හිතට හිතෙන දේවල් දැන් මට ඇඟෙන් කරගන්න බෑ - දිල්හානි ඒකනායක

Monday, August 09, 2021 , 0 Comments



දිල්හානි ඒකනායක කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිණියක්. ඉතිං ඇය මේ දවස් වල රියැලිටි නර්තන තරගයක විනිශ්චකාරිනියක් ලෙස පෙනි ඉන්නවා. ඉතිං ඇය ඒ ගැන වගේම අලුත් තොරතුරු ගැනත් මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


දිල්හානි.. මේ දවස්වල රියැලිටි නර්තන තරගයක් විනිශ්චය කරනවා. හිතෙන්නෙ නැද්ද ආයෙමත් නර්තනයට යොමුවෙන්න?

හිතෙන හිතෙන දේවල් දැන් ඇඟෙන් කරගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ. හිතටනම් මොනතරම් දේවල් එනවද? හැබැයි ඒ දේවල් කරන්න දැන් මේ ඇඟට බැහැ කියනවා. සමහර වෙලාවට කකුල් රිදෙනවා, දණිස් රිදෙනවා, කොන්ද රිදෙනවා වගේ දේවල් දැනෙනවා. ඉතින් මොනවා කරන්නද? මම නිහඬවම ඉන්නවා. පුංචි පුංචි නර්තනයන් කළාට ඉස්සර වගේ දඟලලා අපිට ඒ නර්තන කරන්න බැහැ. ඒක තමයි ඇත්ත. ඒ වගේ දේවල් කරන්න ඕනෙ කියන අදහසකුත් දැන් මගේ ඔළුවේ නැහැ. ඒ කාලෙදි ඒ නර්තනයන් අපි කළා. නර්තනය කරන්න පුළුවන්නම් ඒක සෞඛ්‍යයට ඉතාම හොඳයි. හැබැයි ඒ මට්ටම්වලින් දැන් නටන්න යන්න බැහැ. ඒවා කරද්දී ලොකු පුහුණුවක් වෙන්න ඕනෙ. ඒ නිසා තරුණ ළමයින්ට ඒ අවස්ථාව ලබා දීලා අපි ඒවා දිහා බලාගෙන ඉන්නවා.




මේ නර්තන තරගයට එකතුවෙලා ඉන්නෙ මේ රටේ ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන්. ඇත්තටම ඔවුන්ගේ නර්තන හැකියාවන් ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම ඒ ළමයින් ගැන ලොකු ආඩම්බරයක් ඇතිවෙනවා. ඒ අය නර්තනයේ යෙදෙන හැටි දකිද්දි ඒ අයට ඔය විදිහට රඟපාන්නත් පුළුවන්නම් කොච්චර වටිනවද? හැබැයි ඒ ළමයින්ගේ කාලය එද්දි චිත්‍රපට හැදෙන්නෙ නැහැ. ඒක හරි අවාසනාවක්.


දිල්හානි අද ප්‍රවීණ කලාකාරියක්. ඔබේ ළමා කාලයේදි නර්තනයට තිබුණු හැකියාව කොහොමද?

මම නර්තනයට මුලින්ම යොමුවුණේ මට අවුරුදු නවයේදි. පාසලේදි නැටුම් සහ සංගීතය තෝරාගන්නා කාලසීමාවක් තියෙනවනෙ. ඒකෙදි පාසල් නර්තන කණ්ඩායමට මාවත් තේරුණා. මුලදි මම නර්තන කණ්ඩායමේ ඉදිරි පෙළ නැටුවේ නැහැ. වැඩිපුරම නර්තනයට එකතු වුණේ කණ්ඩායමේ පසුපෙළ ඉඳලයි. ඒ කාලේ සමස්ත ලංකා නාට්‍ය තරගවලට ඉදිරිපත් වුණා. ඒ කාලේ දර්ශන පනංගල ඩී.එස්. සේනානායක විදුහලෙන් නර්තනයට සහභාගි වුණා. මම ඉගෙන ගත්තෙ ශාන්ත ක්ලෙයාර් විදුහලෙයි. ඉතින් අපි පාසල් මට්ටමේ තරගවලට ඉදිරිපත් වුණා. ඒ කාලෙ තරග තියෙන කාලෙට හරි ෂෝක්. අපි අපේ පාසලට බොහෝ ජයග්‍රහණ ලබා දුන්නා. කාලයකට පස්සෙ මම සර්වෝදයේ නර්තන කණ්ඩායමට එකතු වුණා. ඒකෙදි අපේ පාසලෙන් බැලේ නර්තනයට මාත් එක්ක දෙන්නෙක් තේරුණා. ඊට පස්සෙ එතනින් කේමදාස මාස්ටර්ගේ බැලේවලට සහභාගි වුණා. විදෙස් නර්තන ප්‍රසංගවලට සහභාගි වුණා. එහෙම නර්තනය කරමින් ඉන්න අතරේ තමයි අහම්බෙන් චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.


