ජ්‍යෙෂ්ඨයි නවකයි කියන බෙදීමට මම කැමති නැහැ - උමාරා සිංහවංශ



ජාත්‍යන්තර සංගීත කේෂේත්‍රයේ ශ්‍රී ලාංකික සංගීත සන්නාමයක් බවට පත්වෙමින් ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට නව මානයන් හඳුන්වා දුන් ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ සිය සංගීත ගුරු භුමිකාවේ නවමු පිටුවක් පෙරළමින් සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දස්කම් එළි දක්වා One Mic ප්‍රසංගයේ දෙවැනි අදියර මේ වසරේදී පැවැත්වෙනවා. ඒ නිසාම මේ ගැන  උමාරා සිංහවංශ පුවත්පතක් සමඟින් මෙලෙස පවසා තිබුනා.

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු


මේ දවස් ටිකේ ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. මොකද අපි දැන් කාලය යොදවලා තියෙන්නේ Umara Music Studio සංගීත පාසලේ One Mic ප්‍රසංගයට. මෙහි දෙවැනි අදියර තමා මේ වසරේ පැවැත්වෙන්නේ.


අපි Umara Music Studio හි ආරම්භය මතක් කරමු


2017 වසරේ පෙබරවාරි මාසයේදී, උමාරා සිංහවංශගේ මූලිකත්වයෙන් Umara Music Studio සංගීත පාසල ආරම්භ වන්නේම සංගීත ක්ෂේත්‍රයට දැඩි ඇල්මක් සහ සංගීතයට ආදරය කරන නව පරපුරට සංගීතය තුළින් ආනාගතය සාර්ථක කර ගෙන සංගීතයෙන් ඉදිරියට එන්න අත්වැලක් සැපයීමට. නිවැරදි තාක්ෂණික ක්‍රම උපයෝගි කරගනිමින් නිවැරදි ගායකයෙක් වෙන්නේ කොහොමද කියන දැනුම ඇකඩමිය යටතේ දරුවන්ට ලබාදෙනවා. මේ වෙද්දී සිසුන් තුන්දාහක් පමණ මේ සංගීත පාසල යටතේ සංගීතය හදාරනවා.


One Mic ප්‍රසංගයට සහභාගි වෙන්නේ සිසුන් විසි දෙනෙක්, කොහොමද මේ අය තෝරා ගත්තේ


මෙය පැවැත්වෙන්නේ මගේ කටහඬ පුහුණු කිරීමේ පාසලේ ඉන්න තුන්දාහක පමණ දරුවන්ගෙන් විභාගයක් තියලා හොඳින් කටහඬ පැත්තෙන් දියුණුවක් තියෙන දරුවන් විසිදෙනෙක් තෝරාගෙන. ඒ විසිදෙනා ගීතවත් වෙන්නේ මේ වෙද්දී සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ප්‍රවීණයන් සමග. මෙතැනදී අපි බලාපොරොත්තු වෙන්නේ නව පරම්පරාව සහ අපේ දැනට ක්ෂේත්‍රයේ ඉන්න ආටිස්ලා එකම වේදිකාවක ගීතවත් වීම. ඉන්ෆිනිටි බෑන්ඩ් එකත් සමග ආටිස්ලා 15ක් මෙවර One Mic ප්‍රසංගයට සහභාගි වෙනවා. ප්‍රේක්ෂකයන්ට හොඳ නැවුම් ප්‍රසංගයක අත්දැකීමක් ලබා දෙන්න තමා අපි සූදානම් වෙන්නේ.


උමාරා ඇකඩමි එකේ ඉන්න දක්ෂයන් අතර දකෂයන්ගේ එකතුවක් කිව්වොත්


ඔව්. දැනට ලංකාවේ තියෙන රියැලිටි ගායනා තරගවලට සහභාගි වන සියයට 80ක දරුවන් මගේ දරුවන් කියලා මට ආඩම්බරයෙන් කියන්න පුළුවන්. මෙවර වොයිස් කිරුළ දිනූ හරිත් විජේරත්න, ආදිත්‍යා වැලිවත්ත, පසිඳු ලක්ෂාන්, අමිලියා, දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් හෂේන් සිල්වා, තුෂාන් කාවින්ද්‍. කාවින්ද ගිම්හාන මම පුහුණු කරපු අය.


අලුත් පරම්පරාවට ජ්‍යෙෂ්ඨ පරම්පරාව එකතු කරන්න හිතුවේ ඇයි


මේක ඔලිම්පික් එකේදී බැට්න් එක පාස් කරනවා වගේ දෙයක්. අපේ ජ්‍යෙෂ්ඨ පරම්පරාව එක්ක එකමුතුවෙන් මේ ගමන යන්න පුළුවන් නම් අපේ අලුත් පරම්පරාවට ලොකු දුරක් යන්න පුළුවන්. ඒ නිසා ඒ සුහදත්වය හැම මොහොතකම ඉස්මතු කරන්න උත්සාහ කරනවා. ජ්‍යෙෂ්ඨයි නවකයි කියන බෙදීමට මම කැමති නැහැ. දක්ෂතාවට හැකියාවට ඉඩක් හදන එක තමා මගේ ඉලක්කය.


මෙවර ගීතවත් වන ප්‍රවීණ අය වෙන්නේ


භාතිය-සන්තුෂ්, ඉන්ෆිනිටි, චිත්‍රාල් සෝමපාල, රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේකා පෙරේරා, රයිනි ගුණතිලක, සනුක වික්‍රමසිංහ, වින්ඩි ගුණතිලක, ෆැලන් ඇන්ඩ්‍රියා, කාංචනා අනුරාධි, විරේෂ් කුරේ, රිද්ම වීරවර්ධන, ළහිරු පෙරේරා සහ රන්දීර් විතාන ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් එදිනට ගීතවත් වනවා.


මෙවර මොන වගේ වෙනස්කම්ද එකතු කරලා තියෙන්නේ


ප්‍රසංගය සංගීතයට හදවතින්ම ආදරය කරන සියලුම දෙනාට එකසේ රස විඳිය හැකි ප්‍රසංගයක්. ජ්‍යෙෂ්ඨයන් සමග අලුත් පරම්පරාව එකතුවෙලා අපිට සංගීත ක්ෂේත්‍රයට මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියන දේ පෙන්වන්න තමයි මම උත්සාහ කළේ. ඒ වගේම මගේ සහ මගේ පාසලේ වෙබ් සයිට් එක ලෝන්ච් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මගේ අලුත්ම ගීතය ‘රෑ තාරුකා’ ගීතය නිකුත් කරන්න සූදානමින් ඉන්නවා. තරීන් තමයි ගීතය හැදුවේ. ලංකාවේ කරලා තියෙන ඉතාම අභියෝගාත්මක වීඩියෝ එකක්. මුහුද යට රූපගත කිරීම් කළේ.



රසිකත්වයට මොන වගේ ආරාධනාවක්ද කරන්න තියෙන්නේ


ලංකාව වටේ ගෙනියන්න ලෑස්ති කරපු වෙනස්ම ප්‍රසංගයක්. එය අහන්න බලන්න රසවිඳින්න එන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා. වෙනස්ම නියම වැඩක්. ඒ නිසා එන්න 22 වැනිදාට. පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් සියලු සෞඛ්‍ය අංශයන්හි උපදෙස් පරිදි සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වෙන අතර මේ සම්බන්ධයෙන් වැඩි විස්තර Umara Music Studio Fb පිටුව හරහා ලබා ගන්න පුළුවන්.


අනුෂා රණසිංහ





Previous Post Next Post