වයස හරිගිය පලියට කසාද බඳින්න බැහැ - රුක්ෂානා




අධ්‍යාපන කටයුතුවලට වගේම නර්ථනයටත් ඇලුම් කරපු ඇයට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් වෙන්න අවස්ථාව උදාවෙනවා. නිසි ලෙස  රංගනය හැදෑරූ ඇය ඉන් පිටවෙන්නෙ නර්ථන උපාධිධාරිනියක් විදියට. ඒ හරහා ජීවිතය ජයගන්න සිහින මවමින් සිටියදී දෛවය විසින් නොසිතූ ලෙස ඇයට රංගනයට පය තියන්න අවස්ථාව උදාකරනවා. එදා බොහෝ දෙනෙක්  ආසාවෙන් නැරඹූ උතුම්  පැතුම් ටෙලි සිත්තම හරහා කලා ලෝකෙට ඇතුළුවුණ රුක්‍ෂාණා දිසානායක නමැති ඒ තරුව කලකට පස්සේ  කථාබහට එකතු වී තිබුණා.


කොහොමද ජීවිතේ?


නර්ථන  කටයුතුවලටත් රංගන කටයුතුවලටත් මැදිවෙල සාමාන්‍ය විදියට ගෙවෙනවා.ඒ කටයුතුත් එක්ක ජීවිතේ අවිවේකී නැද්ද ඇත්තටම එහෙම ලොකු අවිවේකී බවක් දැනෙන්නෙ නැහැ. මොකද මම ඒ දේවල් එදා ඉඳලම බැලන්ස් එකේ තමයි කරගෙන යන්නෙ. කිරිබත්ගොඩ පැවැත්වෙන මගේ රුක්ෂනා දිසානායක ඩාන්සින් ඇකඩමියෙ ඉගැන්වීම් නැති දවස්වලට මම නර්ථනය ඉගෙන ගන්න දරුවන්ගෙ ගෙවල්වලට ගිහින් ෂබාසඩසාම්කකහ උගන්වන්න යොදාගෙන තියෙනවා. ඒ කටයුතු නැති දවස්වල තමයි මම රූගතකිරීම්වලට සහභාගි වෙන්නෙ. ඒ නිසා අනවශ්‍ය කාර්ය බහුල කමක් මේ තාක් මට දැනිලා නෑ.


ඒ කියන්නෙ රුක්ෂනා සැලසුම් සහගතයි


අනිවාර්යයෙන්. ඒක මට පුංචිකාලෙ ඉඳල තිබුණ පුරුද්දක්. අපි කවුරු වුණත් සැලසුමක් ඇතුව ජීවිතය ගෙනියන්න පුරුදු වෙන්න ඕන. එහෙම නැත්නම් අර කලින්  කිව්ව අවිවේකී බවට පත්වෙන්න වෙනවා.


ළඟදි උපන්දිනේ ලොකුවට සැමරුවලු නේද?


අනේ ඒකනම් බොරුවක්. වෙනදට මොන දේ නැතත් අම්මයි තාත්තයි මල්ලියි එක්ක ගෙදරට වෙලා කේක් එකක්වත් කපල සතුටු වෙනවා. මෙදා සැරේ රටේ පවතින මේ තත්ත්වෙත් එක්ක එහෙම දෙයක්වත්  කරන්න බැරිවුණා.


ඒ කියන්නෙ කිසිම සැමරීමක් තිබුණෙ නෑ.


ආ... මෙහෙමයි පුංචි පිංකමක් නම් කළා. අපේ ගෙවල් පැත්තෙ පාරෙ කන්න නැතුව ගැවසෙන බල්ලො පනහකට විතර අම්මත් එක්ක එකතුවෙලා කෑම උයල කන්න දුන්නා. ඒ කටයුත්ත මතක් වෙද්දී හිතට ලොකු සතුටක් දැනෙනවා.


මේ දවස්වල ඔබේ රංගන කටයුතු ගැන කතා කළොත්


සියත නාලිකාව හරහා විකාශය වන විසේකාර හාදුවක් ඩ්‍රාමා එකේ ඉෂිනි, හිරු චැනල් එකේ විකාශය වන ළංවී ඩ්‍රාමා එකේ තාල්යා විදියටත්, සිරස නාලිකාවේ නීල පබලු නාට්‍යයේ ග්ලේෂ්මා විදියටත් මගේ චරිත ප්ලේ වෙන අතරෙ තවමත් ඒ නාට්‍යවල රූගතකිරීම්වලට සහභාගි වෙනවා.


ඉෂිනි, තාල්යා, ග්ලේෂ්මා කියන චරිත තුනෙන් රුක්ෂනා වැඩියෙන් කැමති චරිතය.


ඇත්තම කිව්වොත් ඔය චරිත තුන තුන් විදියක්. ග්ලේෂ්මා කියන්නෙ අභියෝගාත්මක දේවල් එක්ක ජීවත් වෙන කෙනෙක්, ළංවී ඩ්‍රාමා එකේ තාල්යා වැඩසටහන් අධ්‍යක්‍ෂිකාවක්. විසේකාර හාදුවක් නාට්‍යයේ ඉෂිනි කියන්නෙ බොහොම තැන්පත් චරිතයක්. අන්න ඒ වෙනස්කම් නිසා මම ඔය චරිත තුනටම එකවගේ කැමතියි. 


හැබැයි අපි දන්න රුක්ෂනා බොහොම දඟකාරයි.


ඔව් ඒ මගේ සැබෑ ජීවිතේනෙ. මම පුංචි කාලෙ ඉඳලම විනෝදෙන්, විහිළුවෙන් උඩපැනල නටල හැමෝම එක්ක සතුටින් ඉන්න කැමති කෙනෙක් අන්න ඒ නිසා තමයි ඔය කියන දඟකාර බව මගෙන් දකිනව ඇත්තෙ.


දීගෙක යන්න කල වයස හරි කියලා හිතෙන්නෙ නැද්ද?


අම්ම තාත්ත නම් ඒ ගැන නිතර මතක් කරනව. වයස හරිගියාටම කසාද බඳින්න බෑනෙ. මට ආදරය කරන මාව ආරක්‍ෂා කරන අවංක කෙනෙක් හමුවුණාම මම ඒ ගැන හිතනවා.


ධම්මික හේවාවසම්






Previous Post Next Post