ඇත්ත කියන්න.. වැඩිපුරම ආසා රංගනයටද? නර්තනයටද?

ඇත්තම කිව්වොත් මම වැඩියෙන්ම ආසා නර්තනයටයි.


අද ඉන්න දරුවන්ට වඩා අපූරු ළමා කාලයක් ඔබ ගත කරන්න ඇති. ඒ ළමා කාලය අපි ආයෙත් මතක් කරමුද?

ඔව්.. ඇත්තටම අද මේ දරුවන් ගෙවන ළමා කාලය ගැන දුකක් දැනෙනවා. මම සාමාන්‍ය පවුලක දරුවෙක්. අපි බස් එකේ ගියේ. පොල්හේන්ගොඩ හිටියේ. අද කාලේ වගේ ඒ කාලෙ පොල්හේන්ගොඩ ගොඩනැගිලි තිබුණේ නැහැ. ඒ කාලේ ගෙවල් තිබුණෙත් සෑහෙන්න දරිද්‍රවයි. අපේ ගේ ඉස්සරහ වෙල් යායක්. පිටිපස්සේ පොඩි ගඟක් තිබුණා. අහල පහළ කැලෑවල් තිබුණා. එදා තිබුණු පරිසරයත් එක්ක අද පොල්හේන්ගොඩ කොයි තරම් වෙනසකට ලක්වෙලා තියෙනවද කියලා හිතෙනවා. පුංචි කාලේ අපි කැලෑවල්වල, කුඹුරුවල තමයි දවස ගෙව්වේ. ඒ කාලේ ගංවතුර ගලනවා. ඒක වෙනම කාලයක්. ගංවතුර කාලෙට කොහෙන් හරි කෙහෙල් බඩයක් හොයාගෙන මම ඒ වතුරේ ඔරු පැදපු හැටි මතක් වෙද්දි දැනෙන සතුට වචනවලින් කියන්න තේරෙන්නෙ නැහැ. ඒ කාලෙ මම පුදුම විදිහට ජීවිතේ රසවිඳපු කෙනෙක්. ඒ කාලේ හිටපු යාළුවෝ ඔක්කොම හවසට එකතු වුණා. ඒ කාලේ හැම ගෙදරකම රෑපවාහිනී තිබුණෙ නැහැ. ඒ නිසා හැම ළමයෙක්ම රෑපවාහිනී තිබුණු ගෙදරකට එකතු වුණා. හවස කාටුන් ටික බලන අපි ඊළඟට ආයෙත් සෙල්ලම් කරන්න ගියා. මට තාම මතකයි අපි එහෙම ගෙවල්වල ගිහින් රෑපවාහිනී බැලුවේ බිම ඉඳගෙනයි. එහෙමත් නැත්නම් බිම නිදාගෙනයි. ඒ කාලේ අපේ අම්මලා රූ නවයහමාරට තියෙන දෙමළ චිත්‍රපට හෝල්වලට ගිහින් බැලුවා. අපි ගේ ළඟ තිබුණු ෆිල්ම් හෝල් එකට ගිහින් රූ නවයහමාර දෙමළ ෆිල්ම් එක බැලුවා. ඒ චිත්‍රපට බලන්න ගියේ ගෙවල් කිහිපයක කට්ටිය එකතුවෙලයි. වෙසක් දවසට අපි පොල්හේන්ගොඩ ඉඳන් ගෝල්ෆේස් එකට පයින් ගියා. අද අපිට හන්දියේ කඩේට පයින් යන්න බැහැ. හැබැයි ඒ කාලේ අපි හැමතැනම ගියේ පයින්. ඒක හරිම සුන්දර ළමා කාලයක්.




දිල්හානිගේ ආදරණීය සැමියා ප්‍රියංකරට දැන් කොහොමද?

ප්‍රියංකරගේ කරපු සැත්කම් දෙකම සාර්ථකයි. ඒ නිසා එයා දැන් සුවය ලබමින් පසුවෙනවා.


