ඔන්ලයින් නැතිවුණත් අපේ ලයින් වේදිකාවේ - ශ්‍රියන්ත මෙන්ඩිස්

Friday, August 27, 2021 , 0 Comments


වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය යන මාධ්‍යත්‍රයෙහිම සිය සන්නාමය තහවුරු කළ රංගවේදියකු ලෙස ශ්‍රියන්ත මෙන්ඩිස් දශක හතරකට අධික කාලයක් රසික පරම්පරා අතර යාවත්කාලීන වූවා යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. අනේ අබ්ලික් වේදිකා නාට්‍යයෙන් හැත්තෑව දශකයේ අගිස්සේදී වේදිකාවට පිවිසි ඔහු, කරළියේ කිරුළු පැලැන්දේ මෝරා නාට්‍යයේ හොඳම නළුවා වෙමිනි. මංගල තෑග්ග සමඟ රිදී තිරයට පිළිපන් ඔහු සිනමාව ජය ගත්තේ හොඳම සහාය නළුවා මෙන්ම හොඳම නළුවා ලෙසින් ද සම්මානයට පාත්‍ර වෙමිනි. මෙරට තෙවැනි ටෙලි නිර්මාණය වූ පළිඟු මැණිකේ හි සූරසේන ලෙස 'පට් පට් ගාලා සම්තිං එකක් හොයාගන්නා' සමාජ ක්‍රමයක බිහිවීම පිළිබඳ සංඥා කරමින් ටෙලි නාට්‍ය කලාවට පිය නැඟූ ඔහු මේ මොහොත දක්වා විවිධ ටෙලි නාට්‍ය නිර්මාණ ඔස්සේ දැක්වූ ප්‍රතිභාව වෙනුවෙන් විසිඑක් වරක් සම්මානයට පාත්‍ර වී ඇත. මේ වන විට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සභාපතිධුරය හොබවන ශ්‍රියන්ත මෙන්ඩිස් රංගවේදියා සමඟ කතා කළ යුතු දෑ බොහෝය. ඉන් හැකි පමණ කරුණු ගොනු කරගැනීමට දැරූ උත්සාහයකි මේ...

අපි යුග යුග අභියෝග ජයගෙන ඒවා සමඟ ගනුදෙනු කළ ජනතාවක්. එයම අපේ ජීවිතය ඉදිරියට ගෙන යන්න හයියක් වෙලා තිබෙනවා. ලෝක ඉතිහාසයේත් මිනිසුන් විවිධ අභියෝගවලට මුහුණ දී තිබෙනවා. මගේ යුගය ගත්තොත් 1971 කැරැල්ල දැවැන්ත අභියෝගයක් වුණා, සියල්ල නැතිවෙලා අපි නැවත නැඟිට්ටා. '77 ආර්ථික වෙනස්කම් අපි දැක්කා. '83 ජූලි කලබලය, '88-'89 භීෂණය, 2004 සුනාමි ව්‍යසනය, 2019 පාස්කු ප්‍රහාරය, ඊට පසු මේ ඛේදජනක අත්දැකීම සමඟ කොරෝනා ව්‍යසනය. ස්වභාව ධර්මයත් සමඟ අපි හරියට ගනුදෙනු කළාද නැද්ද? යන්න මෙහි තිබෙනවා. අපි හරියට ගනුදෙනු කළා නම් මේ තරම් භයානක විදිහට මේ ඛේදවාචකයට මුහුණ දෙන්න වන එකක් නැහැ කියන එකයි මගේ පෞද්ගලික විශ්වාසය. එත් මම ධනාත්මකව කල්පනා කරන කෙනෙකු ලෙස, මේ අභියෝගය ජයගන්න පුළුවන් වන්නේත් අපටම තමයි. පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ වගකීම අපි දරන්නම වෙනවා. නැත්නම් අපි අනෙක් අයවත් අරගෙන වතුර යටට යනවා.

මම නළුවෙක් කලාකරුවෙක් තමයි, ඒත් ඒ හා බැඳුණු මානවීය ගුණයකුත් මට තිබෙනවා, මොකද මම මානව හිතවාදියෙක්, පරිසරවේදියෙක්, පරිසරලෝලියෙකුත් වන නිසා. ප්‍රවෘත්ති බලලා අපි නැඟිටින්නේ කඳුළු පිරි දෙනෙතින් ඇයි අපට මෙහෙම වුණේ කියලා. දැන් බලද්දි පැයට මරණ හතක් අටක් පමණ සිදු වෙනවා. සෑම විනාඩි අටකටම කෙනෙක් මැරෙනවා. මේ මැරෙන්නේ අපේ මිනිස්සු. ඒ නිසා අපි අපේ හදවතත් සමඟ ස්වයංව තීන්දුවක් ගන්න ඕනෙ මම මේ කරන දේ හරිද වැරැදිද, මගේ අම්මා, තාත්තා, සැමියා, බිරිඳ, දරුවා, සොහොයුරා, සොහොයුරිය ආරක්ෂා කරවන්න ඕනැද කියන එක ගැන.

