මම පාර්ලිමේන්තුවේ හිටියා නම් මම ඕක කරලා ඉවරයි - දුලීකා මාරපන

Monday, September 13, 2021 , 0 Comments




දුලීකා මාරපන චරිතාංග රංගනයෙන් ප්‍රේක්ෂක හදවතෙහි ලැගුම්ගත් රංගන ශිල්පිනියක්. ලැබෙන චරිතය තුළ දැනෙන වෙනසක් කිරීමට ඇය සැමවිටම උත්සාහ දරන්නියක්. වසර ගණනක් පුරා විදහා පෑ රංගන ප්‍රතිභාවේ විශිෂ්ටත්වයට ඇය රංගනයෙන් දායක වූ සියලු චරිත හැඩතලයන් සාක්ෂි සපයා අවසන්. මෑත කාලයේ විකාශය වන චරිත ත්‍රිත්වය තුළද ඇය සිය චරිතාංග රංගනයට උපරිම සාධාරණය කර තිබෙන බව සැබැවි.


 


‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ අයිරාංගනීගේ චරිතයට ධනුෂ්ක මට කතා කළෙත් මේක තවත් වත්තක කතාවක් කියලා දැනුවත් කරලා. මේ වත්තේ කතාව තුළ වුණත් වෙනසක් කරමු කියන දේ අපි කතා කරගත්තා. අයිරාංගනී කියන්නේ දමිළ සම්භවයක් තුළ ජීවත් වෙන කෙනෙක්. ඇය දැඩි ගතිගුණ තියෙන හොඳ පෞරුෂයක් තියෙන කාන්තාවක්. ඒ වගේම නම්බුකාර විදිහට දරුවන් උස් මහත් කරගෙන මේ සමාජයේ ජීවත් වෙන තවත් අම්මා කෙනෙක් ඇය. වෙනසක් එක්ක කරපු අයිරාංගනීගේ චරිතයට ගොඩක් අය ආදරේ කළා. ‘දිවිතුරා’ නාට්‍යයේ දීපිකා විදිහටත් ප්‍රේක්ෂකයන්ට මාව මේ දවස්වල මුණගැහෙනවා. සුජීවගේ බිරිය ලෙස මම රඟපාන්නේ පළමු වතාවට. ඒ චරිතයටත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.


‘පෝක් වීදියේ’ මාධනී, දුලීකාගේ චරිතාංග රංගනය මනාව ඔප්පු කරන තවත් එක් චරිතයක් කිව්වොත් නිවැරදියි. මාධනීගේ චරිතය සාර්ථක කරන්න දුලිකාගේ කැපවීමත් සුළුපටු නැහැ.  පෝක් වීදියේ මාධනී කියන්නේ ඇස් අන්ධ කාන්තාවක්. මට මුලින්ම මේ නාට්‍යයේ ආරාධනා ලැබුණේ ත්‍රීවිල් පදවන කාන්තාවකගේ චරිතයක් කරන්න. මම සායක්කාරට යෝජනා කළා මම කැමතියි පිටපතේ තිබුණ ආබාධිත දරුවගේ අම්මගේ චරිතය කරන්න කියලා. උපතින්ම ඇස් අන්ධ අම්මා කෙනෙක්ගේ චරිතයක් පිටපතට ගේමු කියන යෝජනාව මම කළා. මුලින් සායක්කාර ඒකට කැමති වුණේ නෑ. නමුත් මේ චරිතය ෆේල් නොවී ප්‍රේක්ෂකයන් අතරට යන චරිතයක් බවට පත් කරනවා කිව්වම සායක්කාර ඒ චරිතය ලියන්න පටන් ගත්තා.


උපතින්ම අන්ධ යාළුවෝ කිහිප දෙනෙක් විශ්වවිද්‍යාල කාලේ මට හිටියා. දැන් කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන පුෂ්ප බණ්ඩාර ඒ අතර හිටපු මගේ හොඳ මිතුරෙක්.


මම ඔහු ළඟට එද්දි ඔහුට ඒ මම කියලා හඳුනගන්න පුළුවන් හොඳ දැනීමක් තිබ්බා. මම පුෂ්ප බණ්ඩාරව හොඳින් අධ්‍යයනය කළා ඒ කාලේ ඉඳන්ම. ඔහුගේ චරිතය කවදාහරි චිත්‍රපටයකට ගේන්න මට අවශ්‍යතාව තිබ්බා. නමුත් බලාගෙන ඉන්න බෑ. මේ ලැබුණ අවස්ථාවෙදි මම මගේ කාඩ් කුට්ටමෙන් එක කොළයක් පාවිච්චි කරලා රංගනයට අවතීර්ණ වුණා. මොකද අපිට රඟපාන්න පුළුවන් විදිහේ චරිතයක් එනකල් බලාගෙන හිටියොත් අපේ හැකියාව එළියට ගන්න වෙන්නේ නෑ. මේ චරිතය කළාට පස්සේ අන්ධ විද්‍යාලයෙන් පවා මට කතා කළා. ඇස් අන්ධ ළමයි මට කතා කරලා එයාලට අහන්න ලැබෙන දෙයින් මම එයාලව කොච්චර අධ්‍යයනය කරලා රඟපානවද කියලා දැනෙනවා කියලා මට කිව්වා. එයාලව මම නියෝජනය කිරීම ගැන සතුටත් ප්‍රකාශ කළා. ඒ ඉදිරිපත් කිරීම අතිශයින්ම සාර්ථක වුණා. ඉතා සතුටට පත්විය හැකි ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා.


