දේදුන්නෙන් සමනලියක වෙලා ඇවිදින් දිල්හානි අශෝක මාලා විදියට රසික සිත් උන්මාදයට පත්කළ කතාව දැන් හුඟාක් පරණයි. පුංචි පුංචි මුහුණේ හැඩට පිහිටලා තිබුණු ඇගේ හුරුබුහුටි ‘ෆීචස්’ උතුරු ඉන්දියානු සිනමාව කුල්මත් කළ ලස්සන දමිළ නිළි ශ්‍රී දේවිට සමාන වූ නිසා දිල්හානි අශෝක මාලා ‘පුංචි ශ්‍රී දේවි’ ලෙස ජනප්‍රිය වූ කතාවද තරමක් පරණ කතාවක්. එහෙම කියන්නේ, විනෝදකාරී ප්‍රේමණීය, බොළඳ චරිතවලින් ඈත්ව චරිතාංග නිළි කැලට එක්වූ දිල්හානි ගැන ඊට වඩා කතා කරන්න බොහෝ අරුත්බර දෑ… එහෙමත් නැත්නම් වැඩකට ඇති කතා තියෙන නිසාය.., මේ දිනවල ඈ ගැන දොඩන්නට හැකි සුවිශේෂීම කතන්දරය වන්නේ ‘ජංගි හොරා’ගේ කතාවය. ‘ජංගි හොරා’ යනු සදාචාරය විසින් ගත් පිරිසට නම් කුණුහරුපයෙකි.., නමුත්.., ‘ජංගි හොරා’ අධ්යක්ෂ සෝමරත්න බාලසූරිය කීවේ ‘ජංගි හොරා’ යනු කුණුහරුපයක් නෙවෙයි කියාය.., කොයික කෙසේ වුවද ‘ජංගි හොරා’ බලන්නට රසික පිරිස පෝලිම්වල කට්ට කන්නේ ඉමහත් සතුටින්ය. දිල්හානි අශෝක මාලාද ‘ජංගි හොරා’ ගැන කතා කරන්නට ‘හාට්’ ටැබ්ලොයිඩ් එකට ආවේ හදවතින්මය.., ‘ජංගි හොරා’ ගැනවත් ‘ජංගි හොරා’ට අනුකම්පා කරන ‘නයනිගේ’ රංගන රටාව ගැනවත් එයට ජීවය දුන් දිල්හානිගේ හිතේ කිසිම කහටක් තිබුණේ නැත.., ඉතින්.., හිතේ කිසිම චකිතයක් නැතුව ‘ජංගි හොරා’ ගැන දිල්හානි මේ විදියට පුවත්පතක් සමඟින් කතා ක තිබුනා.
ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ..?
නරක නැහැ… දුක… සතුට… සිනහව… කඳුල මත ඔහේ ගෙවී යනවා.
කලා කටයුතු ගැන අලුත් ආරංචි එහෙම කොහොමද..?
සුනිල් කොස්තාගේ අලුත්ම ටෙලියේ රූගත කිරීම් සඳහා මේ දවස්වල සූදානම්ව ඉන්නවා.
කතා පුවත සහ ඔබේ චරිත නිරූපණය ගැන කියනවා නම්..?
වෙනස් මගක කතාවක්. වතුයායක සේවය කරන කාන්තාවන් කිහිපදෙනෙක් තමන්ට හිමි අයිතිවාසිකම් ලබා ගැනීමට රාජ්‍ය සේවාව පසුපස හඹා යන කතන්දරයක් තමයි එහි තියෙන්නෙ. ඒ කාන්තාවන් අතර එක් කාන්තා චරිතයකට පණ දෙන්නෙ මම.
කතාව සහ චරිතය ගැන ඔබ සෑහීමකට පත්වෙනවද..?
අනිවාර්යයෙන්ම.., ‘සුනිල් කොස්තා’ කියන්නෙ යමක් කරන්න පුළුවන් චරිත හරහා කතා මවන නිර්මාණකරුවෙක්.