සැමියාගේ අසනීප තත්ත්වයත් එක්ක ඔය ගැහැනු හිත හයිය කර ගත්තෙ කොහොමද?

අපි දුර්වල වුණා කියලා වෙන විකල්ප නැහැ. හැබැයි මම කොහොමටත් ශක්තිමත් ගැහැනියක්. මම ඕනෑම දෙයක් දරාගන්න පුළුවන්. මම දෙයක් කරනවා කියලා හිතුණොත් මම ඒ දේ කරනවාම තමයි. එහෙම පුරුද්දක් මට ඒ කාලේ ඉඳන්ම තිබුණා. කොහොම හරි ප්‍රියංකරගේ අසනීපයත් එක්ක අපි දුර්වල වුණොත් කිසිම දෙයක් කරගන්න බැරිවෙන බව මම දැනගෙන හිටියා. මම මගේ ඔළුවෙන් තමයි ඒ හැමදේම සැලසුම් කළේ. ඒක මට ගොඩක් අය එක්ක කරන්න බැහැ. මේ ප්‍රශ්නය එද්දිත් සෙල්ලමක් නෙමේ. කොවිඩ් ප්‍රශ්නයත් ලොකුවට රට තුළ තිබුණා. ඒක වෙන ගෙයකින්වත් කවුරුවත් ගෙදරකට උදව්වකටවත් ගෙන්න ගන්න බැරි කාලයක්. ඒ නිසා අපේ ගෙදර පස්දෙනාට තමයි මේ හැමදේම බෙදාගෙන කරන්න සිද්ධ වුණේ. ඒ කාලේ අපි හිටියේම ඉස්පිරිතාලෙයි. ඒ හැමදේම මගේ දුවණිත් මමත් බෙදාගත්තා. හරියටම ඒ හැමදේම කළමනාකරණය කළා. ළමයින් දෙන්නගේ කොටස ඒ දෙන්නා බෙදිලා කළා. ගෙදර උයන, රෙදි සෝදන දේවල් බෙදලා දුන්නා. මම ඒ හැමදේම ඉස්පිරිතාලෙට අරන් ගියා. ගෙනාවා. හේදුවා. බෙහෙත් කළා. දොස්තරලා හම්බ වුණා. උපදෙස් ලබාගත්තා. ඒ දේවල් සියල්ලම බලාගෙන කළා.


පියාගේ අඩි පාරේ යමින් දිල්මින් පුතාත් ගීත ක්ෂේත්‍රයට එකතුවෙලා තියෙනවා. දිල්මින්ගේ ළමා කාලයේදි ප්‍රියංකරත් දිල්හානිත් ඒ ගමන යන්න උපදෙස් ලබා දුන්නද?

එයාට පුංචි කාලේ සිට මේ දක්වා එහෙම කිසි දෙයක් කිව්වෙවත්, බල කිරීමක්වත් කළේ නැහැ. එයාව වැඩිපුරම යොමු කළේ අධ්‍යාපනයටයි. වීසා ප්‍රශ්න, විවිධ ප්‍රශ්න නිසා පුතාගේ උපාධියේ අවසන් කොටසේදි තමයි එයාට ලංකාවට එන්න සිද්ධ වුණේ. උපාධිය අවසන් කරන්න මාස හයක් වගේ පොඩි කාලයයි තිබුණේ. ඒක හරිම අපරාධයක්. ඉතින් ලංකාවට ඇවිත් ටික දවසකින් පුතා සංගීතයට නැඹුරු වුණා. දැන් එයා වෙන කිසිම දේකට කැමති නැහැ. දැන් එයාට සංගීතයම තමයි. මොනව කරන්නද? අපිට දෛවය වෙනස් කරන්න බැහැ. ආයේ ඉගෙන ගන්න පාඩම් කරන්න එයා කැමති නැහැ. සංගීතය තමයි එයාගේ ලෝකේ දැන් තියෙන්නෙ. පුතාගේ අධ්‍යාපනයත් එක්ක හොඳ දැනුමක් තියෙනවා. සහතිකයක් නැතිවුණාට එයාගේ ඒ දැනුම ඉතා ප්‍රයෝජනවත් වෙනවා. පුතාගේ කැමැත්තට උදව් කරනවා හැර ඒවා කඩාකප්පල් කිරීමේ හැඟීමක් මට නැහැ.



