මගේම නොසැලකිල්ල නිසා තමයි මට රිදී තිරය මඟහැරුණේ - විශ්ව කොඩිකාර



ඇසිපිය හෙළන ක්ෂණයෙන් වෙනස්වුන, අලුත්වන කලා ලොව තුළ කඩා නොවැටී බැබළීමේ ශාස්ත්‍රය ප්‍රගුණ කළ වූවන් ඇත්තේ අතළොස්සකි. එකී කිහිපදෙනා අතරට විශ්ව කොඩිකාර යන නමද එක්වන්නේ කුමන කාල වකවානුවකදී වුවත් යම් කලා නිර්මාණයකින් ඔහු අපගේ සිතට සමීප වන නිසාය. අද 'හදගැස්ම’ වෙන්වන්නේ ඔහුටයි.


කොහොමද මේ දවස්වල ජීවිතේ?


මේ දිනවල තරමක් කාර්යබහුලයි. පසුගිය දිනවල වර්ණ කියලා චිත්‍රපටයක වැඩකටයුතු නිම කළා. ඊට අමතරව තලවකැලේ ප්‍රදේශයේ කළ ටෙලි නාට්‍යයක රූගත කිරීම් අවසන් කළා. ඒ වගේම කියා දෙන්න ආදරේ තරම් හි රූගත කිරීම් සිදු කරනවා.


අලුත් අවුරුද්දේ අලුත් සැලසුම් මොනවාද?


හොඳ නිර්මාණවලට දායක වීමයි ලොකුම බලාපොරොත්තුව. ඊට අමතරව දරුවන්ගේ වැඩකටයුතු, පවුලේ වැඩකටයුතු බොහොමයක් සැලසුම් කර තිබෙනවා. ඉදිරි සැලසුම් ඉදිරියේදී කියන්නම්.


බිරියත් මෑතකදී අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළා නේද?


ඔව්. ඒ ව්‍යාපාරය ආරම්භ කළේ මගේ යෝජනාවකට. ඇය දුවගෙයි, පුතාගෙයි දෙවැනි උපන් දිනය හරි අපූරු විධියට සැලසුම් කළා. ඒ අනුව මම  යෝජනා කළා ඇයට ඇයගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා. ඒ අනුවයි ඇය Creative Touch කියන Event Planning ආයතනය ආරම්භ කළේ. ඇයගේ ගමන් මඟ ගැන මට ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි.


පියාගේ අඩිපාරේ ගමන් කරමින් චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට, නිෂ්පාදනයට යොමුවීමට බලාපොරොත්තුවක් තිබෙනවාද? .


අධ්‍යක්ෂණ කාර්යය කිරීමට ලොකු කැමැත්තක් තිබුණත් මනා නිපුණත්වයක් නොමැතිව ඒ කාර්යයට අත ගසන්න අපහසුයි. ආවාට ගියාට අධ්‍යක්ෂණය කරන්න අමාරුයි. නමුත් නිෂ්පාදකවරයෙක් වෙන්න ලොකු කැමැත්තක් තිබෙනවා. එය 2022 වසරේදිවත් ඉෂ්ට සිද්ධ වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා.


පුංචි තිරයට සාපේක්ෂව රිදී තිරයේ ඔබට අවස්ථාව ලැබුණේ සීමිතව නේද?


මම ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ රිදී තිරය හරහායි. නමුත් පුංචි තිරයට සාපේක්ෂව රිදී තිරයේ මට ලැබුණු අවස්ථා සීමිතයි. එයට මගේ  නොසැලකිලිමත්කමත් යම් තරමකින් බලපෑවා. යම් ටෙලි නිර්මාණයකට දායක වන අතරතුර චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත් මම එය ප්‍රතික්ෂේප  කරනවා. ඒ නිසාම මට චිත්‍රපට තුනක් පමණ මහහැරුණා. නමුත් වර්තමානයේ එසේ ලැබෙන අවස්ථා මගහැර නොගෙන සමබරව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.



එසේ රිදී තිරය අත්හරින විට ඔබව පුංචි තිරයට පමණක් කොටු වෙනවා නේද?


කිසිම රංගන ශිල්පියෙක්ව එක් ක්ෂේත්‍රයකට හෝ එක් චරිතයකට කොටු කරන්න එපා කියන අහිංසක ඉල්ලීම මම ඉල්ලනවා. ඇතැම් රංගන ශිල්පීන්ට දුෂ්ට චරිත, ප්‍රහසන චරිත, වීරයාගේ චරිත ආදී බොහෝමයක් චරිත සාර්ථකව කළ හැකියි. ඔවුන්ව එක් චරිතයකට කොටු කිරීම සැබැවින්ම සුවිශාල අපරාධයක්.


ඔබ ව්‍යංගයෙන් පවසන්නේ විශ්ව කොඩිකාරත් ඇතැම් චරිත අතරේ කොටු වෙලා කියලාද?