කලාකරුවන්ට වෘත්තීමය තත්ත්වයන් ගොඩ නැගිය යුත්තේ මෙවැනි තත්ත්වයන් වෙනුවෙනුයි. කලාකරුවාට වෘත්තීමය තත්ත්වයක් නිර්මාණය විය යුතුය යන්නට පෙරමුණේ සිටගන්න කෙලින් කතා කරන කෙනෙක් ලෙස දුලීකා ප්‍රසිද්ධයි. කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඇය අද හඬ අවදි කරන්නියක්.


කලාකරුවන්ට වෘත්තීමය භාවයක් හදන්න කියලා අපි කට කැඩෙනකල් කිව්වා. එක ආණ්ඩුවක්වත් ඒක කරලා දෙන්නේ නෑ. මොකද කලාකරුවන්ට වෘත්තීමය භාවයක් හදලා දුන්නට ඒ අයට කොමිස් ලැබෙන්නේ නෑනේ. මම පාර්ලිමේන්තුවේ හිටියා නම් මම ඕක කරලා ඉවරයි. අපේ රටේ කලාකරුවෝ කී දෙනෙක් එතෙක් මෙතෙක් පාර්ලිමේන්තුවේ හිටියද? තාමත් ඉන්නවා. ඒ කවුරුවත් පුටු රත්කර කර ඉඳලා වරප්‍රසාද ගන්නවා මිසක් කලාකරුවෝ වෙනුවෙන් කතා කළේ නෑ. කලාකරුවන්ට වෘත්තීමය භාවයක් හැදුවා නම් ඔවුන්ව තුට්ටු දෙකක් දීලා වේදිකාවලට නග්ගන්න දේශපාලකයන්ට අවස්ථාව ලැබෙන්නේ නෑ. මම මේ කතා කරන්නේ මං වෙනුවෙන් නෙවෙයි, පරම්පරා ගාණක් වෙනුවෙන් මේ කතා කරන්නේ.


කෙලින් කතා කරන හැම තැනකදිම දුලීකා දේශාපාලනයට එන්න අර අදිනවද කියලා බොහෝ දෙනා දුලීකාගෙන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නයට ඇයට කෙලින් උත්තරයක් දෙන්න පුළුවන්ද කියලත් අපි අහලා බැලුවා.



මම මේ කතා කරන දෙයින් එක පුද්ගලයෙක් හරි අවදි වුණොත් ඇති. එක්තරා අවස්ථාවක අපේ රටේ ඉහළ පුටුවක ඉන්න කෙනෙක් මගෙන් ඇහුවා මට මොනවද ඕනේ කියලා. කලාකරුවන්ට වෘත්තීමය මට්ටමක් ඇති කරන්න ඕනේ කිව්වම ඔහු හිනාවුණා. මම මහන්සියෙන් හම්බ කරන කෙනෙක්. මගේ මව්පියෝ මට ඉතුරු කරපු දෙයක් තියෙනවා. මට කට පියාගෙන සැපට ජීවත් වෙන්න පුළුවන්. නමුත් මම නිකන් බලාගෙන ඉඳලා මැරිලා යන්න සූදානම් නෑ. අද දවසේ සටන් කරලා දෙයක් ලබා නොගත්තොත් අපි කට පියන් හිටියොත් ක්ෂේත්‍රයට අලුතින් එන කෙල්ලෝ කොල්ලෝ ටික අපිට කවදා හරි සාප කරයි. මම කතා කරද්දි සමහරු හිතන්නේ දේශපාලන වාසි ගන්න දේශපාලනයට එන්න කතා කරනවා කියලා. මෙහෙම ගිහින් එක තැනකදී හැරවුමක් වෙයිද දන්නේ නෑ. අනෙක් අය ක්ෂේත්‍රය වෙනුවෙන් යමක් නොකරද්දී අපිම සටන් කරලා හරි මේ දේ හදාගන්න ඕනේ කියන තැනට එයිද දන්නේ නෑ. කොහොම වුණත් කරන්න පුළුවන්කම තියෙන පිරිස කලාකරුවන්ට වෘත්තීමය තත්ත්වයක් ගොඩනගන්න උත්සාහ නොකරන එකයි දුක.


තිළිණි කෞශල්‍යා විජේසිංහ