ඒ වාගේම පුද්ගලිකව මම ඔහුගේ කතාවලට සාමාන්‍යයෙන් ප්‍රිය කරනවා. වෙනස් දේ ප්‍රේක්ෂක සිත්වලට දැනෙන්නට කරන ඒ නිර්මාණය මගේ හිතට කාවැදුණා… ඒ හින්දයි ඒක තෝරගත්තෙ.
ඔබ ටෙලිනාට්‍යවලින් මඳක් වහං වෙලා හිටියා..?
ඔව්… ටෙලිනාට්‍ය කලාව මට අරහං වූ අවස්ථා තිබුණා. ඒ හින්දා ටික කාලෙකට ටෙලි බාර ගත්තේ නැහැ.
ඒ ‘අරහං’ වීමට හේතු කියන්න පුළුවන්ද..?
දැන් ටෙලි කලාව කෙරෙන්නේ ඒ ඒ නිර්මාණකරුවනට ඕනෑ ඕනෑ විදියට. එක කොටස් පෙළක් ඉවර කරලා ඊළඟ කොටස් පෙළ කරන්න මාස ගානක් යනවා. ඒ කොටස් ටික ඉවර වෙලා අනෙක් කොටස කරන්න ඊටත් කල් යනවා. නාට්‍ය ආරම්භයේදී ඉන්න මම නෙවෙයි අවසානෙට ඉන්නේ. එක්කො හිටියට වැඩිය මහතයි, නැත්නම් කෙට්ටුයි. අර දීර්ඝකාලීන වකවානුව තුළ නාට්‍ය ඉවර වෙනතුරු කොණ්ඩෙවත් කපන්න හෝ වෙන ස්ටයිල් එකක්වත් කරන්න විදියක් නැහැ.
අනෙක මූඩ් එක නැතිව යන එක චරිත ස්වභාවය අමතක වෙන එක තවත් ලොකු මානසික පීඩාවක්.., ඒ අතරට කොටස් 50යි, එහෙම නැත්නම් 75යි කියලා පොරොන්දු වෙලා ඉන්පස්සේ ප්‍රමාණයක් නැතුව කොටස් එකසිය, දෙසිය ගණන් ටෙලිය දුවනවා. ඇත්තටම නරඹන රසිකයන්ට වුණත් ඒක රසවින්දනයට බාධාවක්. ඔවුනුත් දෙදුලාවට පත්වෙනවා. අවසානය දකිනතුරු නාට්‍යය අතහරින්නත් බැහැ. ගානක් මිම්මක් නැතුව දුවන දිවිල්ල නතර වෙන්නෙත් නැහැ… ඇත්තමයි කලකිරෙනවා. රසිකයෝ වාගෙම රඟපාන අපිත් මොට්ට වෙනවා. අපටම අපිව එපා වෙනවා. අපේ නිළිකම හෑල්ලු වෙනවා. ඇත්තමයි මට නම් ඒ ක්‍රමය අල්ලන්නෙ නැහැ… ඒ හින්දා ටෙලිනාට්‍ය බාර ගන්න එක සීමා කළා.
සීමා කළා කියන එකේ තේරුම අතොරක් නැතිව දිව යන නාට්‍ය රිජෙක්ට් කරන එකද..?
ඔව්… නාට්‍ය පිටපත බාර ගනිද්දිම අහනවා, කොටස් කීයදැයි කියලා. ඒක 50ට එහා නම් මම බාර ගන්නේ නැහැ.
සුනිල් කොස්තාගේ ‘පනම් බඳින ගස්’ ටෙලිය ඔබ ඔය කියන සීමාව තුළ කොටස් 50න් අවසානයිද?
ඔව්… ඔහු මට කිව්වා මේ ටෙලිය කොටස් 50යි කියලා.
දවසේ කුලියට කලා ශිල්පීන් රංගනයට යොමුවීම ඔබ අනුමත කරනවද..?