එසේ කියද්දි ඉදිරියට එන්නේ ඔබේ ගුරු භූමිකාව?

 "නිරුක්ති විද්‍යාව අනුව ගුරුවරයා කියන්නේ අන්ධකාරය දුරු කරන්නා. 'ගු'යන්නෙන් අර්ථවත් කරන්නේ නොදැනීම නැමැති අන්ධකාරය. 'රු' යන්නෙන් අර්ථවත් වන්නේ දුරු කරන්නා යන්න. ගුරු ජීවිතය උත්තරීතරයි. එය ශිෂ්ටාචාරයක ආලෝකයයි. බෞද්ධ දර්ශනය අනුව යමෙකු උගත්කම, දැනුම ලබා ගැනීම පමණක් අධ්‍යාපනය නොවෙයි. කුසලතාව සහ විනයත් ඊට අයත්. දැන උගත්කම ශිල්ප සතරින් නිපුණ බව සහ විනයෙහි මැනවින් හික්මවීම උතුම් බව මහා මංගල සූත්‍රයේ තිබෙනවා. විනය බෞද්ධ අධ්‍යාපනයේ පදනමයි. එය නීතියක් නෙවෙයි ස්වයං අවබෝධය තුළ ඇතිවිය යුත්තක්. ඒ වගේම ශුද්ධ වූ බයිබලයේ 722, 726 පිටුවල තිබෙනවා 'ප්‍රඥාව ඔබේ මනසට පිවිසෙයි. දැනුම ඔබේ සිතට ප්‍රීතිය ගෙන දෙයි. සිහිනුවණ ඔබ රැකවල් කරයි. තියුණු නැණ ඔබ රැක ගනී. එය දුදනන්ගේ මාර්ගවලින් ද විප්ලවකාරී මිනිසුන්ගෙන් ද ඔබ මුදා ගනී. අන්ධකාර මාර්ගවල යනු පිණිස, අවංක මාවත් හැර දමන්නන්ගෙන් ඔබ මුදා ගනී.'යනුවෙන්. ශුද්ධ වූ කූරාණයේ, වේද ග්‍රන්ථවල වැනි මේ පෙර අපර දෙදිග ආගම්වල මෙය ගැඹුරු ප්‍රඥාසම්පන්නභාවයෙන් ශික්ෂණයක් සහිත මනුෂ්‍යාත්මභාවයකට පෙලඹවීමක් ලෙස හඳුන්වන්නේ. දැන් එය සිදු වෙනවාද කියන එක ගැන ප්‍රශ්නාර්ථය තුන්වරක් අපේ හිතට තට්ටු කරනවා. අනේ දෙවියනේ අපේ දරුවන්ව බේරා දෙන්න. කියලා දෑත් ඉහළට ඔසවලා අපි ඉල්ලා සිටිනවා. මෙය කඳුළු වැටෙන කරුණක්. අපි කාටවත් දොස් කියන්නේ නෑ. මෙය එක කරුණකට විතරක් නෙවෙයි. හැමදේටම බලපානවා. ඒ නිසා යුග යුග ගණන්වල සිටි ශ්‍රේෂ්ඨයන් කියූ මේ එක වචනයක් ගැන හෝ අපි තේරුම් ගමු."

පසුගිය සමයේ ඔබ සමාජ සේවා කටයුතුවලට යොමුව සිටියා?


 මම බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සභාපතිවරයා ලෙස මෙතැන ඉඳගෙන ඉද්දි කල්පනා වුණා ඇයි අපි අපේ කලාකරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුකුත් නොකරන්නේ කියලා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උදවුවෙන් කොළඹ නගර සභාවේ වෛද්‍ය ඒකකයත් සමඟ කතාකරගෙන කලාකරුවන් සහ කාර්මික ශිල්පීන් 200ට එන්නත ලබා දුන්නා. එය මට අප්‍රමාණ සතුටක්. මොකද සමහරුන්ට එය ලබා ගන්න බැරුව හිටියේ. දේශීය වෛද්‍යවරුන් සමඟ කතාබහ කරගෙන මම වැඩ කළ සෑම දර්ශනතලයකම සියලුම දෙනාට සුවධරණී බොන්න සැලැස්වුවා. (සිනාසී) ඒ අය දන්නවා මම එතැනට එද්දි ඒ බෙහෙත බොන්න වෙනවා කියලා. ඒක මගේ හිතට සතුටක්, හරිම සැනසීමක්.


