දරුවන්ට කන්න බොන්න පවා මවුපියන්ට දෙන්න බැරි තැනකට අද රටේ හොරු ටික ඇද දාලා ඉවරයි - ගයේෂා පෙරේරා

 


රංගන ශිල්පිනියන් මෙරට සුලබ නමුත් අභියෝගාත්මක චරිතයක් භාර ගැනීමට සමත් රංගන ශිල්පිනියන් සිටින්නේ අතළොස්සකි. නිරුවත මැජික් එකක් වූ ලංකාව වැනි රටක වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක චරිතයක් භාර ගැනීම ඊටත් වඩා අභියෝගාත්මක කර්තව්‍යයකි. සිය ප්‍රතිභාපූර්ණ රංගන කෞෂල්‍යය සක්සුදක් සේ සනිටුහන් කරමින් ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ වාසනාගේ චරිතය භාර ගත් ඇය නමින් ගයේෂා පෙරේරාය. රිදී තිරය තුළ මෙන්ම පුංචි තිරය තුළද සිය රංගන කෞශල්‍යය විදහා පාන ඇය විටෙක නිවේදිකාවකි. තවත් විටෙක නිරූපණ ශිල්පිනියකි. සිනමා නිර්මාණ තුනකට සහ නිම්වළල්ල, කිදුරංගනා, දූලි පින්තාරු වැනි ටෙලිනාට්‍ය රැසකට ඇය රංගන දායකත්වය ලබා දුන්නාය. වසර දහතුනකට පසුව සිය රංගනයෙන් හැඩ වන ඉගිල්ලෙන මාළුවෝ සිනමාපටය පසුගිය 9 වැනිදා සිට ලාංකේය ප්‍රේක්ෂකයන් වෙත දිගහැරුණි. ලාංකේය ප්‍රේක්ෂකත්වය තුළ ආන්‍ෙදා්ලනාත්මක කතාබහකට ලක්වූ මෙම චිත්‍රපටයේ ඇගේ රංගනය පිළිබඳව සහ ඉදිරි කලා කටයුතු පිළිබඳ කතාබහ කරන්නට ගයේෂා පෙරේරා  සමඟ එකතු වුණා.


ඉගිල්ලෙන මාළුවෝ (Flying Fish) චිත්‍රපටයේ වාසනාගේ චරිතය ගැන කතා කළොත්? වාසනා ගැන මං කතා කරපු කාලය දැන් අවසන්. මේක වාසනා ගැන චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයින් කතා කරන කාලය. එදා චිත්‍රපටය වාරණය වුණේ ගයේෂා පෙරේරාට නෙවෙයි, හුදෙක් වාසනාලට.


මෙම චිත්‍රපටයේ ඔබේ චරිතය සමාජ මාධ්‍ය තුළ නින්දිත විධියට ගැරහුමට ලක් වුණා. කොහොමද ඔබ මේ තත්ත්වය දකින්නේ? එය ඉතා අසීරු කාර්යයක්. ඉස්සර ප්‍රවීණ නළු, නිළියන් චිත්‍රපට කරද්දී සමාජ මාධ්‍ය දියුණු නැහැ. නමුත් දැන් පොඩි දෙයක් වුණත් සමාජ මාධ්‍ය ඔස්සේ ඉක්මනින් ප්‍රචාරය වෙනවා. මට ඒ වෙලාවේ විවේචනවලට මුහුණ දෙන එක පහසු වුණේ නැහැ. හැම වෙලාවෙම මම හිතන්න උත්සාහ කළා මම කළේ නිර්මාණයක් පමණයි යන වග. නමුත් ගොඩක් වෙලාවට මේ විධියට ගැරහුමට ලක් කළේ සමාජ මාධ්‍ය තමයි.


ලංකාව වැනි රටක නිරුවත් දර්ශන සහිත චරිතයක් භාර ගැනීම අභියෝගයක්. ඔබ කොහොමද මේ අභියෝගයට මුහුණ දුන්නෙ? මේ චිත්‍රපටය නිර්මාණය කළේ හුදෙක් ප්‍රේක්‍ෂකයන්ට. ප්‍රතිචාරවලින් පෙනෙන්නේ අපි සාර්ථකයි කියලා තමයි. වසර 13කට පසුව මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන ඒමට විශේෂ හේතුවක් තිබෙනවාද? විශේෂයකට තිබෙන්නේ නිවැරැදි සිනමාව රසිකයන්ට දැන්වත් දැකබලා ගැනීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා. ඒ ගැන සතුටුයි.


ඔබ කාලයක් දේශපාලනයට සක්‍රියව දායක වුණු කෙනෙක් විධියට ලංකාවේ වත්මන් දේශපාලනය ගැන ඔබේ අදහස කුමක්ද? වත්මන් දේශපාලනය ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මොකද ඒකට රටක් ඉතුරු වෙලා තියෙන්න එපැයි. රට තියා දරුවන්ට කන්න බොන්න ටික පවා මවුපියන්ට දෙන්න බැරි තැනකට අද රටේ හොරු ටික ඇද දාලා ඉවරයි.


සිනමා ක්ෂේත්‍රයේ සිටින රංගන ශිල්පීන් පුංචි තිරය තුළ දැකීමෙන් ඔවුන්ගේ වටිනාකම අඩුවන බවට සමාජය තුළ යම් මතයක් පවතිනවා. මෙම ක්ෂේත්‍ර දෙකෙහිම කටයුතු කරන රංගන ශිල්පිනියක් විධියට ඔබ මෙය දකින්නේ කොහොමද? මේකේ ඇත්තක් තිබෙනවා. නමුත් ලංකාව වැනි රටක මේ දෙකම නොකර කලාකරුවකුට වෘත්තීයමය වශයෙන් රැකෙන්න අමාරුයි. හදිසියේ රට අතහැර යෑමට විශේෂ හේතුවක් තිබෙනවාද? මේක කලින් යන්න හිටපු ගමනක්. ඒත් ලංකාවේ තිබුණු වැඩත් එක්ක ටිකක් කල් ගියා. වැඩ කිහිපයකට ආයෙත් ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා. අපි බලමු.


ලංකාවේ වාරණය වූ බොහෝ චිත්‍රපට ජාත්‍යන්තර සිනමා උළෙලවලදී ඇගයීමට ලක් වුණා. ජාත්‍යන්තර සිනමාවත් සමඟ බලන විට ලංකාවේ සිනමා කලාව ඔබ දකින්නෙ කොහොමද? ජාත්‍යන්තර සිනමාව විශාල වශයෙන් දියුණු වෙලා තිබෙනවා. ඒ තැනට යන්න පුළුවන් දක්ෂයෝ ඕන තරම් අපි අතර සිටිනවා. නමුත් රට සමෘද්ධිමත් නැතිකමින් කලාව විතරක් නෙවෙයි හැම දේම අඩාල වෙලා තිබෙන්නේ.


ටික්ටොක් වැනි සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්වලින් පැමිණෙන තරුණ, තරුණියන් නිර්මාණවලට දායක කර ගැනීම ගැන ඔබ මොකද හිතන්නේ? එයාලා දක්ෂ නම් ඒකේ කිසිම වැරද්දක් නැහැ. ඒ ගැන හොයල බලලා අදාළ වැඩේ කරන්න පුළුවන් නම් නවකයන්ට තැන දිය යුතුයි. ඔබේ ඉදිරි කලා කටයුතු ගැන මතක් කළොත්? මගේම සිනමා නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරන්න හිතාගෙන සිටිනවා. ඒ ගැන ඉදිරියේදී බලමු.





Previous Post Next Post