නැහැ… මම එය කිසිසේත්ම අනුමත කරන්නෙ නැහැ. මම කවමදාකවත් දවසේ කුලියට රඟපාන්න යන්නෙත් නැහැ.., අනෙක දවසේ කුලිය මත රඟපානවා කියන්නේ රංගන ශිල්පීන්ගෙන් මරව මරව වැඩගන්න එක. ඒත් කෙනෙක් දෙන්නෙක් හැරුණු කොට බොහෝ නිෂ්පාදක පිරිස් රංගන ශිල්පීන්ගෙන් ගෙවන වැටුපට වඩා වැඩ ගන්නවා. උදේ පාන්දර වාහනේට නග්ගවගෙන මහ රෑ දොළහට, එකට ඇවිල්ලා ගෙදරින් බස්සවල ආයෙම ඇවිත් පාන්දර හතරහමාරට පහට එක්ක යනවා. කොයිතරම් අමානුෂිකද ඒක… ඇඟක්පතක් හෝදන්න වෙලාවක් නැහැ… සුවදායි නින්දක් නැහැ… මනසට, කයට විවේකයක් නැහැ… හිතලා බලන්න චරිතයට සාර්ථකව ප්‍රවිෂ්ට වෙන්න නම් රිලැක්ස් එකක් ඕනෑ නේද.., වරද නිෂ්පාදක අංශයේද, එහෙම නැත්නම් දවසේ කුලියට රංගනයට එන ශිල්පීන්ගේද..? දවසේ කුලියට රංගන ශිල්පීන් එන්නේ ඒක ඔවුන්ගේ වෘත්තීය නිසා. හැබැයි ප්‍රඩක්ෂන් එක දැනගන්න ඕනෑ රංගන ශිල්පීන්ට වැඩ කරන්න පුළුවන් සිමාවක් තියෙනවා නේද කියලා. එහෙම හැඟීමක් නැති පිරිසක් සමග වැඩ කරන්නට වීම ඇත්තටම කනගාටුයි.
දවසේ කුලියට වැඩ කරන්නෙ නැහැ…’ කියලා ඔබ ගත්ත පියවර අනෙක් රංගන ශිල්පීන්ට ගන්න බැරි ඇයි..?
ඔබේ සිතුවිල්ල අසාධාරණයි. දවසේ කුලියට රඟපාන්නේ නැහැ කියලා කියන්න මට වොයිස් එකක් තිබුණට හැමෝටම එහෙම කරන්න පුළුවන් පසුබිමක් නැහැ.
ඔවුන් වෘත්තීය රංගන ශිල්පියෝ… එක ශිල්පියෙක් බැහැයි කියල රිජෙක්ට් කරන ටෙලිය ගන්න තව දහදෙනෙක් විතර බලා ඉන්න බව ඔවුන් දන්නවා. ඒ නිසා එහෙම තීරණ ගන්න බැරි බහුතරයක්ම ටෙලිනාට්‍ය කලාව තුළ ඉන්නවා. ඒ නිසා දවසේ කුලියට රඟපාන එක කරන්න එපා කියලා… ඒ කලා ශිල්පීන්ට අණ කිරීම සදාචාරාත්මක නැහැ.
හැමෝම සමස්තයක්ව එම තීරණය තුළ එකට හිටගත්තොත්..?
ඔව්… ඒ වාගේ රූල්ස් එකක් මත එකට හිටගත්තොත් යම් ප්‍රතිඵලයක් තියෙන්න පුළුවන්.
හැබැයි ඒකටත් ඉතින් වෘත්තීය සමිතියක් වාගේ සංවිධානයක සහාය අවැසි වෙනවා නේද..?
රටේ හැම ආයතනයකම, හැම රැකියාවකටම වෘත්තීය සමිතියක් තිබුණට කලාකරුවන්ට එහෙම එකක් නැති වග ඔබත් දන්නවා.
රජයෙන් මේ සඳහා යම් අනුග්‍රහයක් ලැබුණොත්..?
ඒක නම් අපූරු විහිළුවක්. මොන රජයද කලාකරුවන් වෙනුවෙන් සහනයක් සැලැසුවේ. ඔය ගැන කතා කරන එකත් වැඩකට නැති දෙයක්.
