක් හොයමින් යන කලාකාරිණියක්. පසුගිය දිනෙක කලාවෙන් ඈත් වී වසර හතරකට පමණ පසුව ඇය රංගනයෙන් දායක වුණු ඇස් නිමාවට පත්වෙනවත් එක්ක තවත් නිර්මාණ කිහිපයකටම ඇයට දොරගුළු විවර වෙලා. ඒ ගැන වගේම කලා ගමනේ ආගිය තොරතුරු ඇය මෙහෙම බෙදාගත්තා...
මොනවද ඔබේ අලුත් වැඩ කටයුතු?
කලාව ගැන කතා කරද්දි මම මුලින්ම මතක් කරන්න ඕනෙ ‘ඇස්’ නාට්‍ය ගැන. ඇස් කියන්නෙ මගේ ඔමරබසබට චදසබඑ එකක්. කලාවෙන් ඈත් වෙලා ඉඳල අවුරුදු හතරකට විතර පස්සෙ තමයි මම ‘ඇස්’ එක්ක ආයෙමත් රංගනයට අවතීර්ණ වුණේ. ගිය සතියෙ ටෙලිෆිල්ම් එකක රූපගතකිරීම් තිබුණා. තව නිර්මාණ දෙකකට ආරාධනා ලැබිල තියෙනවා. ඒ දෙකට ආරාධනා ලැබුණෙ ඇස් නාට්‍යයෙන් මම නැවතත් ප්‍රේක්ෂකයා හමුවට ආපු නිසා.
ඔබ තීරණය කරල තිබුණද නැවතත් රඟපාන්නෙ නෑ කියල?
මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. කලාව තුළ ලොකු රඳාපැවැත්මකුත් නෑනෙ. ඉතින් පොඩි කලකිරීමකුත් තිබුණා. ඒ නිසා මම කලාවෙන් ඈත් වෙලා හිටියා.
කලාවට පිවිසෙන්නෙ කොහොමද?
කලාවට පිවිසීම අහම්බයෙන් සිදුවුණ දෙයක්. නමුත් මගේ සමකාලීනයන් මාව පහුකරගෙන කලාවේ ඉස්සරහට යද්දි මට ඒ තුළ රැඳීමක් තිබුණෙ නෑ. මොකද ගොඩක් නිර්මාණ වලට මාව ගත්තෙ නෑ.
පවුලෙ විස්තර...
පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, මායි, අක්කයි, මල්ලියි. තාත්තා ඉන්නෙ ඇමෙරිකාවේ. මේ වෙනකොට පදිංචිය මහරගම.
පාසල...
මම ඉගෙනගත්තෙ ගමේ ඉස්කෝලෙ. පණාවැන්න කියන ගමේ තිබුණ පොඩි ඉස්කෝලයක. පස්සෙ කහවත්ත මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා.
ඇස් හා සම්බන්ධ වෙන්නෙ...
ක්ෂේත්‍රය ගැන කලකිරීමක් එක්ක ඉද්දි මම පෞද්ගලික ආයතනයකට ගියා ඩ්‍රාමා එකක ස්ක්‍රීන් ටෙස්ට් එකකට. ඒ ඩ්‍රාමා එක මට ලැබුණෙ නෑ. නමුත් මට එදා එතෙන්දි චන්දන ලියනගේ මහත්මයා මුණගැහුණා. ඔහු හරහා තමයි මට ‘ඇස්’ නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ. එහි අධ්‍යක්ෂ හසුන් සමීර, එඩිටර් චන්දන ලියනගේ, පිටපත් රචකයා වූ දිනේෂා පුංචිහේවා මම මතක් කළ යුතුමයි. මේ තුන්දෙනා නැත්නම් මම ‘ඇස්’ නාට්‍යයේ නෑ. දැන් ආයෙමත් රඟපෑමේ උණ ඇඟට ඇවිත් තියෙන්නේ. ඇස් නිසා තමයි රඟපෑමේ ආශාව ආයෙමත් ආවේ.
කලාවෙ කැපිලි කෙටිලි වැඩියි වගේ...
මේ ක්ෂෙත්‍රයේ කැපිලි කෙටිලි තියෙනව. මාව චරිතෙකට තෝරගෙන මුහුරත් එකත් තියල අන්තිම මොහොතේ ඒ චරිතෙන් මාව අයින් කරපු අවස්ථා තිබුණා. තවත් අවස්ථාවල නාට්‍ය වල ෂූටින් පවා කරල මගේ කොටස් කපල දාලා තිබුණා. ඔය දේවල් නිසා තමයි මට කලාව ගැන කලකිරුණෙ.
ඔබේ පළමු චිත්‍රපටි අත්දැකීම ගැන මතක් කළොත්...
2017 මගේ පළවෙනි චිත්‍රපටය කොළඹ සන්නිය රිලීස් වුණා. මට ලොකු ආසාවක් තිබුණා චිත්‍රපටියකටත් රංගනයෙන් දායක වෙන්න. ඒකට මට උදව් කළේ වුණ හේමාල් දිල්ෂාන් සහ හර්ෂ උඩකන්ද. ඒ වගේම සරත් කොතලාවල වැනි කලාවේ දැවැන්ත චරිතයන්ගෙන් ලබාගත් අත්දැකීම් හරිම වටිනවා.
රංගනයේ බලාපොරොත්තු මොනවද?
රංගනය පැත්තෙන් අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ආසයි. ඒ වගේම මම රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත කිහිපයක් තියෙනව. ශලනි තාරකා කියන්නේ මම කැමතිම රංගන ශිල්පිණියක්. ඇය කලාව තුළ විවිධ චරිත ඔස්සේ රංගනයෙන් දායක වුණා. මමත් කැමති ඒ වගේ එකම චරිත වලට කොටු නොවී විවිධ පරාසයන් තුළ රංගනයේ යෙදෙන්න. කළු චරිතයක්, මුඩුක්කු චරිතයක් කරන්න ආසයි. මං දන්නෑ ඒක කොච්චර දුරට සාර්ථක වෙයිද කියල. නමුත් එවැනි චරිතයකට මං හරි ආසයි.
එරංදි කෞශල්‍යා