මෙය ලෝකයටම මූණ පාන්න වූ දෙයක්. ඒත් කලාකරුවන් පිළිබඳ මට දැනුණු අනුකම්පාව නිසාම ඔවුන් අතරින් විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන විසිදෙනකුට මම පෞද්ගලිකව ව්‍යාපාරික ප්‍රජාව සමඟ කතාබහ කරලා ත්‍යාග පාර්සල් ලබා දෙන්න කටයුතු කළා. ඒ සමඟම ශ්‍රී ලංකා කලාමණ්ඩලයෙන් මම ඉල්ලීමක් කළා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රාදේශීය වශයෙන් තෝරාගත් කලාකරුවන්ට යම් මූල්‍යමය ආධාරයක් කරන්න කියලා. එයත් සාකච්ඡා මට්ටමේ සිට මල්ඵල ගැන්වෙන තැනට එයි කියන බලාපොරොත්තුව තිබෙනවා. ඒ වගේම වේදිකා නාට්‍යකරුවන්ටත් නාට්‍යයක් සඳහා යම් අරමුදලක් දෙන්නත් යෝජනා කර තිබෙනවා. එයත් ඉ‌ටු වෙයි කියා සිතනවා. මේවා මේ වෙලාවේ තරමක් අසීරු දේවල් වුණත් අපි ඉල්ලීමක් කර තිබෙනවා.


ඒ වගේ තව මොනවා හරි දේවල් ටිකක් කරන්න ඕනේ අපට පුළුවන් හැටියට, මේ සංචරණ සීමා ඉවත් වූ පසුව.

සංචරණ සීමා නොතිබුණා නම් 29දාට තිබුණේ ඔබේ 'රාස්ස පරාස්ස'?


රාස්ස පරාස්ස 8 වසර සිංහල නිර්දේශයේ ඇති නාට්‍යයක්. එහි අධ්‍යක්ෂණය සහ පිටපත රෝහණ දන්දෙණියගේ, මම නව අධ්‍යක්ෂ සහ නිෂ්පාදක ලෙසයි කටයුතු කළේ. මම, කුසුම් රේණු, ජයනාත් බණ්ඩාර, ප්‍රදීප් බැරෑගම, තාරක උපේන්ද්‍ර, මහේන්ද්‍ර වීරරත්න, ගාමිණී ජයලත්, තාරුකී අමායා රංගනයෙන් දායක වන්න හිටියේ. එහෙත් ඊට වඩා අපට මේ මොහොතේ රටේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීම වැදගත්. මේ සීමා ඉවත් වූ වහාම අපට ආපසු නාට්‍යය ප්‍රදර්ශනය කරන්න පුළුවන්නේ. ඔන්ලයින් පාඩම් නැති වුණාට අපේ ලයින් එකේ අපි හිටියා වේදිකාව ඔස්සේ. ඉතින් මේ තත්ත්වය පහව ගිය ගමන් ඒ පාඩම ඉගෙන ගන්න එන්න කියලා අපි ආරාධනා කරනවා සියලු දරුවන්ට වගේම වැඩිහිටියන්ටත්.


කොරෝනාවෙන් වැසුණු වේදිකාව යළි ඇරඹුවේ මනමේ පෙන්වමින්?

ඒ ප්‍රශ්නය තුළම තිබෙනවා අපේ ප්‍රේක්ෂාගාරය කොයි තරම් හොඳද? කොතරම් වටිනවාද? වේදිකාවත් සමඟ කෙතරම් බැඳීලාද? කියන දෙය. 1956 නොවැම්බර් මාසේ 4 වැනිදා සවස 6.30 ලයනල් වෙන්ඩ්ට් රඟහලේදි ඇරඹූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යය 2021 අගෝස්තු මාසෙ 7 වැනිදාත් පෙන්වනවා. මේ සඳහා පරපුරෙන් පරපුරට සෙනඟ පෙළ ගැසෙනවා. ඔවුන් තම දරුවන්ට මුණුපුරන්ට මේ නිර්මාණ පෙන්වනවා. සරච්චන්ද්‍රයන් නේද මේ වේදිකාවේ දොරටු විවර කර දෙන්නේ අපට. එයට පාදක වූ නාට්‍යය නැවත නැවත පෙන්වීමේදී ලෝකේ බොහෝ රටවල්වලින් ඉදිරියෙන්ම ඉන්නේ අපි කියලයි මම හිතන්නේ. මොකද එවැනි ගරු කිරීමක් ප්‍රේක්ෂාගාරයේ තවම තිබෙනවා. ලලිතා සරච්චන්ද්‍ර මහත්මියටත් අප ස්තූතිවන්ත විය යුතුයි සියලු දුක් කරදර විඳ දරාගෙන මෙය ඉදිරියට ගෙනයනවාට. ඒ වගේම නාට්‍ය සංවිධානය කරන ජූඩ් ශ්‍රීමාල් මොන ප්‍රශ්නය තිබුණත් වේදිකාව අත් නොහැර යන ප්‍රේමණීය මිනිසා නිසයි අපට ඒ අවස්ථාව ලැබුණේ.


