පහුගිය දවසක මුහුණු පොතට එකතු වෙලා තිබුණු සරාගී ඡායාරූප පෙළක් නිසා උපේක්ෂා පිළිබඳව වන කතාබහ නැවතත් අලුත් වෙලා. සමාජ මාධ්‍ය කළඹමින් පැතිරුණු අලුත් ඡායාරූපවල විස්තර දැනගන්න අපි උපේක්ෂාට කතා කළා.
කාලෙකට පස්සේ සරාගී ඡායාරූප කිහිපයක් එක්ක උපේක්ෂා නැවතත් කරළියට ඇවිදින්. කොහොමද අර ෆොටෝ ෂූට් එකට ලැබෙන ප්‍රතිචාර?
Raffealla Fernando Celebrity Calendar සඳහා මේ අවුරුද්දේ මමත් සහභාගි වුණා. එහිදී ගත් ෆොටෝ කිහිපයක්ම පහුගිය දවසක ෆේස්බුක් එකේ පළ කළා. ඒ ෆොටෝ මේ තරම් ජනප්‍රිය වෙයි කියලා මම හිතුවේ නෑ. ඇත්තටම කියනවා නම් මම බලාපොරොත්තු වුණාටත් වඩා ප්‍රතිචාර මට ලැබුණා. මේ ගැන බොහෝ දෙනෙක් මාත් එක්ක කතා කළා.
දියණියකගේ මවක් විදිහට මේ වගේ ඡායාරූපයකට පෙනී සිටින්න බයක් තිබුණේ නැද්ද?
ඒ ෆොටෝවල වැරැද්දක් තියෙනවා කියලාවත් ඒකෙන් කාටවත් බලපෑමක් වෙයි කියලාවත් මම හිතන්නේ නෑ. අවුරුදු දහයක් තිස්සේම මම මේ වැඩේට සම්බන්ධ වෙන්න හිතාගෙන හිටියත් විවිධ හේතු නිසා මට සහභාගි වෙන්න නොහැකි වුණා. ඒ නිසා මේ වතාවේ උනන්දුවෙන් සහ කැමැත්තෙන් සම්බන්ධ වුණා.
මේ වගේ දේවල් නිසා අපේ සංස්කෘතියට බලපෑමක් වෙනවා කියලා කවුරුත් චෝදනා කළේ නැද්ද?
සංස්කෘතිය වගේ කාරණා අරගෙන කිහිප දෙනෙක් විතරක් මේ ෆොටෝ ටික ප්‍රශ්නයක් කර ගත්තා. නමුත් ඒ වගේ ෆොටෝ එකකින් සංස්කෘතියට හානියක් වෙනවා කියලා මම හිතන්නේ නෑ. පිටරටවල කරන වැඩවල මේ වගේ ප්‍රමිතියක් දකිනවා. නමුත් ලංකාවේ මේ වගේ දෙයක් කරන්නේ කලාතුරකින්. රංගන ශිල්පීන් ශිල්පිනියන් විදියට අපිට ඒ වගේ අවස්ථාවන් හිමි විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේක පින්තූර ගැනිල්ලක් විතරක්ම නෙවෙයි. පින්තූර ගන්න කලින් සූදානමේ ඉඳලා පින්තූරෙ ගත්තට පස්සේත් මේ යටතේ වැඩ කටයුතු රැසක් සිද්ධ වෙනවා. රැෆෙල්ලා කැපවීමෙන් උනන්දුවෙන් මේ වැඩේ ලස්සනට කළා.
දියණිය ඉන්න නිසා උපේක්ෂාට දැන් ඉස්සර වගේ රඟපෑම සඳහා ආරාධනා ලැබෙන්නේ නෑ කියලා කියන්නේ ඇත්තද?
මවක් වුණා කියලා රඟපෑම්වලට ලැබෙන ආරාධනා අඩුවෙන්නේ නෑ. නමුත් දරුවන් එක්ක කාර්යබහුල වෙද්දී රඟපෑම සඳහා සහභාගි වන එකට යම්කිසි සීමාවන් දාගන්න සිද්ධ වෙනවා. ලැබෙන චරිත තෝරා බේරාගෙන රංගනයේ නිරත වෙනවා. මේ දවස්වල උදයකාන්ත වර්ණසූරිය අයියගේ අලුත්ම ෆිල්ම් එකට සූදානම් වෙනවා. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.
‘පානාමංකඩ’ ටෙලි නාට්‍යයේ ලොක්කිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
වසුන්දරා (ලොක්කි) කියන්නේ මට ලැබුණ වෙනස්ම චරිතයක්. ගැමි පරිසරයක උඩරට නර්තන ගුරුවරියක් විදියට තමයි මම රඟපාන්නේ. මේ කතාවේදී මම කතා කරන විදිහ අඳින පළඳින විදිහ හැමදේම වෙනස්. වෙනත් චරිතවලට වඩා ටිකක් අමාරු චරිතයක් වුණත් මම බොහොම කැමැත්තෙන් ඒ චරිතය රඟපානවා.
මේ වෙද්දි ලංකාවේ ටෙලි නාට්‍ය සහ සිනමා කලාව ගැන උපේක්ෂාට මොනවාද හිතෙන්නේ?
අද සිනමාවට සහ ටෙලි නාට්‍ය ගැන කතා කළොත් මේ කර්මාන්තය ඛේදනීය තත්ත්වයකට වැටිලා තියෙනවා කියලා මට හිතෙනවා. අද කලාව කිසිම ප්‍රමිතියක් නැති පිළිවෙළක් නැති තැනක් බවට පත්වෙලා. යම් යම් පිරිස් තවමත් හොඳ නිර්මාණ කරන්න උත්සාහ කරනවා. අඩුම තරමින් ඔවුන්ට මූල්‍යමය වටිනාකමක් තියා අගය කිරීමක්වත් ලැබෙන්නේ නෑ. හොඳ උසස් නිර්මාණ කරලා පාඩු ලබන නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් ඉන්නවා. ලංකාව හැම දෙයක්ම කර්මාන්ත වශයෙන් යම්තාක් දුරට හරි පිළිඅරගෙන තියෙනවා. නමුත් කලාවට ඒ වගේ වටිනාකමක් තවමත් ලැබිලා නෑ.
වෘත්තීමය රඟපෑම අස්ථාවරයි කියලා දැනෙන්නේ නැද්ද?
එහෙම වුණා කියලා දැනට නම් ව්‍යාපාරයක් පිළිබඳව අවධානය යොමු කරලා නැහැ. තවමත් වෘත්තීමය වශයෙන් රංගනයේ නිරත වෙනවා. මොන දේ වුණත් නැවත දේශපාලනයට එන්නෙ නෑ කියලා තීරණයක් අරගෙන ඉවරයි. ඒ තීරණය වෙනස් වෙන්නෙ නෑ.
කොහොමද දියණියත් එක්ක ගෙවන ජීවිතය?
මම මගේ ස්වාමිපුරුෂයාගෙන් වෙන්වෙලා මේ දිනවල දියණියත් එක්ක නිදහසේ සතුටින් ජීවත් වෙනවා.
නිරෝෂා වාසල