එහෙනම් ඒ කතාවට තිත තියලා අපි ‘ජංගි හොරා’ ගැන කතා කරමු..?
ඔව්… අපි කතා කරමු, ‘ජංගි හොරා’ කියන්නේ ඇදවැටී යමින් තිබූ සිංහල සිනමාවට නව නැම්මක් ගෙන ආ සාර්ථක නිර්මාණයක්.
තිරපිටපත කියවන විට ‘නයනි’ගේ චරිතය ගැන ඔබට තිගැස්මක් දැනුණේ නැද්ද..?
ඇයි මං තිගැස්සෙන්නේ… මම චරිතාංග නිළියක්. කරන්නට හැකි යමක් මගේ අතට පත්වන තිරපිටපතෙහි තියෙනවා නම් මම ඒ චරිතය බාරගන්නවා.
චරිතයක් එපා නම් රිජෙක්ට් කරනවා මිසක ඒ චරිතය දැක තිගැස්මට පත්වීම චරිතාංග නිළියකට යුතුවන්නේ නැහැ.
එවැනි චරිතයකට මැදි වීම ඔබට චකිතයක් වුණේ නැද්ද කියන අදහසයි ඉහත ප්‍රශ්නයෙහි තිබුණේ..?
චකිතයට පත්විය යුතු හේතුව කුමක්ද.., ‘සෑම්’ලා වාගෙම ‘නයනි’ලාද අප ජීවත් වන සමාජය තුළ ඉතාම සුලබයි. ‘ජංගි හොර‘කමේ යන ‘සැම්’ලා නගරයේ වගේම ගමෙත් ඉන්නවා.
මෙතෙක් රහසිගතව සිදුවූ සාමාන්‍ය සිදුවීමක් සෝමරත්න බාලසූරිය අතින් කලාත්මකව සිනමාවට නැඟුණා. ‘ජංගි හොරා’ ගැන දියයුතු සරලම කමෙන්ට් එක එයයි.
අනෙක ‘ජංගි හොරා’ කියන නම ගැනයි, එහි චරිත සහ සිදුවීම් ගැනයි කවුරු මොනව කීවත්, කාලෙකට පසුව සිංහල චිත්‍රපටයක ‘House Full’ කියන බෝඩ් එක ප්‍රදර්ශනය වීම දිල්හානි ඒකනායක හෝ ‘නයනි’ හැටියට මට විශාල සතුටක්.
වැල නොකැඩී කවුරුත් ආවේ ‘ජංගි හොරා’ කාන්තාවන්ගෙ අන්ඩර් පෑන්ට් හොරකම් කරනවා බලන්නයි..?
ඔව්… ඔබ හරි, ‘ජංගි හොරා’ කතාවේ තේමාවද එයයි. මොනවා බලන්න හරි මතක ඇති කාලෙක සිනමා ශාලා අතුරු සිදුරු නැතුව පිරී ගියා. එය කෙතරම් නම් සතුටක්ද.., කවුරුත් කීවේ ස්මාට් ෆෝන් එක, ෆේස්බුක් එක නිසා චිත්‍රපට හෝල් හිස්වුණා කියලයි. හැබැයි ‘ජංගි හොරා’ බලන්න හැමෝම ආවේ ෆෝන් එකත් අතේ තියාගෙන තමයි. ‘House Full’ බෝඩ් එක වැටුණායින් පස්සෙත් ‘ජංගි හොරා’ බලන්න ආව කට්ටිය ගෙදර ගියේ නැහැ. ඊළඟ ෂෝ එකට ටිකට් ගන්න ඔවුන් එහෙමම හිටියා.
‘ජංගි හොරා’ කියන නම චිත්‍රපටයට සදාචාරාත්මක නැහැ කිලා මත ඇති වුණා..?