වේදිකාව යළි ගොඩගන්න නම් සෑහෙන වෙහෙසක් දරන්න වෙයි?


වේදිකාව නැවත ගොඩ ගන්න අපිම තමයි මහන්සි වෙන්න ඕනෙ. මම කියූ අර මගේ ධනාත්මක සිතිවිල්ල මෙයටත් තිබෙනවා. කොවිඩ් නිසාම නොවේ, යම් යම් ආර්ථික ප්‍රශ්න නිසාත් සමහර දේ ඈත් මෑත් වෙලා ගියා. වේදිකාවත් මම කලින් කියූ දශකයෙන් දශකයට පැමිණි අභියෝගවලට දරුණු ලෙස ගොදුරු වුණා. නැවක් ගිලෙන්න යද්දි මුලින්ම විසිකරන්නේ සංගීත භාණ්ඩ කියනවනේ. ඒ වගේ අර අවස්ථාවලදීත් මුලින්ම පරිහානියට පත් වන්නේ කලාව. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සංගණනයක් කරනවා ආදායම් අහිමි වීම කියන මාතෘකාව යටතේ. එහිදී ආදායම් අහිමි වීමේ ඛේදවාචකයේ මුලටම එන්නේ කලාව. 2019 අප්‍රේල් මාසයේ කලා ක්ෂේත්‍රයේ ආදායම මිලියන 1272ක් පමණ වනවා. 2020 අප්‍රේල් මාසේ ආදායම මිලියන 4යි. පසුබෑම සියයට 99.7ක්. මේ බිඳවැටීමත් සමඟ ඒ අත්දැකීමට මුහුණ දෙන්නේ කලාකරුවන්. විශේෂයෙන්ම වේදිකා නාට්‍යකරුවන්ට සහ සෑහෙන පමණකට චිත්‍රපටකරුවන්ටයි මෙය බලපෑවේ. ඒ නිසා නැවත වේදිකාව ගොඩ ගන්නට සියලු දෙනා දරන උත්සාහය ප්‍රශංසනීයයි. එයට උර දීමක් ලෙස ටවර් සහ එල්ෆින්ස්ටන් රඟහල අඩු මුදලට ලබා දුන්නා. ඒ සඳහා යෝජනාව කළේ මම. එයට අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රියාකාරී සාමාජිකාවක් වන චරිතා ප්‍රියදර්ශනීගේ උදවුව ලැබුණා. පාලක මණ්ඩලයේ කලාකරුවන්ගෙන් ඒ ඉල්ලීම කළාම අගමැතිතුමා මූලික වෙලා සියයට 90ක් අඩුකළ මුදලකට වේදිකා ලබා දුන්නා.

කලාකරුවකු වීම පිළිබඳ මේ වකවානුවේ ඔබ සිතන්නේ?


මම බොහොම සතුටින් ඉන්නේ කලාකරුවකු වීම පිළිබඳව. මොකද කලාකරුවා කියන්නේ ලෝකය දිහා වෙනම ඇහැකින් බලන්න පුළුවන් කෙනෙක්නේ. කලාකරුවාට කළ හැකි දේ විශිෂ්ටයි. ඔහු සුවිශේෂ චරිතයක්, කප්රුකක් බඳුයි. කලාව කුමටද කියා කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒත් කලාවෙන් කළ හැකි සේවය මහා දැවැන්තයි කියා අපි විශ්වාස කරන්නෙ. කලාකරුවා මනුෂ්‍යයෙක්. ලෝකයේ මනුෂ්‍යත්වය ලැබීම දුර්ලභ කරුණක්. ඒ මිනිසා කලාකරුවකු වීම ඊටත් වඩා දුර්ලභ කරුණක්. ඒ නිසාම අපට මහා දැවැන්ත කාර්යභාරයක් තිබෙනවා. එය ඉටු නොකළොත් කවදා හෝ අපේ අවසන් හුස්ම හෙළන මොහොතටත් විශාල බරක් හිතට දැනේවි. සමාජය සමඟ ප්‍රේමණීය ගනුදෙනුවක් ඇති කරගන්න, යහපත් සිතුවිලි පතුරුවන්න, යහපත් මාර්ගය හඳුනාගෙන ඒ මඟ ගමන් කරන්න එවිට ඔබට යහපතක්ම උදා වනවා ඇති.


ඔබ රංගනය විග්‍රහ කරන්නේ?


රංගය කියන්නේ දෙවියන් විසින් ලබාදුන් දේව ත්‍යාගයක් ලෙස මම දකින්නේ. එහි ශාස්ත්‍රීය ක්‍රියාවලියකුත් තිබෙනවා. වාසනා ගුණය වගේම හැදෑරිය යුතු විෂයයක්. මම 1970 අවසාන කාර්තුවේ කරළියට පය තබන විට නෝබට් ජෑන් මයර් කියන ජර්මානු ජාතික මහාචාර්යවරයා තමයි මට වේදිකාවේ හතරකොන ඉගැන්නුවේ. ඊට පස්සේ 1987 රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ මෝරා නාට්‍යයේ හොඳම නළුවා වීම නිසා ජයන්තටත් මටත් නැඟෙනහිර ජර්මනියේ බර්ලින් නුවර රංගය හදාරන්න අවස්ථාව ලැබෙනවා. එහිදී එඩ්වින් ක්ලවුස් කියන මහාචාර්යවරයා තමයි අපට රංගය පිළිබඳ ඉගැන්වූවේ. මේ සියලු දේ නිසාම රංගය හැදෑරිය යුතු විෂයයක් කියන දේ අපේ මනසේ තැන්පත් වෙනවා. ඒ නිසාම මම නිරන්තරයෙන් රංගය සම්බන්ධව කරන භාවනාව බොහෝ භක්තිමත්වූත්, ප්‍රේමණීය වූත් කරුණක් ලෙසයි සලකන්නේ. මා නොවන මම තමයි එයට හොඳම යෙදුම. පළිඟුමැණිකේ ටෙලි නාට්‍යයේ සූරසේන වෙන කෙනෙක්, දඬුබස්නා මානයේ ආරච්චිල වෙන කෙනෙක්, බෝගල සවුන්දිරිස් වෙනකෙනෙක්. ඒ වගේ රඟපෑ සියලුම චරිත වෙන වෙන මිනිස්සු. මම හොරෙක්. මම ඒ මිනිසුන්ගේ පෙනුම, හැඩය, ගුණය, රසය, ඉංගිතය සොරාගත්තා. එහෙම ගෙන මට ඕනෑ මිනිසාව නිර්මාණය කරගත්තා. ඒ නිර්මාණකරණය හරිම සුන්දරයි. ඒ සඳහා පිටපත ලබාදෙන නියෝග විධාන සහ අභියෝග අවබෝධ කරගෙන එයට ගැළපෙන චරිතය නිර්මාණය කිරීමේ කාරණාව මගේ ඉතිහාසය පුරාම කළ නිසා මගේ ධෛර්යයේ රාක්කයේ හොඳම නළුවා සම්මාන 21ක් තිබෙනවා මේ මාධ්‍ය ත්‍රිත්වයේ. මහා ජනතා අත්පොළසන් හඬ මැද්දේ අර ආඩම්බර පඩිහතර නඟින්න ලැබුණා කීපවරක්ම. ඒ නිසාමයි මම හිතන්නේ මේ කරුණ මගේ භක්තියෙන් දෝතට ලැබුණු මහා දැවැන්ත දේව තිලිණයක්.



වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍යවලදි රංගයේ වෙනසක් තිබේද?


රංගනයේ භාවාත්මක ක්‍රියාවලිය ඔය මාධ්‍ය තුනේම එකයි. වේදිකාව සජීවියි. අනෙක් මාධ්‍යද්වයම සජීවී නොවන වෙනත් හැඩයක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙකක්. චිත්‍රපටය මහා දැවැන්තයි. මිනිසුන් මහා දැවැන්තයන් බවට පත් කරනවා. ටෙලිවිෂනය මිනිසුන් පුංචි මිනිසුන් බවට පත් කරනවා. මේ අතර මැද සජීවී ගුණයෙන් යුතු වේදිකාවට තමයි මම තවම ආදරේ. හයහතර නොදන්නා කාලයේදිත් අපට යමක් කියා දුන්නේ වේදිකාව. ඒ නිසා තමයි අපි තවමත් එය අතනොහැර ඉන්නේ. මේ රංගන ත්‍රිත්වය සුවිශේෂයි. ප්‍රේක්ෂාගාර තුනක්, හිතන අය තුන්විධියක් ඒත් අපේ භාවයන් ත්‍රිත්වයම එකයි කියන එකයි මගේ පෞද්ගලික විශ්වාසය. කෙසේ වෙතත් මේ මාධ්‍යයන් තුනම එක ලෙස සක්‍රීය වනවා නම් තමයි කලාකරුවකු ලෙස මගේ කැමැත්ත තිබෙන්නේ.


මේ දිනවල ඔබ අලුත් පරපුර සමඟ වැඩිපුර මුහු වනවා?


අපි කලාවට ප්‍රවිෂ්ඨ වන විට දොරටු හරි අඩුවෙන් තිබුණේ. ඒ කාලේ ටෙලිවිෂනය නෑ. වේදිකාවෙන් ඇවිත් ආයේ යනවා නම් තිබුණේ සිනමාව විතරයි. අද වන විට ටෙලිවිෂනය ඔස්සේ පැමිණෙන නළුනිළයන් සහ කලාකරුවන් විශාල ගණනක් ඉන්නවා. ඔවුන්ට විවෘත වූ දොරටුත් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මේ දොරටුවෙන් ඇතුළට එනකොටම අපි ඉදිරි ගමන්මඟ යා යුත්තේ කෙසේද කියන හැඟීම ඔවුන්ට තිබිය යුතුයි. අපි ආ මඟ හරිම දුෂ්කරයි, හැබැයි සුන්දරයි. අපි රෝපණය වුණේ මහා දැවැන්ත වෘක්ෂවල සෙවණ ලබමින්. ඒ අයගේ අවවාද, උපදෙස්, උදවු, උපකාර සමඟයි අපි වැඩෙන්නේ. ඒ නිසා ඔවුන් ආ ගමන් මඟේ හැඩය අපටත් හදාගන්න ලැබුණා. දැන් තිබෙන ප්‍රශ්නය අලුත් අංකුර කලාකරුවන් සඳහා එවන් දැවැන්ත වෘක්ෂ තිබෙනවාද? ඔවුන් ඒවා සෙවණේ වැඩෙනවාද? යන්නයි. යන්ත්‍රසූත්‍ර අතරේ ඔවුන් සැරිසරන්නේ. උදාහරණයකට දුරකථනයක් ගත්තාම ඔවුන්ට යා හැකි මාර්ග රැසක් තිබෙනවා. ඒත් එය අප සාකච්ඡා කරන ලද ආදරය, සෙනෙහස, දයාව කියන මානවීය ගුණාංගයෙන්ගෙන් යුක්තද? නැත්නම් අප සොයාගෙන ගිය දැනුම ඔවුන් පරිශීලනය කරනවාද? යන ප්‍රශ්නය තිබෙනවා. ඉස්සර අපි ෂූටින් එකක් අතරතුර පොඩි විවේකයක් ලැබුණු ගමන් එතැන ඉන්න ප්‍රවීණයකු සමඟ සාකච්ඡා කරනවා. මට මතකයි ඉස්සර මම ගාමිණි ෆොන්සේකා මහත්තයා පස්සෙන් යනවා. ජෝ අබේවික්‍රම, සයිමන් නවගත්තේගම, මහාචාර්ය සරච්චන්ද්‍ර වගේ මහත්තුරු පස්සෙන් යනවා. ඔවුන්ගෙන් අපි විවිධ දේ විමසුවා. අපේ වර්තමාන තාරුණ්‍යය ඒ වගේ පොඩි විවේකයක් ලැබූ ගමන් ෆෝන් එක විතරක් අරගෙන ඈතට යනවා. ෆෝන් එක කොයිතරම් ඔවුන්ව වහල්බවට පත් කරගෙනද?


අවශ්‍ය නම් ඔවුන්ට දුරකථනයෙන් රංගනය පිළිබඳ අධ්‍යයනය කරන්නත් පුළුවන්?



ඇත්තෙන්ම ඔවු. අපේ ඇඟිලිතුඩු යහපත සඳහා, බුද්ධි වර්ධනය සඳහා යොමු කරවන්න අවශ්‍ය නම්, ෆෝන් එක තුළම තිබෙනවා පහසුකම් ටික. ඒත් කලාකරුවා යනු සුවිශේෂ චරිතයක්නේ. 'කලාකරුවා කප්රුකක් බඳුය. සමස්ත ජන සමාජයේ ජන විඥානය කලාකෘති මඟින් පුළුල් කිරීමේ මහා පින්කම කරන සුධීමතකු ලෙස කලාකරුවා හැඳීන්විය හැකිය.' එතකොට මහා දැවැන්ත කාර්යභාරයක්නෙ කලාකරුවා කරන්නේ. ඔහු පිළිබඳ සමාජය විසින් දරන මතය යහපත කියන කරුණ විය යුතුයිනේ. වර්තමානයේත් එහෙම නැත්තේම නොවේ. ඉතිරි ටිකත් පොළොවට බැහැලා පොළොව ස්පර්ශ කරනවා නම්, සාමාන්‍ය මිනිසුන්ගේ ගුණ සුවඳ හඳුනාගන්නවා නම්, ඩාදිය සුවඳ විඳගන්නවා නම්, මානවීයභාවයෙන් යුතු වනවා නම් හොඳයි කියලයි මගේ විශ්වාසය.



ඔබට හැකියි ඔවුන්‌ට වනස්පතියකු වන්න?

මම ආයතනික වශයෙන් ඉන්න වෙලාවේ මේ අය වෙනුවෙන් මොනවා හෝ කළ යුතු බව කල්පනා කරලා 'ආර්ට් ඇන්ඩ් ලයිෆ්' වැඩසටහන ආරම්භ කළා, ඔබේ ජීවිතයට අලුත් අරුතක් දෙන්න අපි උත්සාහ කරමු, ඒ වෙනුවෙන් පෙළ ගැසෙමු, සතුට වෙනුවෙන් අමුතු දවසක් එකතු කරමු කියලා. මේ නම යෙදුවේ අප අතරින් වෙන් වූ රංගන ශිල්පී ජයලාල් රෝහණ. ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, මහේන්ද්‍ර පෙරේරා, කමල් අද්දරආරච්චි, ඇන්තනි සුරේන්ද්‍ර, සම්මානිත මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, මහාචාර්ය සේන නානායක්කාර සහ ආචාර්ය නුවන් නයනජිත් කුමාර වැනි ආචාර්ය මණ්ඩලයක් මෙහි විවිධ ක්ෂේත්‍ර පිළිබඳ කතා කරනවා. එයම ඔවුන්ට වටිනවා. දැන් සිතන්නට කාලය ආරම්භ වී ඇත, සිහිනුවණින් සිටින්නට ජීවිතය සතුටින් තියන්නට නම් මෙලොවදීම කලාව විඳීන්නට වාසනා ගුණ ඇති පුද්ගලයන් වීම වටී. යන මාතෘකාව පදනම් කරගෙන අපි එය ඇරඹුවේ. වැඩසටහන ආරම්භ කරගන්න ලැබුණේ නැහැ තවම ඒත් පිරිසක් අප හා රැඳී සිටිනවා. ඔබට දැනෙනවා නම් එසේ යමක් කළ හැකි බව නාඩා ආයතනයෙන් විමසන්න පුළුවන්.



අද තරුණ කලාකරුවන්ට එදා මෙන් එක්රැස් වන්න සුදුසු තැන් නැහැ?


ඇත්ත. අද කලාකරුවන්ට කතාබහක යෙදෙන්නවත් තැනක් නෑ කොළඹ. සීමිත තැන් කීපයයි තිබුණේ. සමහර තැන් වහලා දාලා. සමහර තැන්වලට ඇතුළු වෙන්න බෑ. ඒ නිසා ඉහළ බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටියා නාඩා ආයතනය කලාකරුවන්ට සොඳුරු නිවහනක් කරන ලෙස. එවිට ඕනෑ කෙනකුට ඇවිත් තමන්ගෙ නිර්මාණ පිළිබඳ කතා කරන්න පුළුවන්. මෙහි රංගශාලා දෙකක් තිබෙනවා. එහි ප්‍රධාන ශාලාව අපි 'තියටර් සෙවන්' ලෙස නම් කළා. පුංචි ඇරීනා ශාලා දෙකක් තිබෙනවා පොඩි කණ්ඩායමකට නාට්‍යයක් බලන්න පුළුවන්. අනු රංග ශාලාව ආචාර්ය ජලයත් මනෝරත්නයන් අවසන් මොහොත දක්වා කලාවට කළ මෙහෙය අගයනු වස් ඔහුගේ නමින් නම් කරන්නට මම යෝජනා කළා. මම සියලු කලාකරුවන්ට ආරාධනා කරනවා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයට. මෙය සෞන්දර්ය ධාරිතාවයේ වැඩකරන ආයතනයක් නිසා ඔබගේ සම්මන්ත්‍රණ, සාකච්ඡා, පුහුණුවීම්, වැඩසටහන් ආදී සියලු දේ සඳහා එන්න. ඔබ එනතුරු අප බලා සිටිනවා.


මේ ලැබෙන විවේකය ප්‍රයෝජනවත්ව ගත කරන්නේ කොහොමද?


කුසුම් නම් ( රංගන ශිල්පිනී කුසුම් රේණු) වෙළෙඳ දැන්වීම් කීපයක කටයුතු කළා පසුගිය දිනවල. පොඩිදුව හඬකැවීම් ශිල්පිනියක් ලෙස කටයුතු කරමින් අප සමඟ ඉන්නේ. ලොකු දුව 'නියැන්ඩි' නමින් මෝස්තර නිරූපණ ආයතනයක් පවත්වාගෙන යනවා. මගේ නම් චිත්‍රපටවල වැඩ කෙරෙන්නේ නෑ මේ දිනවල. කබඩි සහ උතුරු සුළඟ තිරගත වෙමින් තිබුණා. එයත් නතර වුණා. දෙරණ නාළිකාවේ සංගීතේ, සිරස නාළිකාවේ සකුගේ ලෝකය, සියත නාළිකාවේ රැහේ යන නාට්‍යවල චරිත තුනකින් 'මා නොවන මම' මේ දවස්වල දකින්න පුළුවන්. ඒ අතර පොතපත කියවනවා. වෙනත් සෞන්දර්ය කටයුතු කරනවා. හැබැයි වැඩිපුර ඇවිදින්නේ නෑ සෞඛ්‍ය නීති රීති නිසා. අපි හැකි උපරිමයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්නවා මේ දවස්වල.