බොහෝ විට ඔව්. මේ ළඟකදී මම කිසිම දිනෙක රංගනයෙන් දායක නොවූ චරිතයකට මට එක් අධ්‍යක්ෂවරයෙක් ආරාධනා කළා. මම එය ගොඩක් සතුටින් භාර ගත්තා. ඉදිරියේදී ඒ ගැන මම කියන්නම්.


නෑ හිතවත්කම් මත රංගන ක්ෂේත්‍රයට පිවිසීම තුළ එහි පැවැත්ම ගොඩනගා ගන්න පහසු වුණාද?


මව, පියා හෝ හිතවත් කෙනකු ක්‍ෂේත්‍ර යේ සිටින විට ගේමක් නැහැ කියා  බොහෝ දෙනා සිතුවත් ඔවුන් නොමැති දිනක වගේම ගම්වල සිටින දක්ෂ තරුණ තරුණියන් ක්‍ෂේත්‍රයට පැමිණි විටක ඔවුන් කලා ක්‍ෂේත්‍රය තුළ අතරමං වෙනවා වගේත්ම කඩා වැටෙනවා. මගේ පියා නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් වුණත් මම ක්‍ෂේත්‍රයට එක සැණින් පිවිසුණේ නැහැ. අවුරුදු 3ක් මහේන්ද්‍ර පෙරේරා අයියාගේ රංගන පාසලේ පුහුණුවීම් කිරීම තුළයි මම රංගනය ඉගෙන ගත්තේ. මගේ දක්ෂතාවයෙන් ක්‍ෂේත්‍රය තුළ ගමන් කළ හැකි දුරක් පවතිනවා. එහෙයින් එතැනට අධ්‍යාපනයක් නොමැතිව ගමන් කළ නොහැකියි. ඒ නිසා ක්‍ෂේත්‍රය පිළිබඳ හැදෑරීමකින් තොරව එයට පිවිසීම අපහසුයි.


කුඩා කල පටන්ම ප්‍රවීණයන්ගේ ඇසුරේ හැදී වැඩීම තුළ ඔබගේ රංගන දිවියට ඇති වූ බලපෑම කෙබදුද?


කුඩා කල පටන්ම මට ගොඩක් රංගන ශිල්පීන්ව දැකගන්නට ලැබුණා. එසේම සමීපව ඇසුරු කරන්නත් අවස්ථාව ලැබුණා. එකී අත්දැකීම රංගන කාර්යය තුළ ඉදිරියට යෑමට මට ලොකු උත්තේජනයක් වුණා. ඒ වගේම කුඩා කල පටන්ම කැමැත්තක් තිබුණා. නමුත් ඒකට කාලය සහ වේලාව එනකම් ඉන්න සිද්ධ වුණා. 


දේශපාලන පක්ෂවලට සහයෝගය ලබාදීම තුළ කලාව ගොඩනඟන්න කලාකරුවන්ට හැකි වුණා?


මමත් දේශපාලන පක්ෂවලට සහයෝගය ලබාදීලා තිබෙනවා. ඒ වගේම වැඩකටයුතු කර තිබෙනවා. එය මගේ රුචිකත්වය. දේශපාලනය තුළින් කලාවට කළ හැකි මෙහෙය අපමණයි. කලාකරුවන් ලෙස එසේ  දේශපාලනයට සම්බන්ධ වීම තුළ ඉල්ලීම් දිනාගෙන තිබෙනවා. ඇතැම් කලාකරුවන්ගේ ඉල්ලීම් අසාධාරණ වුවත්, ඇතැම් ඉල්ලීම් සියයට සියයක් සාධාරණයි. රාජ්‍ය අනුග්‍රහය යටතේ රංගන පාසලක් වගේම එය උගන්වන ගුරුවරුන්ට පහසුකම් ලබා දෙනවා නම් මට ගොඩක් සතුටුයි.


බොහෝමයක් කලාකරුවන් දේශපාලනය තුළින් බඩවියත රැක ගත්තා පමණයි නේද?


ඒ පිළිබඳව මගේ සිතේ තිබෙන්නේ ලොකු කලකිරීමක් වත්ම කනගාටුවක්. අපි අපේ බඩ ගැන සිතන තාක්කල් අපට ගොඩ ඒමක් නැහැ කියලයි මම නම් සිතන්නේ .


රංගන ශිල්පීන්ගේ කල්ලි ගැසීමේ ප්‍රවණතාව ඔබ දකින්නේ කොහොමද? ඔබත් ගැන්සියක සාමාජිකයෙක්ද?


මම කිසිම කල්ලියකට අයිතිත් නැහැ. මාව කල්ලිවලට එක්කර ගන්න මම ඉඩ තියන්නෙත් නැහැ. එවැනි විටකදී මම හෙමින් සීරුවේ එකී අවස්ථා මගහරිනවා. කලාවේ දියුණුව වෙනුවෙන්, කෙනකුගේ අභිවෘද්ධිය වෙනුවෙන් කල්ලියක් හැදෙනවා නම් ඊට මම එකඟයි. නමුත් තනි ගමනක් යන්න කල්ලි ගැහෙන්නට නම් කැමැති නැහැ.






Previous Post Next Post