දිල්හානි.. හිනාවත් ඔබත් එදා වගේම ලස්සනයි. ඇත්තටම මොකක්ද ඒ රහස?

මම සමාජගත වෙනවා හරිම අඩුයි. මම එළියට යනවා හරිම අඩුයි. එහෙම එළියට ගියොත් ප්‍රශ්න බොහොමයක් අරගෙන තමයි ගෙදර එන්න සිදුවෙන්නෙ. එතකොට අපි ඉන්නෙම ප්‍රශ්නවලයි. මිනිස්සු ඕපාදූප, කේලම්වලට හරියට බර වැඩියි. වැඩකට නැති කතාවලට බොහෝ කාලයක් මිඩංගු කරනවා. මට එහෙම පුරුදු නැහැ. මම හරියට තනියම දේවල් ඉගෙනගන්න, තනියම අධ්‍යාපනය කරන, ගහකොළ වවන, බණ ටිකක් අහන කෙනෙක්. දවසින් දවස මම ජීවිතේ අලුත් කරන කෙනෙක්. වෘත්තීමය වශයෙන් නෙමේ මනුස්සයෙක් විදිහට මම දවසින් දවස යාවත්කාලීන වන කෙනෙක්. ඒ සමාජගත නොවීම නිසා මගේ හිතට විස එන එක හරිම අඩුයි. ඒ වගේම විස උපදිනවාත් හරිම අඩුයි.


රියැලිටි තරගවලින් මුහුණ පෙන්නපු, ජයගත්තු අය රංගනයට අද එකතුවෙලා ඉන්නවා. ඒ නිසා අද රංගනයට දායක වෙන්න ලේසියි. ඒ කාලෙ එහෙම නැහැ. දිල්හානි රංගනයට එකතු වුණේ අහම්බෙන්. නමුත් දක්ෂතා ඔස්සේ අදටත් ඔබ ජනප්‍රිය කලාකාරියක්. මෙතන පවතින්න අමාරුද?


ඒ කාලේ සිනමාවට සම්බන්ධ වෙනවා කියන්නෙ සෙල්ලමක් නෙමේ. මම කලාවට සම්බන්ධ වුණේ අහම්බයෙන්. මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න මම තුන් හිතකින්වත්  හිතපු කෙනෙක් නෙමේ. දවසක් පන්තියක් අවසන් කරලා මට පාරේ ඇවිදගෙන යද්දි යසපාලිත නානායක්කාර මහත්තයා මගේ ළඟ නතරවෙලා &චිත්‍රපටයක රඟපාන්න කැමතිද?* කියලා ඇහුවා. ඒක මට අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. එහෙම අහම්බයෙන් අවස්ථාවක් ලැබිලා ප්‍රධාන චරිතයට නිළියක් වුණු කෙනෙක් මම. හැබැයි කලාවට සම්බන්ධ වීම ඒ කාලේ ලෙහෙසි කටයුත්තක් නෙමේ. ඒ කාලේ සිනමා නිළියක් නළුවෙක් වීම හරිම අමාරුයි. අද කාලේ එහෙම නැහැ. රූපවාහිනියේ නිකම් දැක්කත් එයාලා ප්‍රසිද්ධ වෙනවා. ඊට පස්සෙ ඒ අයව දාලා නාට්‍ය කරනවා. එහෙම චක්‍රයක් තමයි අද තියෙන්නෙ. නාලිකාවලට අදාළ කණ්ඩායම් බිහිවෙලා තියෙනවා. ඒවා දීර්ඝකාලීනව යනවා. ඒ අයගේ ආර්ථිකයත් ශක්තිමත්. ඒ වගේ වකවානුවක් තමයි අද තියෙන්නෙ. හැබැයි අද ජෝ අබේවික්‍රම මහතා, ගාමිණී ෆොන්සේකා මහතා, විජය කුමාරණතුංග මහතා ජීවතුන් අතර නැතත් ඔවුන්ව තාමත් මිනිසුන්ට මතකයි. එවැනි නිර්මාණකරුවන්ට සම කරන්න අද කාටවත් බැහැ.



ජීවිතේ ඕනෑ තරම් සම්මාන ලැබිලා ඇති. දිල්හානිගේ ජීවිතේ ලබපු ලොකුම සම්මානය මොකක්ද?

මගේ ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම සම්මානය තමයි මට බුද්ධ ධර්මය හමුවීම. ඊට එහා සම්මානයක් මට කොහේවත් නැහැ.