ඉදිරියට සැලසුම් කළ කටයුතුත් ඇති?


ඉදිරියට ටෙලි නාට්‍ය කීපයක රඟපාන්න ආරාධනා කළත් මම උනන්දු වුණේ නැහැ. ඒත් කටුරෝදය කියන ටෙලිනාට්‍යය තරමක් වෙනස් නිසා එය බාරගත්තා. සංචරණ නීති පැනවෙන තුරු එහි රූපගත කිරීම් කෙරුණා. අජිත් ධර්මසූරිය ලියා අශෝක ආතාවුද අධ්‍යක්ෂණය කිරීමට සූදානමින් සිටින ධවල ගොසරෑවිය නවකතාවෙන් ටෙලි නාට්‍යයක් කිරීමේ අපේක්ෂාවෙන් ඉන්නවා. එය ලාංකීය ටෙලි නාට්‍ය වංශ කතාවේ සුවිශේෂී සටහනක් තබයි කියලා හිතනවා. චිත්‍රපට ලෙස මොහාන් නියාස්ගේ ශ්‍රී වික්‍රම, ක්‍රිෂ්ටි ෂෙල්ටන්ගේ යාත්‍රා සහ ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය ඉදිරියේදී ප්‍රදර්ශනයට නියමිතයි. මේ සියල්ල අපේ පරපුරේ කටයුතු.

ඇත්තටම ඒ අතර තුසිත ද සිල්වා සමඟ 'යතුරු හිලෙන් බලන්න' කියලා වේදිකා නාට්‍යයක් පුරුදු පුහුණු වෙමින් හිටියා. එය දැන් මගේ මේස ලාච්චුවේ තිබෙන්නේ. වෙලාවකට හිතෙනවා එය ලාච්චුවෙන් මගේ ඇස් මානයට ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම වුණොත් අපි ආරාධනා කරනවා තුසිතට නැවත වේදිකාව වෙත හැරී එන්න කියලා. එවන් දිනයක් එලැඹෙන තුරු අපි බලාගෙන ඉන්නවා, වෛරසයෙන් අපි මිදිලා යහපත් ලෙස පැරැණි ආකාරයට වැඩ කරන්න ලැබෙයි කියන විශ්වාසයෙන්. ඒ සඳහා නිවැරැදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියලාත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.


මේ මොහොතේ ඔබට සමාජයට කියන්න දෙයක් ඇති?


මේ සෑම දෙයක්ම අධ්‍යාපනිකයි. ඒ ක්‍රියාවලිය සඳහා උපනිෂද් අධ්‍යාපන ක්‍රියාවලිය තෝරා ගන්න. එයින් අදහස් කරන්නේ ගුරුවරයා සමීපයේ සිට ඉගැන්වීම. තමන්ගේ දරුවන්ටත් උපනිෂද් අධ්‍යාපනය දෙන්න. දරුවාව ළඟට ගෙන ජීවිතය, ආදරය, ප්‍රේමය, මානවීය ගුණය උගන්වන්න. පසුගිය දවස්වල අම්මා දුවව විකුණන සමාජයක් දැක්කා. පොඩි දරුවන් ගිනි තිබ්බාද නැද්ද අපි දන්නේ නෑ. මේ සියලු දේට හේතුව අපි හැල්මේ දිවීම. අපි ළමයින්ට උගන්වන්න ඕනේ මේ සමස්ත සමාජය නමැති ගිනි ගොඩ මැදට පීනලා කලාව නමැති දියදෝත මේ ගිනි මැදට දාලා හිටගන්නේ කොහොමද කියලා. ඒ ක්‍රමය දරුවන්ට, සමාජයට කියලා දෙමු. එය තමයි කලාකරුවාගේ විශිෂ්ටත්වය. එහෙම නැතුව හෙට දවසේ කෙනෙකුට දෝෂාරෝපණය කරමින්, බැණ වදිමින්, ආඩපාළි කියමින් ඉඳලා වැඩක් නැහැ. තමන්ගේ හදවත විවර කර එයින් ගලන මානවීය ධාරාව සමාජයට විසුරුවා පතුරුවා හරින්න. එවිට හෙට දවස මීට වඩා සුන්දර වෙයි.


අරුණි මුතුමලී