ඔව්… සමහර දෙනා හිතන විදියයි ඒ… කොහොමත් නම ටිකක් අමුතුයිනේ. සමහරු ‘ජංගිය’ කියන නම පාවිච්චි කරන්නෙත් නැහැ. ඒක කැතයි, ලැජ්ජාසහගතයි කියා හිතනවා. ඒ හින්දා ඒ මත දැරීම වැරැදි නැහැ මං හිතන්නේ. හැබැයි චිත්‍රපටය බලන්න සෙනඟ පිරෙන කොට ‘House Full’ වෙන කොට ‘ජංගි හොරා’ කියන නමේ කැත ගතිය හුඟ දෙනෙකුට අමතක වෙලා ගියා.
‘ජංගි හොරා’හී රඟපෑම ගැන කිසිවෙකු ඔබට චෝදනා කළේ නැද්ද..?
නැහැ… මගේ මූණට කිසිවෙකු චෝදනා කළේ නැහැ. චරිතාංග නිළියක ලෙස දිල්හානි ඒකනායක කළ රංගනය ගැන ‘නයනි’ගේ සංකීර්ණ චරිතය ගැන නම් මට හිතවත් ප්‍රේක්ෂකයන් ඉතාම සතුටින් කතා කළා. අඩුම ගානේ උපහාසමය කවට කමකින්වත් කිසිවෙකු මා පීඩාවට පත්කළේ නැහැ.
තිරපිටපත සෝමරත්න බාලසූරිය දෙන විට ඔබ එකපයින්ම එයට කැමැති වුණා..?
සෝමේ අයියා ‘ජංගි හොරා’ පිටපත මට දුන්නේ මීට අවුරුදු ගණනාවකට ඉහතකදී. ‘ජංගි හොරා’හී චරිත ඉතාම සීමිතයි. ඒ අවුරුදු ගානකට ඉහත එහි මා හා රඟන්නට හිටියේ ජැක්සන් ඇන්තනී සහ සනත් ගුණතිලකයි. කුමක් හෝ හේතුවකට ‘ජංගි හොරා’ දිගුකාලීනව යටපත්ව තිබුණා. නැවැත ‘ජංගි හොරා’ නිෂ්පාදනය වන විට ජැක්සන් අයියයි, සනත් අයියයි එහි හිටියේ නැහැ. හැබැයි මා වෙනුවෙන් ‘නයනි’ගේ චරිතයට සෝමේ අයියා මාවම හොයාගෙන ආවා. එය මා වෙතින් ගිලිහී නොයෑම ඇත්තෙන්ම සතුටක්.
එහි යටි අරුත කාලය ගෙවී ගියත් චරිතයට සරිලන ලෙස ඔබේ පෙනුම එහෙමම තිබුණා..?
වෙන්නැති ඉතින්.., දන්නෙ නැහැ හරියටම… කොහොම හරි ‘ජංගි හොරා’ චිත්‍රපටයේ ‘සෑම්’ට අනුකම්පා කළ ‘නයනි’ වෙන්න මට වාසනාව ලැබුණා.
ඒ වාසනාව ඔබේ වයසට නොයන පෙනුම නේද..?
අනේ මන්දා… එහෙමය කියලා හිතමු…
‘ජංගි හොරා’හී සමහර දර්ශන පුබුදු සමග රඟන විට ඔබට අපහසුතා දැනුණේ නැද්ද..?
මම ‘නයනි’ගේ චරිතය තුළ මට හැකි උපරිමය කළා කියන උත්තරයයි මම ඔබට මෙතැනදී දෙන්නෙ. මට ඕනෑ වුණේ මට ලැබුණු මෙහෙවර හැමදාමමත් වාගේ ඉතා හොඳින් කරන්නයි, හිතන විදියට මම එය කළා එච්චරයි.
තව මොනවද ‘හාට්’ වෙනුවෙන් ඔබට කියන්න තියෙන්නෙ..?
මොනව කියන්නද ඉතින්.., අපිත් ඔයාලා වාගේ දුක, සතුට අතර සාමාන්‍ය විදියට කට්ට කාගෙන ජීවත් වෙනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු